කොස් ගෙඩියට මිනී මැරීම

1137

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් උඩමලල ගමේ 1740 සිට 1784 දක්වා ජීවත් වූ අන්දරේ දිනක් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අයත් කොස් ගසකින් කොස් ගෙඩියක් හොරෙන් කැඩුවේය. බලවත් කෝපයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු අන්දරේට මරණ දණ්ඩනය නියම කළේය. නඩු තීන්දුව ඇසූ අන්දරේ මහ හඬින් අඬන්නට වූ බැවින් සිත කනස්සලු කරගත් රජතුමා “උඹ අඬන්නේ මරණ දණ්ඩනයට බයෙන් නේ” දැයි අන්දරේගෙන් ඇසීය. “නැහැ රජතුමනි” අන්දරේ උත්තර දුන්නේය. “මැරෙන එකනම් මොකක්ද? ආයි කවදා හිටියත් මැරෙනවා නොවැ මට දුක ඔබවහන්සේ මේ කොස් ගෙඩියකට මිනිසෙක් මරණ එක ගැනයි. මේක ආරංචි වුණහම මේ මුළු රටම ඔබතුමාට හිනාවේවි.”

මේ දිනවල තිබෙන දුම්රිය වර්ජනයද කොස් ගෙඩියට මිනී මැරීම හා සමානය. එක දුම්රිය සේවකයෙක් තවත් දුම්රිය සේවකයකුගෙන් සිගරැට්ටුවක් ඉල්ලා ඇත. ඒ ඉල්ලීමෙන් පසු හටගත් අර්බුදයක් නිසා දෙපාර්ශ්වය ගුටි ඇනගත්හ. මේ දෙදෙනා එක සිගරැට් එක ගැසුවාට වෘත්තීය සමිති දෙකකට අයත් දෙදෙනෙක් වෙති. ඒ අනුව තමන්ගේ පැත්තේ ගුටි කෑ එකාට සාධාරණයක් කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති දෙකම වර්ජනයකට බැස සිටිති. මේ වෘත්තීය සමිති දෙකට ඇලවී සිටින සෙසු වෘත්තීය සමිති ද වර්ජනයට සෙට් වී සිටිති. ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයට අනුව වැඩ වර්ජකයාට වැඩ වර්ජන කරන දවස් වෙනුවෙන් ද පඩි ගෙවනු ලැබේ. ඒ අතර ඔහු නැවත වතාවක් සේවයට ද අනුයුක්ත කරගනු ලැබේ. ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස හැර එතෙක් මෙතෙක් මේ රට කළ හැම නායකයෙක්ම දුම්රිය වර්ජකයන්ට බියෙන් ජීවත් වූහ. දුම්රිය සේවකයා කිසිදු රාජ්‍ය නියෝගයක් ගණන් නොගනී. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම දුම්රිය වර්ජනයක් හටගන්නා විට රජය දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පරිවර්තනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළේය. එහෙත් දුම්රිය සේවකයෝ මේ නියෝග අදෝ වාතයක් තරමටවත් ගණන් නොගෙන දිගටම වැඩ වර්ජන කළහ. 2019දී ලංකාවේ දීර්ඝතම දුම්රිය වර්ජනය පැවැත්විණ. සති දෙකකට කිට්ටු වූ ඒ වර්ජන කාලය තුළ රේල් පාරවල්වල වල් වැවෙන්නට පටන් ගත්තේය. කිසිදු නඩත්තුවක් නැතිව ගාල්කරන ලද දුම්රිය එන්ජින් නැවත ක්‍රියාත්මක කිරීමේදී විවිධ අපහසුකම්වලට මුහුණ දීමට දුම්රිය සේවකයන්ට සිදුවිය. ඔවුන් වර්ජනය නතර කළේ තම ඉල්ලීම් ද දිනාගෙන වර්ජනය කළ කාලය සඳහා පඩිත් ලබාගෙන ආපසු සේවයට යෑමේ නිදහස ඇතුවය. මෙවර දුම්රිය වර්ජනය පටන්ගත් පළමු දිනය තුළ දුම්රිය ගමන් වාර 80ක් අවලංගු කරන ලදී. දුම්රිය වර්ජනයක් සිදුවන අවස්ථාවක ටිකට් කවුන්ටර් වසනු ලැබේ. ඉතා කලාතුරකින් දිවෙන දුම්රියක ටිකට් නැතිව යෑමේ අවස්ථාව මේ මගින් ජනතාවට ලැබේ. දුම්රිය වර්ජනයක් පවතින එක් දිනකදී රුපියල් මිලියන පහළවක් ආණ්ඩුවට පාඩුය. අප මේ සිටින්නේ රුපියල් මිලියන පහළවක් නොව සත පහළවක්වත් පාඩුකරගත හැකි කාලයක නොවන බව සියලු දෙනා මතක තබාගත යුතුය.

සැතපුම් දාහකට කිට්ටු රේල් පාරවල් තොගයක් ලංකා දුම්රිය සේවය සතුය. 1842දී යුරෝපීයන් කොළඹ සහ නුවර අතර පළමු දුම්රිය සේවය සාදන ලද්දේ කෝපි වතුකාරයන්ට සිය භාණ්ඩ කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා උදව්වක් ලෙසිනි. එකල මෙරට මධ්‍යම කඳුකරයේ තිබූ කෝපි වතු සියල්ලෙහිම අස්වැන්න නුවරට ගෙනෙන ලද අතර අඟුරු දුම්රියෙහි පටවා කොළඹට එවන ලද්දේය. පසු කාලයේදී මේ දුම්රිය පාරවල් සංකීර්ණය මහත් සේවයක් කළේය. ඒ නිසා ලංකාවේ ලොකුම මහජන සේවා ආයතනයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉස්මතු විය. අද ද මේ රටේ පහළ ස්ථරයේ සිටින ජනයා වැඩියෙන්ම කැමති වන්නේ ඕටී සහ බටා එක තොගයට ගෙවන දුම්රිය සේවාවට සහ වරායට ඇතුළු වීමටය. මේ තැන් දෙකෙන්ම හොඳට හොරකම් කළ හැකිය. දුම්රිය අංගනවල තිබෙන කඩුණු දුම්රියවල ඇති ගැලවිය හැකි යකට කොටස් සියල්ල කුඩුකාරයන් විසින් ගලවාගෙන ගොස් යකඩ බරට විකුණනු ලැබේ. ඔහු සිල්පර කොට පවා සොරා ගනිති. සිල්පර කොටවලින් මිල අධික ගෘහ භාණ්ඩ සෑදිය හැකිය. එහෙත් කවුරුවත් රේල් පීලි සොරකම් කරන්නේ නැත. එයට හේතුව හයි කාබන් වානේ වලින් සාදන රේල් පීලි උණු කිරීම සඳහා පහසුකම් යකඩ හොරුන්ට නැති වීමය. මොනවා උණු කළත් හයි කාබන් රේල් පීලි උණු කර ඒවායින් වෙනත් යකඩ නිෂ්පාදන සිදුකිරීමේ හැකියාවක් මේ රටේ නැත. වරායේ තිබෙන්නේ ද මේ හා සමාන කතාවකි. ඇතැම් වරාය සේවකයෝ නැව් සහ දොඹකර ඇරුණු විට වරාය සතු අන් හැම දෙයක්ම ගෙදර ගෙනයති. මේවා පරණ කඩවලට විකිණිය හැකිය. වරායේ හෝ දුම්රියේ සිටින බේබද්දන්ට අරක්කු බෝතලයක් සහ රෝස් කළ කුකුළකු මිලට ගැනීම සඳහා අවශ්‍ය රුපියල් හත්අට දහසක් මේ එක හොරකමකින් සොයාගත හැකිය.

පසුගිය දින දෙකේ පැවති දුම්රිය වර්ජනය නිසා ලක්‍ෂ සංඛ්‍යාත ජනගහනයක් අසරණ වූහ. මෙබඳු අවස්ථාවලදී මගීන්ගේ අසරණ වීම ඉදිරියේදී ප්‍රයිවට් බස්කාරයන්ගේ ආඩම්බරය කොතරම් ද යත් ඔවුන්ගේ ඇඳිවත් පවා උඩ යයි. අප ආණ්ඩුවට කියන්නේ මෙවර දුම්රිය වර්ජනය නිමවීමෙන් පසු දුම්රිය සේවයේ ප්‍රධානීන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් එක මේසයකට කැඳවා සාකච්ඡා කොට තීරණයක් ගැනීම රජය කළයුතු බවය. නැතිනම් මේ රටේ වැඩ වර්ජන ඉතිහාසය අන්දරේගේ විකට කතාවක් වන කොස් ගෙඩියට මිනී මැරීමේ කතාව මෙයින් හඟින තත්ත්වයට පත්වනු වැළැක්විය නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment