පරිගණක අපරාධයකට සූදානමින් සිටි චීන්නු 38ක් මාට්ටු

343

කිසියම් පරිගණක අපරාධයක් සිදුකිරීමේ අරමුණින් සිටි බවට සැකපිට චීන ජාතිකයන් 38 දෙනකු පෙරේදා (01දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ ‘විලා ෆෝ යූ’ සංචාරක නිකේතනයේ රැඳී සිටි පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය. මූල්‍යමය වංචාවකට සම්බන්ධ කිසියම් පරිගණක අපරාධයක් සිදුකිරීමේ අරමුණින් රැඳී සිටින බවට ලද තොරතුරක් මත චීන තානාපති කාර්යාලයේ ද සහායෙන් වැටලීම කර ඇතැයි පොලිසිය කීවේය. පිරිමින් 33 ක්, කාන්තාවන් 5 ක් සහ කුඩා දරුවකු මෙම පිරිස අතර වන බව සඳහන් වේ.

සැකකරුවන් සන්තකයේ තිබූ ලැප්ටොප් 40 ක්, ජංගම දුරකථන 120 ක්, පරිගණක උපාංග රැසක් සහ මුදල් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. ප්‍රියංක කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීමට එක්වූහ.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment