විශ්‍රාමික හිමිකම් ලබාදීම තවත් පමාකරන්නේ ඇයි?

493

අප විශ්‍රාම වැටුපක් ලබන්නේ ඉටුකළ සේවයට අනිවාර්යයෙන් ලැබිය යුතු ගෞරවාන්විත දීමනාවක් වශයෙනි. එය වැඩි නොකොට ලබන පිං පඩියක් නොවේ. මහින්ත චින්තන ඉදිරි දැක්ම 2010 ප්‍රකාශයේ ද එසේ සඳහන්වූ බව මතක් වේ. එහෙත් අද පාලකයන්ට අප හා අප ලබන වැටුප බරක් බව ඔවුන්ගේම ප්‍රකාශ වලින් පැහැදිලි වේ.

බඩු මිල අහස උසට නැඟ ඇත. විශ්‍රාමිකයන් බොහෝමයක් කුමන හෝ රෝගාබාධයකට ප්‍රතිකාර ලබන්නවුන්ය. එහෙත් 2017 හා සසඳන විට සියලුම මිල 500% සිට 1000%ක අගයකින් ඉහළ ගොස් ඇති බඩු මිල ද සියලු සේවාවන් සඳහා වැය ද 2017 වසරට වඩා පස්හය ගුණයකින් ඉහළ ගොසිනි. එහෙත් අප තවමත් ලබන්නේ 2017 ලැබූ සොච්චම් වැටුපමය. එය ඉතා අපහසුවෙන් ලබන වැටුපෙන් ජීවිතය ගැට ගසාගත් අපි ද ජීවත්වන්නේ එම පරිභෝජනය කළ දෑ 500% සිට 1000% ක පමණ ප්‍රමාණයකින් කප්පාදු කර ගැනීමෙනි. ජීවන බර අධිකය. දරා ගත නොහැකිය.ි බලධාරීන් නිහඬයි. ගෙවිය යුතු වැටුපවත් නොගෙවයි. සකල විශ්‍රාමිකයිනි, ජීවත්වීමට සරිලන වැටුපක පහසුකම් හා දීමනා වැඩිකර නොගෙනම ජීවත්විය නොහැකි තත්ත්වයකි. මේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා එක්සත්ව සටන් කළ යුතුම කාලයයි.

පාලකයන්ට අපේ අමාරුකම් නොපෙනෙන බව පැහැදිලිවම පෙනේ. වගේ වගක් නැත. අපට ගෙවිය යුතු වැටුපක් වත් නොගෙවන පාලකයෝ වෙනත් දීමනා ලබාදෙත්ද? 2020 ජනවාරි සිට සියලු විශ්‍රාමිකයන්ට දැනට වැටුප් ලබන වැටුප් පරිමාණයන්හි අවසන් කොටස ලැබිය යුතු වේ. 2016 සිට ක්‍රියාත්මක රාජ්‍ය සේවයේ නව වැටුප් පරිමාණ අනුව සියලු විශ්‍රාමිකයන්ට වැටුප ගළපා 2017 දක්වා වූ කොටස ගෙවා ඇත. එළැඹි එකඟතාවක් අනුව 2018, 2019 වැටුප් වැඩිවීම් ලබානොදී 2020 ජනවාරි සිට එම වැටුප් ක්‍රමයේ අවසන් කොටස ගෙවීමට නියමිත වුණි. 2016 න් පසුව විශ්‍රාම ලැබුවන්ට පමණක් නොව සියලු විශ්‍රාමිකයන්ට 2017 දක්වා එම වැටුප් ක්‍රමය අනුව වැටුප් සකසා ගෙව්වා නම් 2020 කොටස ද සියල්ලන්ටම ගෙවිය යුතුමය. එහෙත් තවමත් කිසිවෙකුටත් එය ගෙවන සූදානමක්වත් නැත. එය හෝ ලැබුණි නම් තරමක් හෝ ජීවන බර දැරීමට පිටිවහලක් විය හැකිව තිබුණි. 2020 න් පසු විශ්‍රාම ලැබුවන්ට එම වැටුප් පරිමාණ අනුව වැටුප් ගළපා සකස් කර ඇත. මේ නිසා 2020 න් පසුව විශ්‍රාම ලැබුවන් එකම වැටුප් ප්‍රමාණයක් තුළ ලබන වැටුප 2020 ට පෙර විශ්‍රාම ලැබුවන්ට හිමි නොවේ.

එමෙන්ම විශ්‍රාමිකයන් බහුතරයක් නියෝජනය කරන ගුරු හා විදුහල්පති සේවාවන්හි වැටුප් පරිමාණ අතීතයට බලපාන සේ සංශෝධනය කොට එම සේවාවල වැටුප් විෂමතා 3/2016(iv) චක්‍රලේඛයට අනුව සංශෝධනය කළද එය ක්‍රියාත්මක වූ 2022 වර්ෂය වනවිට විශ්‍රාම ලබාසිටි මෙම වැටුපට හිමිකම් ඇති විශ්‍රාමික ගුරු-විදුහල්පතිවරුනට හිමි වැටුප ගෙවීමට මෙතෙක් සූදානමක් හෝ නොමැත.

2016 න් පසු විශ්‍රාම ලැබුවන්ට ලබාදෙන අග්‍රහාර රක්‍ෂණය ඊට පෙර විශ්‍රාම ලැබුවන්ට ද හිමිවන පරිදි ගෙවීමට 2020.07.22 හා 2021.08.30 දිනවල පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම් වලදී තීරණය කළද විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා එම තීරණය අබිබවා යමින් 12/2005 (viii) චක්‍රලේඛයට දෝෂ සහිතව ඉදිරිපත් කිරීම නිසා සියලු විශ්‍රාමිකයන්ට ජීවිතාන්නතය දක්වා හිමිවීමට තිබූ අග්‍රහාර රක්‍ෂණය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධව විශ්‍රාමික ප්‍රජාවේ සැබෑ නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට නිරවුල් කිරීමට පියවර ගෙන නොමැත. 2017 වර්ෂයේ අයවැය යෝජනා අනුවද වයස අවුරුදු 70 ඉක්මවූ විශ්‍රාමිකයන්ට ජීවිත කාලය පුරා අග්‍රහාර රක්‍ෂණය ලබාදීමට තීරණය කර තිබුණි. එහෙත් දැනට ලබන අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය අහෝසි කිරීමට මේ කිසිදු යෝජනාවකින් අපේක්‍ෂා කර නොතිබියදීත් පැවැති අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය අහෝසි කොට එහි තිබූ මරණ පාරිතෝෂිතය ඉවත්කොට සමහර ප්‍රතිලාභද කප්පාදු කොට දායකත්ව මුදල රු.400 හා රු.600 බවට පත්කිරීම 12/2005 (viii) චක්‍රලේඛයෙන් සිදුකළ වරදයි. මේ වරද වහා නිවැරදි කොට දැනට ක්‍රියාත්මක අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය එලෙසම තිබියදී අවුරුදු 70 ඉක්මවූවන්ටද එය සාධාරණ දායක මුදලක් යටතේ ලබාදීම 2021/08/30 කැබිනට් තීරණය අනුව සිදුකළ යුතුය. රජය ගත් තීරණය එලෙසින්ම ලබාගැනීම අප විසින් කළ යුතුය.

ස්ථාවර තැන්පත සඳහා විශ්‍රාමිකයන්ට ප්‍රතිලාභයක් ලෙස වෙනත් පුද්ගලයන්ට ලබාදුන් පොලිය වැඩි පොලිසියක් ප්‍රතිලාභයක් ලෙස ලබාදෙමින් විශ්‍රාමිකයන් සතු විශ්‍රාමික තැන්පතු සඳහා 15% ක පොලී ප්‍රතිශතයක් ලබාදෙනු ලැබිණි. එහෙත් 2020 න් පසු බැංකු පොලී ක්‍රමයෙන් ඉහළ ගොස් ස්ථාවර තැන්පතු සඳහා සාමාන්‍ය බැංකු පොලිය 25% ක් දක්වා ඉහළ යන විට මුල් ප්‍රතිපත්තියට අනුව විශ්‍රාමිකයන්ගේ ස්ථාවර ගිණුම් වලට පෙර ලබාදුන් ප්‍රතිලාභය ලබාදීම වෙනුවට 15% ක ප්‍රතිලාභය අහෝසි කරන ලදී. මේ වනවිට ස්ථාවර තැන්පතු සඳහා 12%ටත් අඩු පොලියක් ලබාදෙන අතර විශ්‍රාමිකයන්ට ලැබෙන්නේ ක්‍රියාත්මක සාමාන්‍ය පොලියමය. ඒ නිසා පවත්නා බැංකු පොලී ප්‍රතිශතය අනුව විශ්‍රාමිකයන්ට ලබාදුන් 15%ක ප්‍රතිලාභය ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කොට විශ්‍රාමික ස්ථාවර තැන්පතු සඳහා පොලී ප්‍රතිලාභයක් ලබාගැනීම සඳහා අප සටන්කළ යුතුව ඇත. එමෙන්ම ලබන පොලිය සඳහා 5% ක බද්දක් අය කරන නිසා එය අහෝසි කරගත යුතුව ඇත. එපමණක් නොව බැංකු පොලී අනුපාත ඉහළ යනවිට විශ්‍රාමිකයන් සිය වැටුප ඇපයට තබාගත් විශේෂ ණය සඳහා වූ පොලිය ද වැඩිකරනු ලැබිණ. මේ වනවිට බැංකු ණය පොලී අනුපාත අඩුවී ඇති නමුත් විශ්‍රාමිකයන්ගේ විශේෂ ණය සඳහා වූ වැඩිකළ පොලිය තවමත් අඩුකර නොමැත.

ජීවන වියදම ඉහළ යෑම නිසා රාජය සේවක වැටුප් හා දීමනා වැඩිකරන්නේ නම් ඊට අනුරූපව විශ්‍රාමික වැටුප් හා දීමනා ද වැඩිකළ යුතුය. මෙය අපගේ ඉල්ලීමක් මෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කමිටු හා විශ්‍රාම වැටුප් සමාලෝචන කමිටු ලෙස ‘වනසිංහ කමිටු වාර්තාව 1994 සෙනවිරත්න කමිටු වාර්තාව, 1996 බී. සී. පෙරේරා කමිටු වාර්තාව, 2000 සේනාරත්න කමිටු වාර්තාව, 2003 ඒකනායක කමිටු වාර්තාව, ආදිය මගින් නිර්දේශ කර රජය පිළිගත් ප්‍රතිපත්තියකි. ඒ අනුව රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රතිශෝධනය කරන්නේ ජීවන වියදම සඳහා සහනයක් ලෙස බැවින් එය රාජ්‍ය සේවකයාට මෙන්ම විශ්‍රාමිකයාටද එලෙසින් ලබාදිය යුතුය. සියලු පක්‍ෂ මැතිවරණ ප්‍රකාශනවලින් පොරොන්දු වූ පරිදි සියලු වැටුප් විෂමතා ඉවත්කිරීම, ජීවන වියදම් දර්ශකයට අනුව වැටුප් සැකසීම, ජ්‍යෙෂ්ඨ පුරවැසි අභිමානය රැකෙන පියවර ගැනීම, 2003 සිට 2007 දක්වා ක්‍රියාත්මක වූ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කලාක්මෙන් 2016 න් පසු රාජ්‍ය සේවයේ පත්වීම ලබන්නන්ටද යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කොට රාජ්‍ය සේවයේ සියල්ලටන් විශ්‍රාම වැටුප් ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම, විශ්‍රාම හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් රාජ්‍ය ආයතන වල ප්‍රමුඛතාව ලැබීමට ඉඩ ලබාදීම ආදිය විය යුතුයි.

1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළත්කර තිබූ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109(1), (2) වගන්තිවලින් ද තහවුරු කර තිබූ රාජ්‍ය සේවකයාට හිමි වැටුප් හා දීමනා ඇතුළු සියලු වරප්‍රසාද විශ්‍රාමිකයාට ද හිමි බවට වූ නෛතික ප්‍රතිපාදනය 1978 ව්‍යවස්ථාවට ඇතුළත් නොකිරීම නිසා වැටුප් විෂමතා වැනි ගැටලු දිගින් දිගටම ඇතිවී විශ්‍රාමිකයාට ගෞරවනීය විශ්‍රාමික දිවියක් වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් මහමග සටන් කළයුතු තත්ත්වයක් ඇති කර ඇත. එබැවින් එම නෛතික අයිතියද නැවත විශ්‍රාමිකයාට ලබාදිය යුතුවේ.

● එස්. එන්. බී. කේ. කරුණාරත්න
රාජ්‍යසේවා විශ්‍රාම සමිති ඒකාබද්ධ
ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment