අපරාජිත ශාන්ත පීතර ක්‍රීඩකයෝ රග්බි කිරුළ හිමිකර ගනිති

229

මෙවර අන්තර් පාසල් අවුරුදු 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ ප්‍රමුඛ පෙළ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “ඩයලොග් අභියෝග කුසලාන” බම්බලපිටියට රැගෙන යෑමට ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ ඉකුත් සෙනසුරාදා (19) සන්ධ්‍යාවේ දී සමත් වූහ.

අපරාජිත ශාන්ත පීතර ක්‍රීඩකයෝ රග්බි කිරුළ හිමිකර ගනිති

මෙවර ලීග් තරගාවලිය පුරා තම අපරාජිත බව මැනවින් ආරක්ෂා කර ගැනීමට සමත් වෙමින් ශාන්ත පීතර ක්‍රීඩකයෝ “ඩයලොග් අභියෝග කුසලාන” දිනා ගැනීම කැපී පෙණුනි.

මෙවර ජයග්‍රාහකයන් තීරණය කෙරුණු සටන කොළඹ ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර ක්‍රියාත්මක කෙරිණි. එහිදී ලකුණු 11 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ශාන්ත පීතර ක්‍රීඩකයන්හට හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස “ඩයලොග් අභියෝග කුසලාන” හිමි විය.

ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු මුහුණුවරක් ඉසිළු මෙම තරගයේ අවසන් ලකුණු පුවරුව 28 – 17 ක් ලෙස දිස් විණි.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 15 – 10 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට ශාන්ත පීතර විදුහල ට හැකි විය. ශාන්ත පීතර ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු යුමෙත් ෂිහාර (01), දුලාජ් නවෝද්‍ය (01) දිනෙන් රණසිංහ (01) කුෂාන් තරිඳු (01) උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි එක් ප්‍රවර්තනයක් සමගින් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කිරීමට යුමෙත් ෂිහාර සමත් විය. කුෂාන් තරිඳු ගේ පාදයෙන් එක් දඬුවම් පහරක් සාර්ථක විය.

පරාජිත ඉසිපතන විදුහල වෙනුවෙන් කැපී පෙනුණු රිනේෂ් සිල්වා (01) සහ දමිරු රාජපක්ෂ (01) උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප්‍රවර්තන ද්විත්වය හා දඬුවම් පහරක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට රිනේෂ් සිල්වා ට හැකි විය.

ශ්‍රී ලාංකේය පාසල් ලීග් රග්බි පාපන්දු ශූරයන් ලෙස අභිෂේක ලැබීමට ශාන්ත පීතර ක්‍රීඩකයන් සමත් වන්නේ වසර 13 කට පසුව වීම ද විශේෂත්වයකි. මේ අතර වාරයේ බෝගම්බර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු ශාන්ත අන්තෝනි විදුහලට එරෙහි තරගයේ දී ලකුණු 37 – 14 ක පහසු ජයග්‍රහණයක් කොළඹ රාජකීය විදුහලට හිමි විය. තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු පුවරුව 15 – 00 කි.

ශාන්ත පීතර විදුහලේ නායක අශාන් මඩුගස්ගේ ඩයලොග් පාසල් රග්බි ලීග් කුසලානය ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමාලි නානායක්කාර සහ ශ්‍රී ලංකා එස්ආර්එෆ්ඒ සභාපති කමල් ආරියසිංහ අතින් ලබා ගත් අයුරු.එසේම තේමිය ද මැල් – (ගෞරවනීය ආරාධිත අමුත්තා), නිරෝධ විජේරාම – ලේකම්, එස්. එල්. එස්. ආර්. එෆ්. ඒ. සහ හර්ෂ සමරනායක – උප සභාපති සන්නාම සහ මාධ්‍ය, සමූහ අලෙවිකරණය, (ඩයලොග් ඇක්ෂියාටා පීඑල්සී) යන මහත්වරුද ඡායාරූපයේ දැක්වෙති.


අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment