ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ලාභ ලබන ආයෝජන කලාප 15ම ගජමිතුරු ජාවාරම්කාරයන්ට දීමයි

41

පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආයෝජන කලාප 15ම ලාභ ලබන බවත් ඒවා ගජමිතුරු ජාවාරම්කාරයන්ට දීලා ආදායම් මාර්ග හදන්න ආණ්ඩුව පනතක් ගෙනවිත් ඇති බවත් පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ඊයේ (22 දා) නුගේගොඩ පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ප්‍රතිගාමී සහ දූෂිත නඩයක් පිනවීම මිස රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම නෙවෙයි. මෙහිදී අපට පාර්ශව හතරක් දකින්න පුළුවන්. ඒ අයිඑම්එෆ් එක, ජනවරමක් නැති ආණ්ඩුව, ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරික වළල්ල සහ කොළඹ ආශ්‍රිතව බුද්ධිමතුන් ලෙස පෙනී සිටින නව ලිබරල් කේවට්ටයෝ රොත්ත. මේ පනතෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඔක්කොම රටේ නීතිය බවට පත් කර තිබෙනවා. දැනට ලංකාවේ ආයෝජන කලාප 15ක් තියෙනවා. ඒ කලාප 15ම ලාභ ලබනවා. මේ හදන්නේ දැනට රජයට ලාභ සපයන කලාප ටික ගජ මිතුරු ජාවාරම්කාරයන්ට දීලා ඔවුන්ට ආදායම් මාර්ග හදන්න. අනෙක පෞද්ගලික අංශයට පවරලා ඒවායේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මේ කලාප 15න් 12කම ඉඩම්වලින් 90%ක් ආයෝජකයන්ට ව්‍යාපෘති සඳහා පවරලා අවසන්. මේ වනවිට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ 5 දෙනෙක්. මේ පනතෙන් පස්සේ කොමිසමකුයි, කලාප සඳහා ආයතනයකුයි, ආයෝජන කැඳවන සමාගමකුයි හැදුවාම ඒකේ ඉහළ තලයේ 25 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ඉහළ වැටුප්වලට උපදේශකයෝ ඕන තරම් ගන්න පුළුවන්. මේ කරන්නේ කොළඹ කේන්ද්‍රීය නව ලිබරල් කේවට්ටයෝ කල්ලියට ඉහළ වැටුප් දෙන රස්සා හදලා දීලා. ජනාධිපති ලේකම් කාර්යාලයේ හදන කමිටුවකින් මේ පනත් හදන්නේ, ඒවාට සම්බන්ධ වෙන යට හොඳට අස්වැන්න ලැබෙන නිසා. නමුත් මේ පනතින් අයිඑම්එෆ් කොන්දේසි රටේ නීතිය බවට පත් කරලා රටේ ආර්ථිකය විනාශ කරන, නිෂ්පාදකයා වළපල්ලට යවන පනතක්. මේ කොසොල් රජුගේ සිහින පනත පරාජය කරන ජන බලයක් ගොඩ නැංවිය යුතුයි.

අනුරාධ හිරිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment