මැතිවරණය කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක්

162

මාර්තු 09 වැනිදාට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩක් නැත. ඒ මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන්, කලින් මුදල් ගෙවීමකින් තොරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙනි. මේ හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රමාද වීම සහ නියමිත වේලාවට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අපහසුතාව මත,මැතිවරණය කල් දැමීමට සිදු විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මෙම අනපේක්‍ෂිත ආපසු හැරීම විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අනතුරේ හෙළා තිබේ. මෙහිදී මැතිවරණ කොමිසමට මුදල් ලබානොදීමේ පදනම වී ඇත්තේ, රජයේ දෙපාර්තමේන්තු සඳහා ණය පදනම මත මිලදී ගැනීම්වලට අවසර නොදීමට රජය ගත් තීරණයයි. කල්තියා මුදල් නොගෙවා තිබිය දී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ ක්‍රියාවක් වන නමුත් මෙවර එය අත්හිටුවා ඇත.

මෙය රජයේ තීරණ මත අරමුදල් සපයන රාජ්‍ය ආයතන දෙකක් අතර අභ්‍යන්තර ප්‍රශ්නයක් වන බැවින් එය ඇත්තෙන්ම විකාරයකි. එයින් පිළිබිඹු වෙන්නේ, මේ මොහොතේ මැතිවරණයකට යෑමට ආණ්ඩුව දක්වන අකමැත්තයි. පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ ජනප්‍රියත්වය සහ එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස පුළුල් ලෙස ගත්කළ සැලකිය හැකිය. මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩු දෙකෙන් දෙවැන්න මෙම සතියේ දී විභාගයට ගැනීමට නියමිතය. මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බැවින් ඊට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කරමින්, පළමු නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දී ඇත.

කෙසේ වෙතත්, පෙත්සමේ අඩුපාඩු හේතුවෙන් දෙවන නඩුව විභාගයට නොගත් අධිකරණය, ඒවා නිවැරදි කිරීමට හැකිවන පරිදි නඩු විභාගය පෙබරවාරි 23 වැනිදාට කල් තබනු ලැබීය. මෙම නඩුවේ දී පෙත්සම්කරු තර්ක කර තිබුණේ රටේ පවතින ආර්ථික තත්ත්වය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හිතකර නොවන බවයි. ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීම තම ප්‍රමුඛතාව බවට ආණ්ඩුවේ නායකයන් ප්‍රකාශ කරන ස්ථාවරයට මෙය සමාන වේ. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් ලෙස ගණන් බලා ඇත. මේ වනවිටත් මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික අයවැයෙන් රජය මැතිවරණය වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ඇත. එලෙස අයවැයෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තබුණ ද මැතිවරණයට වැයකිරීම සඳහා තමන් සතුව මුදල් නොමැති බව දැන් ආණ්ඩුව ප්‍රකාශ කරයි.

නැවත නැවතත් විරෝධතා

රජයේ මුදල් පරිහරණය කිරීම සඳහා ක්‍ෂේත්‍ර පහකට ප්‍රමුඛත්වය දීමට රජය ගත් තීරණය නිසා දුෂ්කරතාවන් උද්ගතව ඇති බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇත. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් යෙදවිය යුතු බවට රජය තීරණය කර ඇති බව භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දී තිබේ. එලෙස අත්‍යවශ්‍ය සේවාවන් වර්ගීකරණය කර ඇති නමුත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වියදම් ඊට ඇතුළත් නොවේ. ගොවීන්ගෙන් වී මිලදී ගැනීම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහ ගැබිනි මවුවරුන්ට පෝෂණ අවශ්‍යතා ලබාදීම, විමධ්‍යගත අයවැය වැඩසටහනින් පාරිතෝෂිත දීමනා සහ හිඟ බිල්පත් ගෙවීම මෙලෙස අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍ර ලෙස වර්ගීකරණය කර තිබේ. මෙම අයිතම ලැයිස්තුවෙන් පරිබාහිරව වියදම් පියවා ගැනීමට අවශ්‍ය නම් විශේෂ අනුමැතියක් ලබාගත යුතුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ පදනම වන කාලානුරූපී මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස මෙහිදී සැලකිය යුතුය.

මැතිවරණයක් නොපවත්වන්නේ නම් හෝ මැතිවරණයට නව දිනයක් නියම නො කළහොත් දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වීමට ඉඩ තිබේ. නීතීඥ සංගමය අනතුරු අඟවා ඇත්තේ පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාර ලේකම්වරයා, රජයේ මුද්‍රණාලය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම රජයේ ආයතනවල ක්‍රියාකලාපයන් පැහැදිලිව ම පෙන්නුම් කරන්නේ මැතිවරණය නතර කිරීමට සාමූහික ප්‍රයත්නයක් ගෙන එමගින් ජනතාවගේ ඡන්ද බලය හෑල්ලු කර, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වෛරීභාවය අනතුරේ හෙළීමයි. නීතියෙන් නියම කර ඇති මැතිවරණ වැළැක්වීමේ එවැනි උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කරන අතර එය අනාගතයේ මැතිවරණ ක්‍රියාවලියට දැඩි තර්ජනයක් වනු ඇත. මැතිවරණයක් වෙනුවෙන් සම්පත් වෙන් කිරීමට බාධා කිරීම සහ ශ්‍රී ලංකාවේ මහජනතාවට තම නියෝජිතයන් හා නායකයන් තෝරාගැනීම වැළැක්වීම සඳහා ජනප්‍රිය නොවන විධායකයන් හෝ ව්‍යවස්ථාදායකයන් කටයුතු කිරීම භයානක පූර්වාදර්ශයක් විය හැකි බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනතුරු අඟවයි යනුවෙනි.

මෙම සංදර්භය තුළ මැතිවරණ නො පැවැත්වීම විරුද්ධ දේශපාලන පක්ෂවල මැදිහත්වීමෙන් මහජන විරෝධතා අවුළුවාලීමට සහ පසුගිය වසරේ දක්නට ලැබුණු තත්ත්වය දක්වා උග්‍ර වූ පුළුල් විරෝධතා ව්‍යාපාරය වැනි ඍජු ක්‍රියාමාර්ගවලට යොමුවීමට හේතුවිය හැකිය. ආණ්ඩු විසින් මැතිවරණ කල් දැමීමේ ඍණාත්මක අත්දැකීම් දෙකක් ශ්‍රී ලංකාවට පවතී. පළමුවැන්න නම්, 1970 දී තේරී පත් වූ පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කිරීමත් සමග, 1972 දී පාර්ලිමේන්තුවේ 2/3 බලය භාවිත කරමින් ආණ්ඩුවට 1977 දක්වා අමතර වසර දෙකක් ලබාදෙමින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ අවස්ථාවයි. දෙවැන්න 1977 දී පාර්ලිමේන්තුවේ 5/6 ක බලයකින් තේරී පත්වූ ආණ්ඩුව විසින් 1982 දී ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර පහකට (සම්පූර්ණ වාරයක්) දීර්ඝ කිරීමයි. ඒවායේ ප්‍රතිඵල රටට විනාශකාරී විය.

නීත්‍යානුකූලභාවය නැවත ලබාගත යුතුය

ආණ්ඩුවකට සහ එහි ප්‍රතිපත්තිවලට තම සහයෝගය හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට මැතිවරණ මගින් ජනතාවට අවස්ථාව සැලසේ. ජනමත විචාරණයෙන් වසරකට පසුව, 1983 දී දෙමළ ජනතාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත වාර්ගික කෝලාහලයක් ඇති වූ අතර එය ජනතාවගේ කලකිරීමට හේතුවිය. මෙය සම්පූර්ණ ජනවාර්ගික කැරැල්ලට සහ සිවිල් යුද්ධයට මඟ පෑදීය. මේ අවස්ථා දෙකේදී ම මැතිවරණ ක්‍රියාවලිය යටපත් කළ ආණ්ඩු එම දෛවෝපගත තීරණ ගන්නා විට සිටියේ ඔවුන්ගේ බලතලවල උච්චතම අවස්ථා වේ.එය වර්තමානය හා සැසදීම වඩා නිවැරදි වන්නේ නැත. වත්මන් ආණ්ඩුව ජනවරම මත පදනම් වූ ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකිය. අන් සියල්ලට ම වඩා ආණ්ඩුවක නීත්‍යානුකූලභාවය ශක්තිමත් කිරීම අවශ්‍ය වන අතර ආණ්ඩුවකට වඩාත් සුදුසු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අදාළ නීති සහ ක්‍රියාවලි සාධාරණ ලෙස අනුගමනය කිරීම ය.

පසුගිය වසරේ ජනධිපතිවරයාට අගමැතිවරයාට සහ ඇමැති මණ්ඩලයට ඉල්ලා අස්වීමට බල කිරීමට විරෝධතා ව්‍යාපාරය සමත් වූ දා සිට ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්ව තිබේ. ආණ්ඩුවේ ජයග්‍රහණය වන්නේ මැතිවරණයකට නොගොස් නව ජනාධිපතිවරයකු, අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලයක් සමග යළි නැඟිසිටීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින්නේ බලය අල්ලාගෙන කටයුතු කරන නීත්‍යානුකූල ආණ්ඩුවකි. කෙසේ වෙතත් ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්නාර්ථයකි. නීත්‍යානුකූලභාවය යන්නෙන් අදහස් කරන්නේ නීතියට ගැළපෙන තත්ත්වයයි. කෙසේ වෙතත් නීත්‍යානුකූලභාවය යනු මිනිසුන්ට පොදුවේ පිළිගත හැකි සදාචාරාත්මක සහ සාධාරණ මාවතක් අනුගමනය කිරීමයි. මැතිවරණ ප්‍රමාද කිරීම ඔස්සේ සිදුවන්නේ ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය තවදුටත් ඛාදනයවීම මිස එය ශක්තිමත් වීම නොවේ. එසේම එමගින් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් පවතින බවට සංඥා කරයි. එසේ කිරීමට අපොහොසත්වීම යනු විරෝධතා ව්‍යාපාරයේ දෙවැනි පැමිණීමකට තුඩුදෙන්නක් විය හැකි අතර ඒ සමග සටන් කිරීමට රජයට අපහසු වනු ඇත.

වත්මන් ආණ්ඩුවේ නායකත්වයට අයත් වන්නේ අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදී විකෘති කිරීම් සහ ඒවායින් පසු ඇතිවූ විනාශයන් අත්විඳි පුද්ගලයන්ය. ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි විනාශකාරී තත්ත්වය ගැන ඔවුන් නොදැන සිටීමට හැකියාවක් නැත. කල්දැමීමකින් පසුව වුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජාතික අවශ්‍යතාවක් ලෙස හඳුගාගත හැකිය. මූලිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ප්‍රමුඛත්වය ලබාදීම තහවුරු කළ යුතුය. එසේම ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ආණ්ඩුව සහ විපක්‍ෂය යන දෙඅංශයම සම්බන්ධවන වෙනසක් සඳහා වූ අවස්ථාවක් බවට මෙම අර්බුදය පරිවර්තනය කිරීමේ හැකියාව ද ඒ සමගින් තහවුරු කළ යුතුව ඇත.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment