ගම්පොළ ජාතික පාසලක දස හැවිරිදි දැරිය මරුට

832

දුවගේ මාරයා පාසල් ගිය බසයේම සැඟවී ඉඳලා
නංගි යටවෙනකොට අයියත් බස්එකේ
කුරුඳුවත්ත පොලිසියටම ඉන්නේ නිලධාරීන් 20යි – 13ම මාතලේ වෙසක් කලාපයේ
පොලිස් ස්ථානාධිපති

ගම්පොළ පොලිස් කොට්ඨාසයට අයත් බෙරවිල සිට ගම්පොළ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට උඩහේන්තැන්න, සේනාධිකාරී ජාතික පාසල අසල දී එම බසයට ම යට වූ පාසල් දැරියක් කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පරීක්ෂණ පවත්වන කුරුඳුවත්ත පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පටිතලාව, කට්ටාරංවත්ත, මල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි විශ්මි පූර්ණිමා හංසමාලි නමැති දස හැවිරිදි දැරියකි.

ඇය සේනාධිකාරී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ පහ වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

ඊයේ (22දා) උදෑසන පාසල් යෑම සඳහා මෙම බස් රථයේ පැමිණ ඇති ඇය පාසල අසලින් බැස එම බස් රථය ඉදිරියෙන් පාර මාරුවී පාසල දෙසට යමින් සිටියදී එම බස් රථයට ම යට වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි. ඇය බස් රථයට යටවෙන අවස්ථාවේ ඇගේ වැඩිමහල් සොයුරා ද බස් රථයේ සිට ඇති බව පැවසේ. පාසලේ ප්‍රාථමික අංශයට මාර්ග දෙකක් ඇති අතර ප්‍රධාන ගේට්ටුව අසල හෝ මෙම මාර්ගය අසල උදෑසන රාජකාරි කිරීම සඳහා පොලිස් නිලධාරියකු ද සිට නොමැත.

මේ පිළිබඳ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මුළු පොලිසිය තුළම සිටින්නේ නිලධාරීන් විසිදෙනකු බවත් ඉන් දහතුන් දෙනකුම මාතලේ විශේෂ වෙසක් කලාපයේ රාජකාරී සඳහා ගොස් ඇති බවය. ගඟ ඉහළ කෝරලේ හදිසි මරණ පරීක්ෂක ඩබ්.ඒ.එස්. කරුණාරත්න මහතා ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර මෙම සිසු දැරිය බස් රථයේ පිටුපස රෝදයට යට වී හිස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් පාසල් පොත් බෑගය ද තැලී පොඩි වී ඇති බවත් ඔහුගේ නිරීක්ෂණයට ලක්වී ඇත. සිසුවියගේ දේහය කුරුඳුවත්ත රෝහලේ ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment