අයහපත් කාලගුණයෙන් 68,079ක් පීඩාවට – ගස් කඩාවැටී මරණ හතරක්

404

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක පවුල් දහඅටදහස් දෙසිය තිහකට (18,230) අයත් පුද්ගලයන් හැටඅට දහස් හැත්තෑනව දෙනකු (68,079) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ගසක් කඩාවැටී පුද්ගල මරණ හතරක් වාර්තා වන බවත්, ආපදා හේතුවෙන් අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.

එසේම ආපදා තත්ත්වයන් හේතුවෙන් තම ඥාති නිවෙස් 25ක පුද්ගලයන් 72 දෙනකු රැඳී සිටින බව ද එම මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ආපදාවට ලක්වූ නිවාස 2ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් තවත් නිවාස 531කට අර්ධ හානි සිදුවී ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.

එසේම ආපදා තත්ත්වයන් හේතුවෙන් අවතැන් වූ පවුල් 27කට අයත් පුද්ගලයන් 122 දෙනකු කඳවුරු 3ක තාවකාලිකව රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් අවතැන් වී සිටිනුයේ පුත්තලම දිස්ත්‍රික්කයේය. එහි පවුල් එකොළොස්දහස් එකසිය අනූහතරකට (11,194) අයත් පුද්ගලයන් හතළිස් දෙදහස් පන්සිය හැටහත් දෙනකු (42,567) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, යාපනය, පුත්තලම, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 15හි ජනතාව පීඩාවට පත්ව සිටිති.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 5,103ක පුද්ගලයෝ 21,867 දෙනෙක් අවතැන් වී සිටිති.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් තිසාවැව, හංගමුව, කලාවැව, දැදුරු ඔය, තබ්බෝව, කුකුලේ ගඟ වාන් දොරටු ඊයේ (22 දා) විවෘත කර තිබේ.

එසේම වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල යන ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී, ඊයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. ඒ අතරින් බුලත්සිංහල – මෝල්කාව මාර්ගය අඩි 5ක් ජලයෙන් යටවී තිබිණි.

එමෙන්ම ගිං ගඟ, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, අත්තනගලු ඔය යන ගංගා පිටාර මට්ටමට ඊයේ පස්වරුව වනවිට පැමිණ තිබිණි. තවදුරටත් වර්ෂාව ඇදහැලුණොත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බැවින්, ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, උතුර, මධ්‍යම යන පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අද (23 දා) දවස පුරා විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ සජිත් වික්‍රමසූරිය මහතා ‘දිවයින’ට පැවැසීය.

මින් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ද ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකි බව හෙතෙම කීය.

වැසි සමඟ තද සුළං ද ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් පසුවන්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගතවූ පැය 24 තුළ දිවයිනෙන් වැඩිම වර්ෂාපතනය රත්නපුර, කෑරගල ප්‍රදේශයෙන් වාර්තා වන බවත් එය මිලිමීටර් 155.2ක් බවත් ඒ මහතා කීය.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වන බව ද එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු වන බව ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුණ විiා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගස් කඩාවැටීමෙන් වාර්තා වූ දෙවැනි සහ තුන්වැන් මරණ ඊයේ සිදුවිය.

මෙසේ මියගොස් ඇත්තේ මහවැව මැදගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හෂිනි ඉෂාරා ලංකා නැමැති අවුරුදු 36 ක එක් දරු මවක් සහ ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි නිසංසලා සරෝජනී නමැති වයස අවුරුදු 39 ක එක් දරු මවකි.

දිවුලපිටිය මරඳගහමුල නගරයේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ ඊයේ (22 දා) දහවල් ඇතිවූ සැඩ සුළඟක් හේතුවෙන් කඩාවැටී පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සැඩ සුළඟ ඇතිවන අවස්ථාවේ පුද්ගලයන් 5 දෙනකු තොරණේ කටයුතුවල යෙදී සිට ඇති අතර ඉන් දෙදෙනකු එහි ඉහළට නැග තොරණ සකස් කිරීමේ කටයුතුවල යෙදී සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

කෙසේ වුවද තොරණ යළි සකස් කිරීමේ කටයුතු ඊයේ පස්වරුව වනවිට ආරම්භ කර තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා, මහවැව – අමරනන්ද විජේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment