යහපත් පාරිභෝගික සේවාවක් සඳහා කුමක් කළ යුතුද…?

64

අලෙවිකරණ වෘත්තියේ නිරතවන්නන්ගේ අවංකවීම ඔහුට මෙන්ම ඔහුගේ පාරිභෝගිකයන්ටද ඉතා වැදගත් වේ. එපමණක් නොව, ඔහුගේ ආයතනයටද මෙය ඉතා වැදගත් වේ. කෙටිකාලීන වාසි සලකා බලා කිසිම අවස්ථාවක අලෙවිකරණයේ නොයෙදිය යුතු අතර එය ඉතා ඉක්මණින් ඔහුව අලෙවි වෘත්තියෙන් ඉවත්වීමට හේතුවක් විය හැකිය. අලෙවිකරුගේ සමස්ත අලෙවි වෘත්තීයමය ඔහුගේ වංක බව නිසා බිඳ වැටිය හැකිය.

සමහර මිනිසුන් වංක වන්නේ ඇයි?. මොහොතක් සිතන්න. ඔබ හා මම අලෙවිකරණය ඇතුළු මෙම සියලු ක්‍රියාකාරකම්වල යෙදී සිටින්නේ මන්ද? ඔබට හා මට ජීවිතය සාර්ථක කරගැනීම සඳහාය. මොකක්ද මේ සාර්ථකත්වය. විවිධ අර්ථකථන තිබිය හැකි නමුත්, ඒ සියල්ල සංක්ෂිප්තව බැලූ කල, සාර්ථකත්වය යනු මුදල් හම්බකිරීම සහ සතුට වේ, (Success is getting rich plus happiness).

ඔබට මුදල් කොපමණ අවශ්‍යයද ? ඔබට මුදල් අවශ්‍ය ඇයි ? ඔබට මුදල් කවදා වෙද්දී අවශ්‍යද? මෙම ප්‍රශ්න සමහරවිට ඔබට බාධා කළද මේවාට පිළිතුරු ඔබ සතුව තිබිය යුතුයි. නැති නම් ඔබගේ ජීවිත ගමන අරමුණකින් තොර විය හැකිය. එසේ වූ කල ඔබගේ අවංකභාවය ජීවිතය පුරා පවත්වාගෙන යෑම අසීරු වේ. සමහර විට ඔබ දන්නා පරිදි, බොහෝ මුදල් ඇති අය පවා වංක වීමට හේතුව මෙය වේ. ඔවුන් මූල්‍යමය වශයෙන් ස්ථාවර වුවද, ජීවිත සාර්ථකත්වය ගැන අවබෝධයක් නොමැත. සමහර විට අප වංක වීමට හේතුව එවැනි කටයුතු අපගේ ජීවිතයේ පුරුදු බවට පත්වී ඇති හෙයිනි. කෙසේ වෙතත් ජීවිතය පුරා සතුට පවත්වාගෙන යෑම ජීවිත සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය කරුණකි. සතුට ගෙන දෙන්නේ ඔබගේ අවංක බව හා ඔබ අන් අයට කෙතරම් උදව් කරන්නේද යන්න මතය.

විශ්වාසනීය බව

බැලූ බැල්මට මෙය ඉහත කී කරුණ හා බැඳ පැවතුණද මෙහිදී අදහස් වනුයේ ඔබගේ චරිතය ඇතුළත සහ පිටත ලෙස අවස්ථා දෙකක් නොතිබෙන බවයි. එනම්, යමෙකුට පැවසූ දෙය හා ඔබ සිත තුළ තිබෙන අදහස් අතර වෙනසක් නොපවතින බවයි. පුද්ගලයකු ගත් කල ඔහු තුළ ඔහු අනෙක් අය ආශ්‍රය කරන අවකාශ කීපයක් තිබිය හැකිය.

අතිශය පෞද්ගලික අවකාශය යනු අලෙවිකරුවාට පමණක් සන්නිවේදනය හා ආශ්‍රය කරන අවකාශයයි. එනම්, ඔහුගේ ජීවිතයේ යම් කරුණු ප්‍රමාණයක් දන්නේ ඔහුමය. ඒ ඔහුගේ අතිශය පෞද්ගලික අවකාශයයි. ඉහත කී කරුණ සලකාබැලීමේදී අදහස් කළ හැක්කේ මෙවැනි ගැඹුරු අධ්‍යයනයක් නොවන අතර, අලෙවි වෘත්තිකයකු වශයෙන් ඔබ ඔබගේ පාරිභෝගිකයා සමග සන්නිවේදනය කරන අවස්ථාවේ ඔහුට පවසන සියලු කරුණු යම් කිසි පදනමක් ඔස්සේ පැවසිය යුතුය. සමහර විට අලෙවිකරුවා උපායශීලී වූ නමුත්, කිසිම අවස්ථාවක තම පාරිභෝගිකයා රැවටීමට ලක්කිරීමෙන් වැළකිය යුතුය. නිතරම win-win තත්ත්වයකට අනුව ගනුදෙනු කළ යුතුය. අලෙවිකරුවාගේ භාණ්ඩයේ හෝ සේවාවෙහි සියලුම ගුණාංග සෑම විටම ඔහුගේ තරගකාරී භාණ්ඩය හෝ සේවාව අභිබවා කටයුතු නොකරනු ඇත. ඔහුගේ භාණ්ඩයේ පවතින හොඳ ගුණාංග පැහැදිලි කර දෙන අතර ඍණාත්මක ගුණාංග පැහැදිලි කිරීම මගින් මනා විශ්වාසයක් ගොඩනැඟෙන බවද මතක තබාගන්න. එනම්, අලෙවිකරුවා වන ඔබ නිතරම ධනාත්මක ගුණාංග පමණක් පැහැදිලි කිරීම මගින් ඔහුගේ හෝ ඇයගේ විශ්වාසය ගොඩනැඟීමට එය බාධාවක් වේ.

තරගකාරී භාණ්ඩ හා සේවා

තරගකාරීත්වය සඳහා ඉතා සාර්ථක භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට ගලා එයි. එනම්, සෑම ආයතනයක්ම උත්සාහ කරනුයේ ඉතාමත් ගුණාත්මක නිපැයුමක් සිදුකිරීමටය. නමුත්, සාර්ථක නිමැවුමේ වුවද, විවිධ පැතිකඩයන් යම්තාක් දුරට අඩු හෝ වැඩි ප්‍රතිලාභ ගෙන දේ. මෙම ගති ලක්ෂණ පාරිභෝගිකයාගේ රුචි අරුචිකම් සලකා බලා ඔහුගේ අවශ්‍යතාවයන් සමග සැසඳීම අලෙවිකරුවාගේ වගකීමයි.

එපමණක් නොව, ලියුම්කරු ඉහත සඳහන් කළ පරිදි තරගකාරී භාණ්ඩ හෝ සේවාවන්හි අලෙවි සන්නාමයන් හෝ ආයතන නම් ආදිය හැකිතාක් අඩුවෙන් සඳහන් කර ඔබගේ අලෙවි ඉදිරිපත් කිරීම කරන්නේ නම් ඔබගේ ඉතා හොඳ අලෙවි හැදියාවක් ඉස්මතු වේ. මෙම ක්‍රමවේදය ඔබ හා පාරිභෝගිකයා අතර ඉතා දැඩි මිත්‍රශීලී බවක් ගොඩනැඟීමට හේතු වේ. එමෙන්ම තරගකාරී ආයතන සඳහන් කිරීම සදාචාරාත්මක නොවන බව ඔබට වැටහේ. නමුත් ඔබගේ පාරිභෝගිකයා හොඳම මිලදී ගැනීමේ තීරණය සොයාගැනීම සඳහා තරගකාරී මිල කැඳවීම සසඳා බැලිය හැකිය.

මෙවැනි අවස්ථාවන්හිදී ඔබ ඉතාමත් පරෙස්සමෙන් සහ උපායශීලී අයුරින් තම පාරිභෝගිකයා දිනිය යුතුය. කෙසේ වෙතත් තරගකාරීත්වය ඉතා යහපත් මෙන්ම ඉතා ප්‍රයෝජනවත් ක්‍රියාකාරකමකි.

යහපත් පාරිභෝගික සේවාවක් සඳහා කුමක් කළ යුතුද…?

සුගත් මුණසිංහ
උපදේශක – ඉගෙනුම් හා සංවර්ධන


advertistmentadvertistment