අලි ඇතුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනුකෙරේ

122

ශ්‍රී ලංකාව තුළ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මියයෑම සහ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම සතුන් සහ සොබාදහමට යුක්තිය පරිසර සංවිධානයේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, ජනාධිපති නීතීඥ අනුර බී. මැද්දේගොඩ, ශ්‍රී බෝධිරාජ පදනම, ඇනිමල් එස්ඕඑස් ශ්‍රී ලංකා, ආචාර්ය අජන්තා පෙරේරා සහ අයිරාංගනී ද සිල්වා යන අය විසින් ගොනු කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ ජනරාල්, ආරක්ෂක රාජ්‍ය ඇමැති, ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක ඇමැති සහ පොලිස්පති ඇතුළු පාර්ශව 28ක් නම් කර තිබේ.

2022 වසරේ පමණක් අලි මරණ 439ක් සිදුවී ඇති අතර 2023 නොවැම්බර් 6 වන විට අලි මරණ 416ක් සිදුව ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ. මෙම මරණ සඳහා ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ වෙඩි තැබීම්, විෂ ශරීරගතවීම්, විදුලිසර වැද්දීම, හක්කපටස්, දුම්රිය අනතුරු හා හඳුනාගත නොහැකි හේතු කිහිපයක් බව ද පෙත්සමේ සඳහන් අවසන් වරට නිසි අලි සම්මුතිය පැවැත්වුණේ වසර 13කට පෙර 2011 වසරේදී බවත් එම නිසා 2024 වන විට ශ්‍රී ලංකාවේ අලි ගහනය නිවැරදිව හඳුනාගෙන නොමැති බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පෙන්වා දෙති. මෙම පසුබිම තුළ අලි මිනිස් ගැටුම හෝ ඇත් දත් ජාවාරම වැනි නීතිවිරෝධී අරමුණු හේතුවෙන් අලි ඝාතනයට එරෙහිව නීතිමය සහ වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීමට වගකිව යුතු රාජ්‍ය බලධාරීන්ට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ගිනි අවි සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය, අලි ඇතුන්ගේ දුම්රිය අනතුරු අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය ප්‍රදේශවල විදුලි වැටවල් ඉදිකිරීම, නීති විරෝධී විදුලි වැටවල් ඉදිකිරීම සඳහා නීති විරෝධී ලෙස විදුලිය ලබාගැනීම වැළැක්වීම සහ අවම කිරීම සඳහා ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක් අනුගමනය පියවර අවශ්‍ය බව ද පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment