නිලාවේලියට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි

144

නිලාවේලිය ලස්සන කරන්නෙ දකුණෙන් යන මිනිස්සු

ප්‍රවේශපත්‍රවල අධික මිල නිසා

දැන් සංචාරකයන් එන්නෙ අඩුවෙන්

කොරල්පර විනාශය නතර කරන්න වැඩපිළිවෙළක් නෑ

නිලාවේලී වෙරළ වෙනදාට වඩා කාර්යබහුලය. වසරේ වැඩි කාලයක් මේ මනරම් වෙරළ තීරය නීල වර්ණ දියඹ සමග හාදව නිසොල්මන්ව සිටින්නේය. ඒ නිලාවේලියට වසර අවසානයේ මහා වැසි සමග එන කුණාටුව නිසා දියඹ සැඩ පරුෂව වෙස් ගන්නා නිසාය. එම වෙස් පෙරළීම සංචාරකයන්ට වසන්තයේ සිරි ගෙනෙන්නේ වසරේ මැයි සිට නොවැම්බර් අතර කාලයේ ය. අප සුප්‍රසිද්ධ පරෙයි දූපත දැකීමට නිලාවේලි වෙරළට ආවේ තත්කාලය බලා නිලාවේලි වෙරළට වසන්තය පැමිණි පසුවය.

හුදෙක් පරෙයි දූපතේ අසිරිය දැකීම පමණක් සීමා නොවූ මේ ගමන වඩා ආකර්ෂණීය එකක් වූයේද සංචාරකයින්ගෙන් එදින නිලාවේලි වෙරළ පිරී ඉතිරී පැවති නිසාය. ඒ සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් යුරෝපීය ජාතිකයෝය. සංචාරකයන් නිලාවේලි වෙරළට පෙම් බැඳීම කරුණු කිහිපයක් මත සිදු වුණත් ඉන් වඩාත් ඉදිරියෙන්ම තිබෙන්නේ නිලාවේලි මුහුදු තීරය කිමිදුම්කරුවන්ට කදිම පාරාදීසයක් වීම සහ කොරල් පර නැරඹීමේ පරෙයි දූපත් සංචාරය නිසාය.

පරෙයි දූපතට සංචාරයක් යන දෙස් විදෙස් සංචාරකයෙකුට නේක වරණ ගත් කොරල් පරයේ සුන්දරත්වය විදින අතරතුර නීලවරණ දියඹේ පිහිනන පොතු කැස්බෑවෙකු හෝ මෝර කුලයේ මත්ස්‍යයකු දැකීම එහි එතරම් අරුමයක් නොවේ. පරෙයි දූපත සංචාරක ආකර්ෂණය දිනූ තැනක් වීමට එය ද හේතුවක් වුවත් අතීතයේදී එය සංචාරකයන්ගේ සිත් ගත් තැනක් වූයේ පරෙයි දූපතේ තිබූ නිදහස්කාමී පරිසරය නිසාය. වර්තමානයේ පරෙයි දූපත හෙවත් පිජන් අයිලන්ඩ් ලෙස ප්‍රකට වූ මේ නිස්කලංක දූපත ප්‍රසිද්ධව පැවතියේ නිර්වස්ත්‍ර දූපත නම් අරුත දෙන නේකඩ් අයිලන්ඩ් යන නමිනි. විදේශීය සංචාරකයන්ට අඩනිරුවත්ව නිදහස භුක්ති විඳීමේ පරිසරයක් එම දූපතේ පැවතීම එම නම පටබැඳීමට හේතු වන්නට ඇත. ඊටත් පෙර මේ දූපත හඳුන්වා ඇත්තේ පුරාමලේ ලෙසය. එය පරවි දූපත ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේ දූපතේ බහුලව දැකිය හැකි නිල් ගල් පරවියන් නිසා බවට ද මතයක් ඇත. ඒ අතරම පණිවුඩ හුවමාරු කිරීම සඳහා පරවියන් ආධාර කරගත් අතීත රජ දරුවෝ මේ දූපත ඒ සඳහා භාවිත කළ බවට ද සඳහන්ය.

ඒත් සංචාරකයන්ගේ සිත් ගත් නිලාවේලිය හා බැඳි පරෙයි දූපත පිළිබඳ නැගෙනහිර වෙරළෙන් දැන් ඇසෙන්නේ සතුටුවිය හැකි කතාවක් නොවේ. යුද්ධය අවසන් වීමෙන් පසු ක්‍රමයෙන් දියුණු වූ නිලාවේලියේ සංචාරක කර්මාන්තය ඒ හා ප්‍රවේගයකින් අඩු වීමේ වාතාවරණයක් මේ වනවිට උදාවෙමින් තිබේ. එසේ කියන්නේ අප නොව වසර ගණනාවක සිට දකුණේ සිට නිලාවේලියට පැමිණ විදේශිකයන්ට පරෙයි දූපත් සංචාරය සඳහා පහසුකම් සලසන කණ්ඩායම්වල මිනිසුන්ය. “ටි්‍රන්කො බේ ඩයිවින් සෙන්ටර්” පාසලේදි අපිට හමු වූ නිහාල් එසේ පැමිණි කණ්ඩායමේ නායකයෙකි. මිරිස්සේ නිහාල් ලෙස නිලාවේලියේ ප්‍රකට ඔහු මැයි මාසය උදාවෙත්ම දකුණු වෙරළ තීරයේ මිරිස්ස ප්‍රදේශයේ සිට නිලාවේලියට එන්නේ විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන ය. ගල් මල් අතර කිමිදීමට සහ පරෙයි දූපත් බෝට්ටු සංචාරය සඳහා පහසුකම් සැලසීමෙන් ඔවුන් නැගෙනහිර වෙරළේ සංචාරක ප්‍රවර්ධනයට සැලකිය යුතු රුකුලක් දෙන්නේය. නමුත් ඔහු කියන්නේ වසරින් වසර දැන් පරෙයි දූපත් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ අඩු වීමක් පෙන්නුම් කරන බවය. ඊට හේතුව කුමක්දැයි ඇසු විට ඔහුගේ ප්‍රතිචාරය මෙයයි.

“විදේශිකයන් දැන් පිජන් අයිලන්ඩ් යන්න එන්නෙ නෑ. හේතුව වනජීවියෙන් එක් විදේශිකයකුගෙන් රුපියල් දහතුන්දාස් දෙසීයක් වගේ ලොකු මුදලක් අය කරනවා. අපි පිජන් අයිලන්ඩ් යන්න වනජීවියේ ටිකට් එකටත් එක්ක බෝට්ටුවකට ඩොලර් හැත්තෑවක් ගන්නවා. ඩොලර් හැත්තෑව කියන්නෙ රුපියල් විසි එක්දාහක් වගේ. ඒ විසි එක්දාහ ඇතුලේ ටිකට් එකයි බෝට්ටුවේ ගාණයි, කිමිදීමේ ඇඳුම් කට්ටලයි, ගයිඩ් කෙනෙකුයි වතුරයි ඔක්කොම සපයන්න ඕන. එතකොට විදේශීකයන් අරන් එන ටුවර් ලීඩර්ස්ලට අපි ටිකට් එකේ ඉඳන් ඔක්කොම සපයන්න ඕන. නැත්නම් එයාල සුද්දො අරන් එන්නෙ නෑ. අනික සංචාරක පාරාදීසයක් කිව්වට ත්‍රිකුණාමලයේ ඉඳන් නිලාවේලිවලට තියෙන පාර සවුත්තුයි. නිලාවේලිවල යටිතල පහසුකම් නැතිකම ලොකු අඩුවක්. පාසිකුඩා පැත්තෙ ඉඳන් පාර හොඳ නිසා දැන් ඒ පැත්තට එන සංචාරකයෝ එනවා. නමුත් යටිතල පහසුකම් වැඩි දියුණු කරන්නෙ නැතිව සංචාරක කර්මාන්තය දියුණු කරන්න බැ. මෙතෙන්ට එන විදේශිකයන්ට වැසිකිළි පහසුකම් නෑ. අපිට පුළුවන් විදියට ඒවා කරන නිසා යන්තම් ජාමේ බේරෙනවා. මේවා කරන්න ඕන රජය. ඇත්තෙන්ම නිලාවේලිය ලස්සන කරන්නෙ දකුණෙන් යන මිනිස්සු.”

නිලාවේලියේ සංචාරක කර්මාන්තය මෙවැනි මට්ටමක හෝ පවතින්නේ දකුණේ සිට නිලාවේලියට අර්ධකාලීනව පැමිණෙන සංචාරක පහසුකම් සපයන කණ්ඩායම් නිසා බව නිහාල් කියන්නේය. මැයි මාසයේදී නිලාවේලියේ සංචාරක වසන්තය උදාවෙත්ම දකුණේ සිට ගොඩබිම් මාර්ග ඔස්සේ බෝට්ටු පටවාගෙන මෙවැනි කණ්ඩායම් නැගෙනහිර වෙරළේ නැංගුරම්ලා ගන්නේය. ඒ සංචාරකයන් සඳහා වන තාවකාලික අවන්හල්, කිමිදුම් පාසල්, ජල ක්‍රීඩා මධ්‍යස්ථාන වැනි තවත් බොහෝ දෑ සමගය. නිහාල්ලගේ සාමාජිකයන් පහළොස්දෙනක් ගෙන් සමන්විත ටි්‍රන්කෝ බේ ඩයිවින් සෙන්ටර් කණ්ඩායමට අමතරව දකුණේ සිට තවත් කණ්ඩායම් අටක් පමණ මෙවර නිලාවේලියට පැමිණ තිබේ. පරෙයි දූපතට කරන සංචාරයක් හෝ නේවි අයිලන්ඩ් දියඹේ කිමිදීමට පහසුකම් සැලසීම මගින් සංචාරකයන් තෘප්තිමත් කර ඔවුන් මුදලක් උපයති. ඒ අතර තල්මසුන් නැරඹීමේ චාරිකා ද දැන් දකුණේ මිරිස්සේ සේම නිලාවේලියේ ජයටම සිදුවෙති.

නමුත් තල්මසුන් නැරඹීම පසෙකට දැමූ අපි සැලසුම් කර පරිදිම පරෙයි දූපතේ අසිරිය දැකීමට පිටත් වුණෙමු. අප නිලාවැලි වෙරළේ සිට පරවි දූපතට ළඟා වන විට මුහුදු සැතපුම් 1.2 දුරක් ගමන් කර තිබිණ. ඔබ සංචාරකයකු ලෙස පරවි දූපතට පිවිසෙන්නේ නම් මුලින්ම කළ යුත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් ඒ සඳහා අවසරපතක් ලබාගැනීමය. ඊට හේතුව 1963 දී වන සත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ අභය භූමියක් වශයෙන් නම්කර පැවති මේ දූපත 2003 වසරේදී සමුද්‍ර ජාතික උද්‍යානයක් ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරා තිබීමය. ඒ අනුව හෙක්ටයාර 471429 භූමියක් වර්තමානයේදි මෙම උද්‍යානයට අයත් අතර ඉතා රමණීය පරිසර පද්ධතියක් වසා එය විහිද තිබෙන්නේ එකිනෙකට වෙන් වූ දූපත් දෙකකිනි. දියඹේ සිට පරවි දූපතට පිවිසුම් මගෙහි වම් පසින් දිස් වන්නේ ඉන් එක් දූපතක් වන කාක දූපතය. පරවි දූපත කාක දූපතට වඩා භූ ප්‍රමාණයෙන් විශාලය. එසේම එය සිත් ඇදගන්නා සුළු පරිසරයකින් සමන්විතය. ඒ සියල්ලට වඩා ගොඩබිමට ආසන්න සමුද්‍රිය උද්‍යානයක ජීවත්වන මත්ස්‍ය විශේෂ ගණනාවක් එකම ස්ථානයකදී දැකගත හැකිනම් ඒ පරෙයි දූපතම බව කිව හැකිය. මේ දූපත සමුද්‍රීය උද්‍යානයක සිරි ගෙනෙන්නේ එම මත්ස්‍ය විශේෂයන්ට නිවහන සලසන, දූපත වටා පිහිටි කොරල්පර සමූහය නිසාය. දිය යට විසිතුරු ලොවක් මවන එම කොරල්පර සමූහය කොරල් ජීවීන් සියයකට වඩා වැඩි ප්‍රමාණයක් විසින් නේක වර්ණ ගන්වා ඇත. සංචාරක ආකර්ෂණය අතින් පරවි දූපතට වර්තමානයේදි ඉතා ඉහළ අගයක් හිමිව ඇත්තේද නීල සේද සළුවක් යට සඟවා ගත් නඳුන් උයන බඳු වූ මේ මනස්කාන්ත කොරල් පරය හේතුවෙන්ය. දූපත වටා පිහිටි නොගැඹුරු මුහුදේ කිමිද එම විසිතුරු ලෝකය දැක විඳගැනීමට පමණක්ම වසරක් පාසා මේ රටට පැමිණෙන විදේශීය සංචාරකයන් සිටින්නේ ද ඒ නිසාය.

නමුත් රටට විදේශ විනිමය ගෙනදෙන ඉහළ ජෛව විවිධත්වයක් ඇති මේ අගනා පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වගකිවයුතු ආයතන දක්වා ඇත්තේ අඩු සැලකිල්ලකි. උද්‍යානයට පිවිසීමට ඉහළ ප්‍රවේශපත්‍රයක් නිකුත් කළද කොරල්පර නැරඹීමට සහ ඒ අතර කිමිදීමට එන දෙස් විදෙස් සංචාරකයන් වනජිවීයේ නියාමනය කිරීමක් හෝ එහිදි අපි නොදුටුවෙමු. අප එසේ සඳහන් කළේ පරෙයි දූපතේ පිවිසුමේ සිට ඊසාන දෙසට වන්නට පිහිටි කොරල් පර සමූහයෙන් බොහොමයකට වර්තමානයේ අත්ව ඇති ඛේදජනක ඉරණම දුටු නිසාය. අතීතයේ චමත්කාර දසුන් මැවූ එහි වූ කොරල් පර විශාල ප්‍රමාණයක් වර්තමානයේදී මියගොස් ඇත. ඇත්තේන්ම පරෙවි දූපත අවට සමුද්‍රයට පමණක් නොව ලංකාව වටා ඇති මෙවැනි අතිශය සංවේදී සමුද්‍රීය පරිසර පද්ධති වර්තමානයේදී දැඩි තර්ජනයකට ලක්ව තිබෙන්නේ ඇයිද යන්න සොයා බැලිය යුතුව ඇත. මේ වන විටත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ පවතින කොරල්පර ගහනයෙන් සියයට අනූවක්ම විනාශ වී ඇති අතර දැනට සජීවී තත්ත්වයේ පවතින ඉතිරි සියයට දහයක ප්‍රමාණය ද ඉදිරි දස වසරක කාලය තුළදී විනාශ වීමේ අවදානමක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මින් වසර කිහිපයකට පෙර අනතුරු හැඟෙව්වේය. ඒ සියල්ලටම හේතුව මිනිස් ක්‍රියාකාරම් ය.

ලෝකය සාගරය පදනම් කරගත් නිල් ආර්ථිකය (Blue Economy) නමැති සංකල්පය ඔස්සේ අනාගතය ජයගැනීමට සැලසුම් සකස් වෙමින් තිබියදී අපේ රට තවමත් ඒ වෙනුවෙන් නිසි බර තැබීමක් සිදුකර නැත. නිලාවේලි සංචාරක කලාපයේදී අපි දුටුවේ එහි එක් පැත්තකි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment