ධීවර බලධාරීන් නිහඬයි..! – දෙවියනි ඔවුන් දෙස බලනු මැන…!

93

ජනපතිතුමනි – විදේශ ඇමැතිතුමනි – ධීවර ඇමැතිතුමනි අපේ තාත්තලා ගෙන්වා දෙන්න – දරුවෝ විලාප දෙති
දරුවා හම්බවෙලා මාසයක් වෙනවා තාත්තා තවම දරුවාගේ මූණ දැකලා නැහැ – සුදීරා ලක්ෂානි
ධීවර බලධාරීන් අපේ අය ගෙන්වා දෙන්න නිදිමත පිළිවෙතක ඉන්නවා – ඉරේෂා මදුවන්ති

ධීවර බලධාරීන් නිහඬයි..! - දෙවියනි ඔවුන් දෙස බලනු මැන…!

කොල්ලකරුවන්ගෙන් ගැලවී ෂිෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටින ‘ලොරෙන්සෝ පුතා’ යාත්‍රාවේ ධීවරයන් ගෙන්වා දෙන්නැයි පවුලේ අය සහ ප්‍රදේශවාසීහු වීදි බසිති

සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරායේ ‘ලොරෙන්සෝ පුතා – 4’ යාත්‍රාවේ රැඳී සිටින ධීවරයන් හය දෙනා කඩිනමින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමින් ධීවරයින්ගේ පවුලේ අය සහ ප්‍රදේශවාසීන් පසුගියදා තොඩුවාව කුඩාමඩුවැල්ල මංසන්දියේදී විරෝධතාවයක නිරත වූහ.

ධීවර බලධාරීන් නිහඬයි..! - දෙවියනි ඔවුන් දෙස බලනු මැන…!

එම මංසන්දියේ විරෝධතාවයේ නිරිත වී කුඩාමඩුවැල්ල ක්‍රිස්තුරජාණන්ගේ දේවස්ථානය අභියසට පැමිණ එම ධීවරයින් පිරිස ගෙන්වා දෙන මෙන් දේව කන්ලලව්වක්ද පැවැත්විණි. සීසෙල් හි රැඳී සිටින ධීවරයන්ගේ දරුවන්, ගැබිණි මවක්, අත දරුවන් වඩා සිටින මව්වරුන් තම දුක් ගැනවිල්ල දෙවියන් අභියස හඬා වැටෙමින් ඉදිරිපත් කරද්දී පැමිණ සිටි අයගේ නෙත් කඳුලෙන් තෙත් වූයේ නිරායාසයෙනි.

යාත්‍රාවේ නියමුවාගේ බිරිඳවන සුදීරා ලක්ෂානි පිය සෙනහස නොමැති තම දරුවාට උණුසුම ලබා දෙමින් හැඬු කඳුළින් මෙසේ පැවසුවාය.

මගේ මහත්තයා තමයි මේ යාත්‍රාවේ ඉස්කීපර් එයා යනකොට මට දෙවෙනි දරුවා ලැබෙන්න සිටියේ. දැන් එයා හම්බබෙලා මාසයක් වෙනවා. තාත්තා, දරුවා තාම දැකලත් නෑ. මට තව අවුරුදු අටක දුවෙක් ඉන්නවා. අපි අන්ත අසරණ වෙලා ඉන්නෙ. අපේ ජීවිත කොහොමද ගෙවන්නෙ කියලා බලධාරීන් කවුරුත් ඇවිල්ල අපි දිහා බලන්නේ නෑ.

අපිට කණගාටුව මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන අපි වගේ ධීවර පවුල් ගැන බලන්නැති එක ගැනයි. අපිට අපි විතරයි කියලා දැනුනේ මේ කාලසීමාවේ තමා. මම මේ පැටියත් වඩාගෙන යන්න ඕන හැම තැනටම ගියා. කිසිම සාධාරණයක් ඉෂ්ඨ වුනේ නෑ. ජනාධිපතිතුමාට අපි කියන්නේ මේ ගැන බලල අපිට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න කියලයි.

ධීවර කාර්මිකයෙක් වන සමිත් කුමාර යන අයගේ බිරිඳ වන ඉරේෂා මදුවන්ති මහත්මිය :

මගේ මහත්තයත් ඒගොල්ලො එක්ක ඉන්නවා. අපිට අවුරුදු අටක දුවෙක් ඉන්නවා. එයා නිතරම තාත්තා එන්නෙ නැද්ද කියල අහනවා. දැන් මාසෙකට වැඩියි. අපි හරි පීඩනයෙන් ඉන්නෙ. මේ බෝට්ටුවේ අයිතිය එක්කෙනා හැම තිස්සේම කොළඹට ගිහිල්ලා නිලධාරීන් හම්බෙනවා. අපි බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන එයා ගෙදර එනකම් බලාගෙන ඉඳලා ගිහිල්ලා අහනවා මොකද වුනේ කියලා.

ඒ හැම දවසකම ලැබුණු උත්තරේ වැඩක් වුණේ නෑ කියන එක. දැන් අපි මොකද කරන්නෙ? අද බැරිම තැන මේ කාර්යාලයට ආවේ. නමුත් ඒ කෙනුත් වැඩක් නෑ කියල තේරෙනවා.

මේ රටේ මේ වගේ දේවල් වෙද්දි නිලධාරීන් මේ ආකාරයට හැසිරෙන්න ඇයි? අපිට හරිම දුකයි. අපි කියන්නේ කොහොම හරි මේ අය ඉක්මනින් ගෙනත් දෙන්න කටයුතු කරන්න කියලා. අපට දැන් එකම පිහිට දෙවියන්. යාච්ඤා කරනවා ඇරෙන්න වෙන මොනාද කරන්නෙ.

හර්ෂා ප්‍රියංගිකා මහත්මිය :

අපේ මහත්තයා ඇතුළු බෝට්ටුවෙ ඉන්න අය රඳවාගෙන දැන් මාස එකහමාරක් කිට්ටු වෙනවා. මට දැන් බබෙක් හම්බෙන්න ඉන්නෙ. තව කුඩා ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා හැමතිස්සෙම තාත්තා ගැන අහනවා. දැන් මම මේ සියලු වැඩ කටයුතු කරන්නේ බොහොම අමාරුවෙන්. සමහරවිට මං පැය ගණන් අඬනවා. අපේ ළමයි අහනවා ඇයි අඬන්නෙ කියලා. මේවට උත්තර දෙන්නෙ කොහොමද? අනිත් එක මට දැන් හදිස්සියේ හොස්පිටල් එකට යන්න වෙන්න ඉඩ තියෙනවා. මේ ළමයි දාලා යන්න තැනක් නෑ. හැම දෙයින්ම අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඉක්මනින් මේ ගොල්ලො ගෙනත් දෙන්න කටයුතු කරන්න කියලයි.

ධීවර කාර්මිකයෙක් වන අවිශ්ක කෞෂල්‍ය යන අයගේ බිරිඳ වන නිතුමිණි විහාරා මහත්මිය :

අපි හැමදාම බලාන ඉන්නේ හොඳ උත්තරයක් ලැබෙයි කියලා. ඒත් දවසින් දවස ඒගොල්ලෝ එන දිනයක් ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැරි තත්වෙට පත් වෙලා. අපිට කොයි විදිහටද ජීවත් වෙන්නේ කියලා කවුරුත් දන්නෑ. අපිට කියන්නත් දුකයි. අද රටේ තියෙන තත්වය අනුව රැකියාවක් නැතිව අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා ඕනම කෙනෙකුට හිතාගන්න පුළුවන්. නිලධාරින් අපේ අය ගෙන්නගන්න උත්සාහ කරනවා තියා, අපි ජීවත් වෙනවාද කියලාවත් බලන්නේ නෑ. කියල වැඩක් නෑ. අපි කියන්න් ධීවර අමාත්‍යාංශයේ වගකිව යුත්තන්ට ඉක්මණින් අපේ අය ගෙනත් දෙන්න කියලයි.

ධීවර කාර්මිකයෙක් වන ඉසුරු අශේන් යන අයගේ පියා වන රොහාන් නිශාන්ත මහතා :

මේ සිදුවීමත් එක්ක ධීවර ජනතාවට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ මොකක්ද ධීවර ජනතාව බලන්න කිසිම කෙනෙක් නෑ කියන එක. හැබැයි ඒ ගැන අපි පසුගිය

කාලෙ අපි වින්ද පීඩාවෙන් දැනගෙන හිටියා. අපිව බලන්න කවුරුත් නෑ කියල. නමුත් මේ සිද්ධියේදිවත් නිලධාරින් ඉදිරිපත් වෙලා විසඳුමක් ලබාදෙයි කියලා හිතුවා.

තමන්ට තමන්මයි. තව කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තබන්න බෑ.

අපිට දුක මේ ගැන බලන්න ගිහිල්ල අපිව රස්තියාදු කරන එක ගැන. අද අපේ ආර්ථිකය අන්තයටම වැටිලා. අපි හරි පීඩාවෙන් ඉන්නේ. කොළඹ යනව උදේ පාන්දර කොළඹ ගිහිල්ලා අමාත්‍යංශයට යනවා. අමාත්‍යංශයෙන් තව තැනකට යවනවා. සාකච්ඡා තියෙනවා. ඒත් විසඳුමක් නෑ.

මේ සම්බන්ධව අදහස් දක්වන ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මහතා:

ලේකම්වරියත් එක්ක පැය දෙකක් සාකච්ඡා කළා. මම ඉල්ලුව අඩුම ගානේ මේ අසරණ වෙලා ඉන්න ධීවර පවුල්වලට

කිසියම් සහනාධාරයක් ලබා දෙන්න කියලා. එතුමිය කියන්නේ ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ කියලා. මං පෙන්නලා දුන්නා ඇයි ජලගැල්ම, නියං කාලෙට ආධාර දෙනාව වගේ අඩුම ගානෙ මේ ධීවර පවුල් ගැන බලලා මානුෂීය පැත්තෙන් හිතල කටයුතු කරන්න කියලා. නමුත් කිසිම උත්තරයක් නෑ. අපි මේකට කඩිනමින් විසඳුමක් ලබා දුන්නෙ නැත්නම් ධීවර අමාත්‍යංශයේ ඉදිරිපිටට ඇවිල්ලා මාරාන්තික උපවාසයක් කරනවා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment