මිරිස් කුඩු තුනපහ අස්සේ කෝටි 20ක කොකේන්

100

පිලිපීන කත ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් කෝටි 20කට අධික වටිනාකමෙන් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් පෙරේදා (21 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පිලිපීන ජාතික කාන්තාවගේ ගමන් බෑගයේ තිබී සොයාගත් කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක බරින් යුක්ත බව රේගු ආරංචි මාර්ග පැවසීය.

මිරිස් කුඩු තුනපහ අස්සේ කෝටි 20ක කොකේන්

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඉතියෝපියාවේ සිට පැමිණ ඇති මෙම කාන්තාව කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී ඇයගේ ගමන් බෑගයක ඇසුරුම් තුනක තිබූ කොකේන් තොගය සොයාගැනීමට හැකි විය.

පිලිපීනයේ පෞද්ගලික ආයතනයක මුදල් කළමනාකාරියක ලෙස රැකියාවක් කරන (47) හැවිරිදි මෙම කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මුල්වරට බවද විමර්ශනවලින් හෙළි වී ඇත.

සැකකාර පිලිපීන ජාතික කාන්තාව මීට පෙර ඉන්දියාවට සහ මලයාසියාවට කොකේන් තොග රැගෙන යද්දී අත්අඩංගුවට පත්වී ඇති බව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය විය.

සැකකාර කාන්තාවගේ ගමන් මල්ල මිරිස් කුඩු තුනපහ කුඩු අසුරා තිබූ පාර්සල් අතර මෙම කොකේන් තොගය ඇසුරූ පාර්සල් ද තිබී ඇත.

ඒ වෙනුවෙන් සැකකාර කාන්තාවට ඇමරිකන් ඩොලර් 1000ක් ද ගුවන් ගමන් බලපත්‍ර ද දින 05 ශ්‍රී ලංකාවේ හෝටලයක ගත කිරීමට අවශ්‍ය පහසුකම් ද මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් විසින් ලබාදී ඇති බව විමර්ශන වලදී හෙලිවී ඇත.

මෙම පිලිපීන ජාතික කාන්තාවගේ යෙහෙලියක විසින් කොකේන් තොගය ප්‍රවාහනය කිරීම සම්බන්ධීකරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම කොකේන් පාර්සල් භාරදිය යුතු පුද්ගලයා හඳුන්වා දෙන බවට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාව පැවසූ බවද සැකකාර කාන්තාව ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර පිලිපීන ජාතික කාන්තාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

හේමන්ත රන්දුණු සහ ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment