හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී දැලේ

256

වටිනාකම කෝටි 7 1/2ක්

VIP පර්යන්තයෙන් පනින්න ගියත් වැඩේ මාට්ටු

මෙවැනිම වරදකට 1978 දී අනුර ඩැනියල්ට මන්ත්‍රීකම අහිමිවෙයි

කාටත් පොදු නීතිය ක්‍රියාත්මක කරනවාද- රේගුව විමසිල්ලෙන්

රුපියල් හත්කෝටි පනස්ලක්ෂයක වටිනාකමක් ඇති රන් භාණ්ඩ හා ජංගම දුරකථන තොගයක් රැගෙන ඊයේ (23 දා) උදෑසන ඩුබායි සිට ආ ගුවන් යානයකින් මෙරටට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

ඊයේ (23 දා) උදෑසන 8.30 ට ඩුබායි සිට පැමිණි ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති මුස්ලිම් සන්ධානය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් පිටතට පැමිණ ඇති අතර රේගු නිලධාරීන්ට ලැබී තිබුණු තොරතුරකට අනුව ඔහුගේ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබුණු කිලෝ එකක් බරැති රන් කුට්ටියක් හා කිලෝ 2 1/2 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් සොයාගෙන ඇත.

තවද මෙම ගමන් බෑගයේ තිබුණු නවීන ජංගම දුරකථන 70 ක් ද රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එම රන් භාණ්ඩවල හා දුරකථනවල වටිනාකම රුපියල් කෝටි හත ඉක්මවන බව රේගු ආරංචි මාර්ග පවසයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් මෙම වැටලීම සිදු කළ අතර මේ වනවිට මන්ත්‍රීවරයා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තය භාවිත කරමින් පරීක්ෂා කිරීම්වලින් මිදී මෙම භාණ්ඩ රැගෙන ඒම මන්ත්‍රීවරයාගේ උත්සාහය වී ඇතත් රේගු නිලධාරීන්ගේ හදිසි පරීක්ෂාව හේතුවෙන් ඔහුට කිසිවක් කර කියා ගත නොහැකි වී ඇත.

මේ අයුරින් නීති විරෝධීව මෙරටට රැගෙන එන භාණ්ඩ වැටලීම්වලදී සැකකරුවන් දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කර වැඩිදුර විමර්ශන සිදුකරන අතර අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකම මෙන් තුන් ගුණයක දඩ මුදලක් ගෙවීමට සිදු වේ.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරයාට ද එම ක්‍රමවේදය ඒ අයුරින්ම අනුගමනය කරන්නේ දැයි රේගු නිලධාරීන් විමසිල්ලෙන් පසුවන බව උසස් රේගු නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම මන්ත්‍රීවරයා දිගු කලක් තිස්සේ මෙවැනි ජාවාරම් කර තිබේදැයි රේගුව පරීක්ෂණ පවත්වයි.

මෙරට රේගු ඉතිහාසයේ ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය භාවිතා කර සිදු වූ දෙවන සොරකම මෙය වේ. 1978 එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි අනුර ඩැනියෙල් මහතා ද මෙවැනි රත්තරන් තොගයක් රැගෙන එද්දී රේගුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ හේතුව නිසාම ඔහුට මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට ද සිදු විය.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන, ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment