යුක්රේනයේ පවතින යුද්ධය අවසන් කරලීම සඳහා ඉදිරියේදී සාම ගිවිසුමක් ඇති කරගැනීමේ අරමුණින් යුක්රේන නායකයන් සමග සාකච්ජා පැවැත්වීමට තමා සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැය දෙකක කාලයක් පැවැත්වූ දුරකථන සංවාදයකින් අනතුරුව නිවේදනය කර තිබේ. යුක්රේනය මේ වන විට එරට පවතින යුද්ධය අවසන් කරලීම සඳහා ගන්නා ප්‍රයත්නයන් නිවැරදි මාර්ගයක තිබෙන බවද රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ. යුක්රේන යුද්ධය අවසන් කරලීම සඳහා වන සාම ගිවිසුමක් ඇති කරගත යුතු බවත් එහිදී සටන් නැවැත්වීම සඳහා සටන් විරාමයක් සකස් කිරීම මෙන්ම එය ක්‍රියාත්මක වන කාල වකවානු තීරණය කිරීම ද වැදගත් බව මාධ්‍යවේදීන් අමතමින් රුසියානු ජනාධිපති පුටින් සඳහන් කර තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දක්වා ඇති රුසියානු ජනාධිපති පුටින් රුසියාව හා යුක්රේනය අතර ඍජු සාකච්ඡා ඇරඹීමට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් රුසියාව සාමය සඳහා දක්වන සහය අගය කර ඇති බවත් දැනට පවතින ප්‍රධාන ගැටලුව වනුයේ යුක්රේනයේ ස්ථිරසාර සාමයක් ඇති කිරීමේ ඉලක්කය වෙත ළඟා විය හැක්කේ කෙසේද යන්න බවද පුටින් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමට ඇතුළත් විය යුතු කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුත්තේ රුසියාව හා යුක්රේනය පමණක් බවත් අවශ්‍ය නම් පාප් වහන්සේගේ සහය ඒ සඳහා ලබා ගත හැකි බවයි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ