කොටි සුරකින පණිවිඩය ගෙනෙන්නට සිහින පාරදීසයට ගිය ගමනක්

147
කොටි සුරකින පණිවිඩය ගෙනෙන්නට සිහින පාරදීසයට ගිය ගමනක්

මෙවර අපගේ සංචාරේ සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ “සිහින පාරාදීසය” ලෙස ප්‍රකට “හෝර්ටන්තැන්න” ජාතික වනෝද්‍යානය වෙතටය. දිනපතා එහි පවතින සංචාරක තදබදය හේතුවෙන් හෝර්ටන්තැන්න ගැන තවදුරටත් මාධ්‍ය ප්‍රචාර අනවශ්‍ය බව සැබෑවක් නමුත්, අප මෙම විශේෂාංගය පළකරන්නේම හුදෙක් මෙම අගනා පරිසර නිකේතනය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව කියාදීම සඳහාය.

ඒ සඳහා හේතු වූයේ මේ විටත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සහ ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) එක්ව හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ ක්‍රියාත්මක කරනු ලබන “කොටියන්” (ශ්‍රී ලංකාවේ දිවියන්) සංරක්ෂණය සඳහා වන පර්යේෂණයකට අදාළව නිරීක්ෂණ චාරිකාවකට එක්වන්නට අපට ලැබුණු අවස්ථාව නිසාය.

වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය යනු මෙරට පැරණිම පාරිසරික සංවිධානයක් වන අතර, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට බිහිවීම සඳහාද මූල බීජය බවට පත්වුණු සංවිධානය වේ. එම සංවිධානය මේ වන විට වන ජීවීන් හා පාරිසරික සංරක්ෂණය සඳහා ප්‍රමුඛ කාර්යයක් ඉටුකරමින් විවිධ ආකාරයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනු ලබන අතර, හෝර්ටන්තැන්නේ ක්‍රියාත්මක කරනු ලබන “කොටියන්” නොහොත් “ශ්‍රී ලංකාවේ කඳුකර කොටියන්ගේ” ගේ පර්යේෂණය ඉතා වැදගත් වූවකි.

විශේෂයෙන්ම හෝර්ටන්තැන්නේ දිවිගෙවන කොටින්ගේ සංඛ්‍යාත්මක දත්ත, ඔවුන්ගේ හැසිරීම හා ව්‍යාප්තිය, වර්ණරටා, හැඩහුරුකම්, ඔවුන් මුහුණ දී ඇති අභියෝග හා තර්ජන යනාදී අංග රැසක් කෙරෙහි මෙම පර්යේෂණයේදී අවධානය යොමුකෙරෙන අතර, අදියර දෙකකින් සමන්විත මෙම පර්යේෂණයේ පළමු අදියර දැනටමත් නිමාකර, දැන් එහි ක්‍රියාවට නගනු ලබන්නේ දෙවැනි අදියරයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය ඉනෝකා ප්‍රියදර්ශණී කුඩාවිදානගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම “කඳුකර කොටි පිළිබඳ පර්යේෂණය” මගින් දැනටමත් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ කොටින් 23 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් දිවිගෙවන බවට හඳුනාගෙන ඇති අතර, ප්‍රකට හා ප්‍රවීණ වන ජීවී ඡායරූප ශිල්පියකු වන සංඛ වන්නිඅච්චි මහතා විසින් වසර 8 කට වැඩි කාලයක් තිස්සේ මෙහි සිදුකරන ලද පර්යේෂණයකින් ඉතා වැදගත් ඡායාරූප ගොන්නක් සහ හෝර්ටන්තැන්න කොටින්ගේ හැසිරීම් හා ව්‍යාප්තිය පිළිබඳව තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.

කොටි සුරකින පණිවිඩය ගෙනෙන්නට සිහින පාරදීසයට ගිය ගමනක්

මෙවන් තොරතුරු හා හෝර්ටන්තැන්න කොටින්ගේ විශේෂත්වයන් මෙන්ම, ඔවුන්ගේ නිජබිම වන මෙම අගනා ඉහළ ජලාධාර, වලාකුළු වනාන්තර සහිත අගනා පාරිසරික නිකේතනය හෙට පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණෙන් වන ජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය මගින් ඉහත පර්යේෂණ සඳහා අනුග්‍රාහක දායකත්වයක් සපයනු ලබන අතර, එම පර්යේෂණ තොරතුරු අනාවරණය කරමින් මේ අද්විතීය පාරිසරික නිකේතනය සංරක්ෂණය කිරීමේ වැදගත් පණිවිඩය ජන මාධ්‍යය මගින් සමාජයට සම්ප්‍රේෂණය කිරීමේ පලදායි අරමුණ වෙනුවෙන් අපගේ මෙම මාධ්‍ය සංචාරය වන ජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය විසින් සංවිධානය කර තිබිණි.

එම සංගමයේ හිටපු සභාපති ස්පෙන්සර් මැනුවෙල්පිල්ලේ මහතාගේ අදහසකට අනුව මෙම මාධ්‍ය සංචාරය සැලසුම් කර, පාරිසරික මාධ්‍යවේදීන් කණ්ඩායමක් හෝර්ටන්තැන්න වනෝද්‍යානයට රැගෙන ගියේ වනෝද්‍යානය තුළ සංවිධානය කරන ලද දෙදින මාධ්‍ය වැඩමුළුවක් සඳහාය.

කොටි සුරකින පණිවිඩය ගෙනෙන්නට සිහින පාරදීසයට ගිය ගමනක්

ඒ අනුව ඉකුත්දා අප කොළඹින් ගමන් ආරම්භ කර, අවිස්සාවේල්ල-කිතුල්ගල-හැටන්-නානුඔය ඔස්සේ පැමිණ නුවරඑළිය-අඹේවෙල පාරේ පිහිටි සුන්දර පරිසරයක පිහිටි “බ්ලැක් පූල්” හෝටලයට පැමිණියේ එදින අපගේ නවාතැන එයවූ බැවිනි. හෝටලයට පැමිණි අපි එහිදී මහාචාර්ය ඉනෝකා කුඩාවිදානගමගේ මහත්මියගේ සහ වන ජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමයේ හිටපු සභාපති ස්පෙන්සර් මැනුවෙල්පිල්ලේ මහතා සහ වන ජීවී ඡායාරූප ශිල්පී සංඛ වන්නිඅච්චි මහතාගේ දැනුවත් කිරීම මත ශ්‍රී ලංකාවේ ඉතා ඉහළින්ම පිහිටි වනෝද්‍යානය වන හෝර්ටන්තැන්න, එහි දිවිගෙවන කොටින් හා කොටින්ගේ සංරක්ෂණය වෙනුවෙන් කළ යුතු කාර්යයන් හා එක් එක් පුද්ගල කාණ්ඩවල වගකීම පිළිබඳව පූර්ව අවබෝධයක් ලබගත්තෙමු. අනතුරුව දහවල් ආහාරයෙන් පසුව සවස තුනට පමණ “බ්ලැක්පූල්” හෝටලයේ සිට හෝර්ටන්තැන්නට යෑමට පිටත් වූයේ මග තොටදී තැන්නේ අසිරිය විඳගනිමින් කොටින් නිරීක්ෂණයට මෙන්ම, එදින සවස උද්‍යාන මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත වූ වැඩමුළුවට සහභාගිවීම සඳහාය.

අප මාධ්‍ය කණ්ඩායම 20 දෙනකුගෙන් පමණ සමන්විත වූ අතර, අපව රැගත් මිනි බස් රථය කොළඹ සිටම මාර්ගෝපදේශන කාර්යයේ යෙදෙමින් රැගෙන ගියේ සංඛ වන්නිඅච්චි සොයුරා විසිනි. බ්ලැක්පූල් සිට උද්‍යානය දක්වා ගිය ගමනද ඔහු විසින් මාර්ගෝපදේශනය කරන ලද අතර, ඔහුගේ විමසුන් ඇස අනුගමනය කරමින් අපගේ දෑස්ද හෝර්ටන්තැන්නේ අස්සක් මුල්ලක් නෑර “කොටි” හඹා ගියේ සිහිල් සුළං හා මිහිදුම් රොටු මැදිනි. මෙසේ සුළං කපාගෙන එන මිහිදුම අතරින් අපි අපගේ කැමරා මානාගෙන තැන්නේ සුන්දරත්වය ග්‍රහණය කරගත් අතර, ඒ ඡායරූප අතර තැන්න සුන්දර කරන ගෝනුන්ගේ, කුරුල්ලන්ගේ, වන මල් වල පින්තුර රැසක්ම විය.

සවස් යාමය අපි ගතකළේ උද්‍යාන මූලස්ථාන ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය වැඩමුළුව තුළය. මහාචාර්ය ඉනෝකා, සංඛ සහ උද්‍යාන භාර නිලධාරී සිසිර රත්නායක මහතා ප්‍රමුඛ වන ජීවී නිලධාරීන් විසින් පවත්වන ලද දේශන සහ මාධ්‍ය කණ්ඩායමේ අදහස්-උදහස් අනුව මෙම වැඩමුළුව පැවැත්වුණේ සැබැවින්ම කතා බහක් ලෙසිනි. ඒ අතර පැවති සීතල මකාදමන්නට උද්‍යාන නිලධාරීන්ගෙන් ලැබුණු සැර තේ පැන් සංග්‍රහය ගැනද වචනයක් නොකීවොත් එය මහත් අඩුවකි. අප එහි යනවිටත් සෑහෙන පමණ වාහන ප්‍රමාණයක් උද්‍යානයට පැමිණ තිබූ අතර, සංචාරකයන් විශාල ප්‍රමාණයක් උද්‍යානය නැරඹීමට පැමිණ සිටියහ. ඔවුන් හා මුහු වෙමින් අප උද්‍යානයේ සුන්දරත්වය ඡායාරූපයට නගන්නටද අමතක නොකළ අතර, පළමු දිනයේ කටයුතු නිමකළ අපි යළිත් බ්ලැක්පූල් බලා පල්ලම් බැස්සේ වන සතුන් හා හෝර්ටන්තැන්නේ අසිරිය ඉතා හොඳින් අත්විඳිමින් හෝර්ටන්තැන්න නින්දට යන අතර වාරයේදීය.

බ්ලැක්පූල් නවාතැනට පැමිණි අප එහිදී යළිත් කොටින් සංරක්ෂණය පිළිබඳ සවස සැසිවාරයකට එක්වී, නින්දට ගියේ යළිත් පාන්දර අවදිවී හෝර්ටන්තැන්න බලා යෑමේ අපේක්ෂාවෙනි. ඒ අනුව අළුයම 5.30 ට හෝටලයෙන් යළිත් ගමන් ආරම්භ කළ අපි හෝරාවකින් පමණ උද්‍යාන පිවිසුම අසලට ළඟා වූ අතර, තවත් හෝරා දෙකකට වැඩි කාලයක් ගත්තේ උදා හිරු එළියෙන් හැඩවන හෝර්ටන්තැන්නේ විසිතුරු අත්විඳීමට හා “හෝර්ටන්තැන්නේ කොටි” දැකගැනීම සඳහාය. ඒ අනුව සංඛගේ මගපෙන්වීම මත පට්ටිපොළ මාර්ගයේ පමණක් නොව, ඔහිය මාර්ගයේද ගමන් කරමින් තැන්නේ උදා සුන්දරත්වය මෙන්ම, උද්‍යානයේ වනගහනය, ජෛවවිවිධත්වය, භූ විවිධත්වය අත්විඳි අප අනතුරුව තවත් සැසියකට සහභාගි වූවේ උද්‍යාන මූලස්ථාන ශ්‍රවණාගාරය තුළදීය. කඳුකර කොටි නොහොත්, හෝර්ටන්තැන්නේ කොටි සම්පත ඇසුරෙන් මේ අගනා පරිසර නිකේතනය සංරක්ෂණ අභියෝග සහ පලදායී ලෙස උද්‍යානය සංරක්ෂණය කරගන්නට ජන මාධ්‍ය භාවිතය පිළිබඳව ඇතිකරගත් කතිකාවෙන් පසු හිරු අවරට ඇදෙන යාමයේ අපි හෝර්ටන්තැන්නට හා එහි කාර්යය මණ්ඩලයට සමුදුන්නේ ලොව සුවිශේෂීම ලෝක උරුම ජාතික උද්‍යානය හා ශ්‍රී ලංකාවේ ඉතා ඉහළින්ම පිහිටි ජලාධාර රක්ෂිත උස්බිම් තැනිතලාව තවත් පරම්පරා ගණනාවකට උරුම කර දීමේ පරම පිවිතුරු චේතනාව සහ අධිෂ්ඨානය පෙරදැරිවය.

සැරිසර –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
සංඛ වන්නිඅච්චි සහ
ජගත් කණහැරආරච්චි .

advertistmentadvertistment
advertistmentadvertistment