නඩුවට ‘රෙඩී’ වතු හාම්පුතුන්ට රනිල්ගෙන් තරවටුවක්

354

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු ඇමැති මනූෂ නානායක්කාර ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගල පැවැති මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කළ අතර අදාළ වැටුප වැඩිවෙන ආකාරය ගැන ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් පැහැදිලි කරන ලදි. එදිනම කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.

අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අදාළ වැටුප් වැඩි වීම සිදුකර ඇති හෙයින් තමන් අධිකරණය හමුවට යන බවයි. වතු හාම්පුතුන් එය ගෙවීමට වන එකඟතාවය මඟ හරිමින් සිටි බව රජය ප්‍රකාශ කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment