වාසනා පයාගල විසින් ලියන ලද රඟමඬල ජයගත් මහ පොළොවේ මිනිසා ශ්‍රී ලාංකික චරිත කථා සාහිත්‍යයට එක් වූ විචිත්‍ර කෘතියක් බව අප පළමුවෙන් ම සඳහන් කළ මනාය. මක්නිසාද යත් මෙරටේ සිංහල රංග භූමිය වර්ණවත් කළ රංග කලා පරපුරක නූතන රංගවේදියකු ලෙස අග්‍රස්ථානයෙහි සුදිලෙන නිශ්ශංක දිද්දෙණිය ඔහුගේ සෞන්දර්ය කලා රසිකයන්ට හඳුන්වාදීමට දරන ලද අගනා ප්‍රයත්නයක් හෙයිනි. වාසනා පයාගල එහිලා ගන්නා ලද දුක්ඛ සෙය්‍යා දුර්භෝජන බොහෝ වූ බවද ඒ කෘතිය තුළින්ම කෙරෙන තවත් ඇඟවුමකි.
චරිතාපදාන හෙවත් පුද්ගල චරිත ලෙස පළවී තිබෙන නිර්මාණ විශ්ව සාහිත්‍යයයෙහි ද ඇතුළත් අගනා සාහිත්‍යාංගයක් ලෙස සම්මත වී තිබේ. සාහිත්‍ය නිර්මාණයක් යනු ප්‍රබන්ධයක් වුවත් එහිද සත්‍යයේ සෙවනැලි තිබෙන බව විචාරකයෝ පවසති. නවකතාව සාහිත්‍ය අංගයක් වුවද කිසිවෙක් එය සත්‍ය යැයි නොපිළිගනිති. එහෙත් නවකථාකරුවා තම නිර්මාණය ගැන සඳහන් කරමින් එය ජීවත්වූ හෝ ජීවත් වන කිසිවකුට සමාන නොවන බවක් ද කියයි. එහෙත් සාහිත්‍ය නිර්මාණයක පසුබිම සොයා යන පාඨකයෝ විවිධ විනිශ්චයවලට ද එළැඹෙති. නම් ගම් සිදුවීම් මනඃකල්පිත යැයි නිර්මාණකරුවා සහතික වුවද පාඨකයා එය නොපිළිගන්නා බවද අපි දනිමු.
චරිතාපදාන හෙවත් චරිත කථා සම්බන්ධයෙන් එබඳු තත්ත්වයක් නැත. එය සත්‍යය හා ජීවිතය ඇසුරින් කෙරෙන ස්මෘතියක් නැතහොත් ආවර්ජනයකි. තම ජීවිතය හා බැඳුණු මතකයන් පෙළගස්වමින් කෙනකු කෙරෙන ආවර්ජනය ස්වයංලිඛිත චරිතාපදාන යනුවෙන් ද හැඳින්වේ. එසේම එය වෙනත් අයෙක් විසින් ද ලියා දැක්විය හැකිය.
වාසනා පයාගලගේ කෘතිය විමසා බැලීමට පූර්විකාවක් ලෙස සිංහලයේ එන චරිතාපදාන නමැති රචනා විශේෂය සම්බන්ධයෙන් ද අදහසක් දැක්වීම වටී. පුද්ගලයකුගේ චරිතය තවත් පුද්ගලයකුට හෝ පුද්ගල සමාජයට ලබාදෙන පරමාදර්ශ පිළිබඳ අපට තිබෙන විශිෂ්ට නිදසුන් ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි එන ජාතක කථා, ථෙර හා තෙරණි කථා දැක්විය හැකිය. ථෙර ථෙරී ගී ලෙස අපට ලැබී තිබෙන අපදාන සාහිත්‍ය විශිෂ්ටතම සම්ප්‍රදායකි. බොදු ජන හද පහන් සංවේගයෙන් පුරවා ලන ඒ කථා සම්ප්‍රදාය ධර්මය හා උපදේශයට අමතරව ජීවිතය පිළිබඳ ගැඹුරු අත්දැකීම්ද ලබාදෙන්නකි. ථෙර ථෙරී කතා මෙන්ම වෙස්සන්තර, පටාචාරා, කිසාගෝතමී ආදී චරිත කථා ද සිංහල සංස්කෘතියත්, සිංහල බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මයත් කෙරෙහි අප්‍රමාණ බලපෑම් කළාවූ ද පහන් සංවේග දනවන්නාවූ ද නිර්මාණ අතර සුවිශේෂීවේ. කිසාගෝතමී තෙරණි කථාව පොදු ජනයාගේ අප්‍රමාණ සංවේගයට නිමිති වූවකි. තම දෙමව්පියන්, සොහොයුරා එකම දර සෑයක දැවෙන හැටි දුටු ඇය තම පුතුගේ සිරුර සොහොනේ දී වනමෘගයන් විසින් ආහාරයට ගන්නා අයුරු දැක දැඩි කම්පනයකට පත් වන්නීය. බුදු සරණින් දුක් නිවාගත් ඇගේ කතාව ජීවිතය පිළිබඳ ගැඹුරු දහමක් හෙළි කරයි.
බුදු සිරිත ඇසුරුකොට ලියැවුණු චරිතාපදාන ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂාවන්ට ද නැඟී ඇත. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ධර්මවලින්ද විචිත්‍ර වූ බුදු සිරිත මේ විශ්වයෙහි බිහිවූ මහා පුරුෂයාණන්ගේ ජීවිතය අපට අතැඹුලක් බවට පත් කළ විශිෂ්ට නිර්මාණයකි. මහා සිහනාද සූත්‍රයෙහිලා බුදුහු තමන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව මෙසේ ආවර්ජනය කරති.
“මම බඩ අතගාමියි පිටකොන්ද අතගාමි. පිට කොන්ද අතගාමියි බඩ ම අතගාමි”
මේ වැකි දෙක ඔස්සේ පාඨකයා සමීප වන්නේ සත්වගට මෙත් සිතින් දුක් වේදනා විඳි අප්‍රමාණ අදිටන් ගුණැති උත්තමයකුගේ ජීවිතයෙන් බිඳක් නොවේද? ප්‍රබන්ධයක් නොවූ සත්‍ය කථාවක ගාම්භීරත්වය කෙතරම් ප්‍රබලද?
බුදු සිරිතට අමතරව කිතු සිරිත හා එහි අසිරිමත් අවස්ථා ද ඒ චරිතාපදානයෙහි දැක්වේ. එසේම ආගමික නායකයන්ට අමතරව විවිධ සමාජ තරාතිරම්වලට අයත් අයගේ ජීවිතවල සාටෝපයෙන් බැහැර වූ සිදුවීම් පෙළක් සේ එන චරිත කථා අපගේ සාහිත්‍යයෙහි ද ජනප්‍රිය අංගයක් වී තිබේ.
විශ්ව සාහිත්‍යයෙහි ද විවිධ චරිතාපදාන දැකගත හැකිය. ඒවා සිංහල පරිවර්තන ලෙසද ඉදිරිපත් වූ අවස්ථා බොහෝය. ආගමික නායකයන්ගේ චරිතාපදානවලට අමතරව විවිධ ක්‍ෂේත්‍රවලට සම්බන්ධ වූ කීර්තිමත් පුද්ගල චරිතද නිර්මාණය වී තිබේ. සමාජ දේශපාලන දාර්ශනික, ආගමික ආදී ක්‍ෂේත්‍රවල ප්‍රකටව සිටි අය මේ චරිත කථා නිසා අපට සමීපව සිටිති. මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා එයට ප්‍රකට නිදසුන් දෙකකි. බටහිර සාහිත්‍යයෙහි සම්භාවනාවට පාත්‍ර වූ චරිත කථා අතර බර්ටන්ඩ් රසල්ගේ ස්වයංචරිතාපදානය ඉදිරියෙන්ම තිබෙන්නකි. ඔහු සිය ජීවිතයෙහි අඳුරු අහුමුලු පවා විවර කර පාඨකයා අබියස තැබීම එයට හේතු විය. ඉන්දියාවේ ප්‍රකට ලේඛිකාවක වූ කමලාදාස් විසින්ම ලියන ලද ‘මගේ කථාව’ ද එබඳුම ආන්දෝලනාත්මක කෘතියකි. කමලාදාස් සිය විවාහ ජීවිතය සම්බන්ධයෙන් කරන ලද ඇතැම් අනාවරණයන් මෙන්ම ඇගේ පෙම්වතුන් පිළිබඳව හෙළි කිරීම නිසා ඒ පොතට ඉමහත් පාඨක ප්‍රතිචාර ද ලැබුණු බව කියති. එසේම කමලාදාස්ගේ චදරිතාපදානය නිසා ඇගේ පවුලේ සාමාජිකයෝ ද කම්පනයට පත් වූහයි කියති.
ඉංග්‍රීසි පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ඩයනාගේ චරිත කථාව ද එබඳුම කෘතියකි.
කෙසේ හෝ සිංහල පාඨකයෝ ද චරිත කථාවලට ප්‍රිය කරති. එසේම උසස් චරිත කථා ඕපාදූපවලින් බැහැර සමාජ දේශපාලන හා සංස්කෘතික විශ්ලේෂණ ලෙස අගය කළ හැකිය. කිසියම් දුබල පෞරුෂයක ලකුණු, ආදර්ශවත් චර්යා ආදියෙන් විචිත්‍ර වූ චරිතාපදාන සමාජයට මෙන්ම පාඨකයාට ද හරවත් අත්දැකීම් වනු ඇත. ඇතැම්විට එබඳු කෘතියක් පාඨකයා කිසි දිනක ස්පර්ශ නොකළ නැවුම් රසයක් ද ලබාදෙන්නක් විය හැකිය. එහෙත් පුද්ගල චර්යා හා රුචිකත්වය හෙළි කිරීමෙන් පාරම්පරික සාරධර්මවලට අගතියක් සිදුවේ යැයි කල්පනා කරන අය ද සිටිති.
ලංකාවේ සුප්‍රකට දේශපාලනඥයන්, කලාකරුවන්, විද්වතුන් හා වෘත්තිකයන් හා සමාජ ක්‍රියාකාරීන් ආදී විවිධ පුද්ගලයෝ චරිතාපදාන තුළින් අපට සමීපව සිටිති. එසේ වුවද බටහිර සාහිත්‍යයෙහි වඩාත් පාඨක ආකර්ෂණය ලැබූ ආන්දෝලනාත්මක චරිත කථා සිංහල සාහිත්‍යයෙහි අල්ප බවද කිව යුතුය. හෙළදිව මහා ගත්කරු ලෙස ප්‍රකට මාර්ටින් වික්‍රමසිංහගේ ‘උපන්දා සිට ’ චරිතාපදානයකට වඩා වෙනස් වර්ගයක කෘතියකි. මහාචාර්ය එදිරිවීම සරච්චන්ද්‍රයන් ලියූ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියෙහි “මේ ස්වචරිතාපදානයක් නොවේ” යනුවෙන් සඳහනක් ද කර තිබේ. එසේම ප්‍රකට නවකථාකරුවකු මෙන්ම කීර්තිමත් සාහිත්‍යධරයකු ද වූ කේ. ජයතිලකගේ “පුංචි පැළේ ගස වෙනා කෘතිය ද මතක සටහන් චරිතාපදානයක් හෝ ආත්ම කථාවක් නොවේ” යැයි දක්වා ඇත. එහෙත් ජයතිලකයන්ගේ ළමා විය හා ඇතැම් තොරතුරු අල්පෝක්තියෙන් යුතුව එහි එන බවද පවසා ඇත.
මේ අනුව පෙනී යන්නේ චරිතාපදාන පුද්ගල චරිතයක අංශු මාත්‍රයක් හෝ ඇබින්දක් ඇතුළත් ලේඛන විශේෂයක් ලෙසද සැලකිය හැකි බවය. එහෙත් ඒවායේ පුද්ගල තොරතුරුවලට අමතරව සමාජ දේශපාලන ඇතුළු විවිධ පුවත් හා සංකීර්ණ අත්දැකීම් ද හමුවන බව කිව හැකිය. ඇත්තට ම කිසියම් චරිතාපදානයක අඩංගු විය හැකි ඇතැම් සිදුවීම් ඒ අදාළ පුද්ගලයා සම්බන්ධ ප්‍රතිරූපයට හානිදායක විය හැකිය යන භීතිය ද ස්වභාවිකව මතුවන්නකි. සමාජයක ජීවත් වීමේදී පුද්ගලයකුට මුහුණ දීමට සිදුවූ අභියෝග, පීඩා, කරදර තවත් අයකුට කිසියම් ඥානයක් ලබාදෙන්නක්ද විය හැකිය. එහෙත් ඇතැම්විට එබඳු කරුණු තමන්ට මෙන්ම තම පවුල්වල අය කෙරෙහි ද අනිසි බලපෑම් කරන්නට ද බැරි නැත. ඒ නිසා චරිතාපදානයකින් පාඨකයාට හා සමාජයට ලැබෙන ප්‍රතිඵල සීමා වීමට ද හැකි වේ.
මේ පසුබිම සිහිපත් කළේ වාසනා පයාගල අප අබියසට රැගෙන එන ප්‍රකට කලාකරුවකු වන නිශ්ශංක දිද්දෙණියගේ චරිතය කෙබඳු ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කර තිබේද යන්නට හේතු දැක්වීමටම නොව, එය යථාර්ථයක් බැවිනි. දිද්දෙණිය යනු මෙරටේ සෞන්දර්ය කලා ක්‍ෂේත්‍රයෙහි භූමිකා කීපයක්ම හා සම්බන්ධ එනිසාම රසික ජන ප්‍රසාදය දිනාගත් භාග්‍යවත් කලාකරුවෙකි. ඒ කලා භූමිකා සම්බන්ධයෙන්ද විවිධ කියැවීම් තිබිය හැකිය. කතුවරිය සඳහන් කරන ආකාරයට ම මෙම කෘතිය හුදු ජීවිත කතාවක්ම නොව, සමාජ දේශපාලන හා සංස්කෘතික පැතිකඩවල් ස්පර්ශ කරමින් ගලා යන විචිත්‍ර ධාරාවක් සේ පාඨකයාට හැඟෙනු ඇත.
දිද්දෙණියගේ ප්‍රකට භූමිකාව රංග කලාව හෙවත් වේදිකාව සමග බැඳී තිබෙන්නකි. දසක පහකට නොඅඩු විචිත්‍ර සෞන්දර්ය කලා අත්දැකීම් සමුදායක හිමිකාරත්වයක් සතු කලාකරුවකුගේ ආවර්ජනයන් විවේක බුද්ධියකින් ද මනා ඒකමිතික ගුණයකින්ද ගොනු කරමින් අපූර්ව සෞන්දර්ය සිත්තමක් මැවීමට කතුවරිය වන වාසනා පයාගල සමත්වූ බව පළමුවෙන්ම කිවයුතුය. කතුවරිය ඒ සඳහා උචිත ආඛ්‍යාන රීතියක් මෙන්ම සන්දර්භයක් ද ගොඩනඟාගෙන ඇත. ඇය නිශ්ශංකගේ කලා භූමිකාව පරිච්ඡේද හයකට බෙදා ඒවා එක් හුයපොටක් සේ පාඨකයාට පිරිනමා ඇති ආකාරය ඇගේ ලේඛන කෞශල්‍යයට පමණක් නොව, කථා කලාවේ නිපුණත්වය කෙබඳු ද යන්නත් විශද කරන්නකි.
නිශ්ශංක දිද්දෙණියගේ නිජබිම, ඔහුගේ සෞන්දර්ය කලාවේ කූඨප්‍රාප්තිය සනිටුහන් කළ පේරාදෙණි සරසවිය මෙන්ම ඒ සෞන්දර්ය ආලෝකයෙන් විචිත්‍ර වූ අගනුවර හා බැඳුණු රමණීය අත්දැකීම් මෙන්ම ඔහුගේ රැඟුම්, ගැයුම් කෙරෙහි ලොල් වූ රසික ප්‍රජාව ගැන ද මෙහි ඉතා මැනවින් දක්වා ඇත. නිශ්ශංකගේ නිජබිම වූ සබරගමුවට අයත් පනාවැන්න ගමත් ඒ ගම හා බැඳුණු ඓතිහාසික සමාජ සංස්කෘතික වටිනාකම් සමුදායත් කතුවරිය මනාව වාක් චිත්‍රයට නඟා ඇත. දිද්දෙණිය ගොවියකුගේ පුතකු ලෙස මෙලොව එළිය දකින පාරම්පරික හර පද්ධතියත් සංස්කෘතික ප්‍රාග්ධනයක දුර්ලභ උරුමයක් ජන්මයෙන් ලද්දකි. සබරගමුව සංස්කෘතික වශයෙන් මතු- නොව පූජනීය වටිනාකමකින්ද යුතු අපූර්ව සොබාදහම් තිළිණයක් බව කතුවරිය කියන්නීය. එවන් පතිරූප දේශයක ජන්මලාභය ලබන දරුවකු කෙබඳු භාග්‍යවන්තයෙක් දැයි ඇය සියුම්ව හා විචිත්‍රව තහවුරු කර ඇත.
පනාවැන්න සන්සුන් රිද්මයකින් ගලන ගඟුලක් සේ එකම දනන් හද සුවපත් කර වූවකි. නිරහංකාර ගැමියන්, ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාස මෙන්ම ගමේ පන්සලේ සෙවණ ද එගමට ආලෝකයක් වී ඇත. ආණ්ඩුවෙන් පඩි කන අය ලෙස හැඳින්වුණු රාජ්‍ය සේවකයෝ ද එගමෙහි සිටියහ. ගොවි පුතකු ලෙස උපන් දිද්දෙණිය කුඹුර කමත හා බැඳුණු පියාගේ වෘත්තීය ක්‍රියාකාරකම්වලට ද නොමඳව දායක වූ අයෙක් විය. පවුලේ පිරිමි දරුවන්ගෙන් බාලයා වූ ඔහුට ආදරය, කරුණාව මෙන්ම සියල්ලන්ගේම සත්කාර ද නොමඳව ලැබුණි. එකල සබරගමුව පළාතේ අව්‍යාජ ගමක විලාසයක් එතැනින් සිය ඉරණම් සෞන්දර්ය භූමිකාවට අත්පොත් තබන දිද්දෙණියගේ මතක රූප ඉතා විසිතුරු ලෙස කතුවරිය එහි දක්වා ඇත.
පනාවැන්න ගමේ පාසලෙන්ම සිය සහජ කලා හැකියාවන් විශද කරන දිද්දෙණිය මුලින්ම ප්‍රකට වන්නේ ගැයුම්වලටය. කුඹුරේ නෙලුම් කවි, කමතේ සීපද මෙන්ම දෙසවනට වැටුණු කවි කොළකාරයාගේ හා විරිඳුකාරයාගේ උස් ස්වරයෙන් පැතිර ගිය කවි හා විරිඳු ආදියත් දිද්දෙණියගේ මතකය තුළ නිනාද වූ ආකාරය ද කතුවරිය විස්තර කර ඇත. ගමේ පාසලින් පැල්මඩුල්ල මධ්‍ය විද්‍යාලයට ඇතුළු වීමට වරම් ලද දිද්දෙණිය සමස්ත ලංකා ගායනා තරගවලින් ප්‍රමුඛස්ථාන ලබාගනිමින් එවක පැවැති නොයෙක් කලා ක්ෂේත්‍රවල වාර්තා අලුත් කිරීමට ද සමත් වී ඇත. නිදහස් අධ්‍යාපනයේ අරුණෝදයෙන් ගම් දනව් පිබිදෙනවිට දිද්දෙණියට ද ගන්කන්ද විදුහලෙන් ඒ උරුමය ලබාගැනීමේ දොරගුළු විවර වී ඇත. ඔහුගේ ළමාවියත් ඉනික්බිතිව උදාවන තාරුණ්‍යයේ සමාරම්භයත් ඉතා රමණීය ලෙස කතුවරිය විස්තර කරන්නී, නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර යුගය හා මනාව මුසු කරමින්ය. මෙහි ගැබ්වන ඓතිහාසික හා සමාජ විවරණය තුළින් කතුවරියගේ ප්‍රබුද්ධ සමාජ දෘෂ්ටිය ගැන ද අපට දැන මැන ගතහැකිය. එම පරිච්ඡේදය ඇය නම් කරන්නී ජීවිතයට ජීවය ගෙන දුන් ගම යන අලංකාර යෙදුමෙන්ය.
සබරගමුවට ආවේණික ගැමි රංග කලා, නර්තන සම්ප්‍රදායන් මෙන්ම අපූර්ව පූජා සංස්කෘතීන් පිළිබඳ අව්‍යාජ ධාරණාවන් සමග තාරුණ්‍යයට පිවිසෙන නිශ්ශංක දිද්දෙණියගේ සෞන්දර්ය කලා කෙම්බිම වූ පේරාදෙණි සරසවියට පිවිසීම හා එහිදී අත්විඳින කලා සම්පත් පිළිබඳ අගනා විග්‍රහයක් දෙවැනි පරිච්ඡේදයෙහි දැක්වේ. දිවි කතරට කෙම්බිමක් වූ පේරාදෙණිය ලෙස එම පරිච්ඡේදය නම්කර තිබේ. කතුවරිය මෙහිදී පේරාදෙණි සරසවි පරිශ්‍රය එහි අතීත කතාව ද අපට කියන්නීය. සරසවි උප සංස්කෘතිය ද සිතුවමක් සේ අපූර්වත්වයකින් දක්වන ඒ පරිච්ඡේදයෙහි කේන්ද්‍රීය සිදුවීම ලෙස දිද්දෙණියට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හමුවීම ද විස්තර කර ඇත. සිංහල නාට්‍ය කලාවේ පීතෘවරයා යන විරුදාවලියෙන් බුහුමනට පත් මහාචාර්ය සරච්චන්ද්‍රගේ ඇසුරත් ඉන් සිය දෘෂ්‍ය කලා පාරමිතාව සපුරා ගන්නා දිද්දෙණියගේ රංග කලා පෞරුෂය පිළිබඳ ප්‍රමාණවත් විශ්ලේෂණයක් ද එහි දැක්වෙයි. දිද්දෙණියගේ රංග කලා භූමියෙහි විචිත්‍ර පරිච්ඡේදයක සමාරම්භය කෙබඳු ද යන්නත් එහිලා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් ලත් ගුරුඋපදේශ හා ආභාසයන් කතුවරිය අපට පෙන්වා දී ඇත. දිද්දෙණිය සරච්චන්ද්‍ර නාට්‍ය කලාවේ ප්‍රමුඛයන් අතර සුදිලෙන තරුවක් වූ අයුරු ද එහි සඳහන් වේ. සිය සමකාලීන සෞන්දර්ය සගයන් අතර වඩාත්ම සමීප වූ ජයලත් මනෝරත්න සමග වූ සංසාර බැඳීම අලුත් වන අයුරු ද කතුවරිය විචිත්‍ර ලෙස දක්වන්නීය. සිංහබාහු නම් වූ අග්‍රගණයේ දෘශ්‍ය කාව්‍යයට දායක වීම මෙන්ම සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ට නිර්මාණයක් වූ මනමේ භූමිකා නිරූපණයට ද දිද්දෙණිය බොහෝ පින්කර ඇති වග ඒ විස්තර කියවන පාඨක ජනයාට ද හැඟෙයි.
පේරාදෙණියෙන් නාට්‍ය කලාවට අමතරව ශාස්ත්‍රවේදී උපාධිය ද දිනාගන්නා දිද්දෙණිය අගනුවර සෞන්දර්ය කලා සමාජයට පිවිසීමේ සිට ඒ දිගු ගමන ද කතුවරිය බිඳෙන් බිඳ අප අබියස තබන්නී අපූර්ව රසභාව පිරි කවක් ලෙසය. ගැමි රඟ මඬල, පාසල් වේදිකාව, සරසවි රංග භූමිය හා ප්‍රසිද්ධ වේදිකාව යන සියලු තැන්හි දිද්දෙණියගේ රැඟුම්, ගැයුම් ඇතුළු නිරූපණ සියල්ල පිළිබඳ ප්‍රමාණවත් අනාවරණයන්ගෙන් ද පිරුණු රඟමඬල ජයගත් මහපොළොවේ මිනිසා නාටකීය ගමන් තාලයකින් වටයක් රිද්මානුකූලව පියවර නඟා අනතුරුව අපට ආචාර කරන්නාක් මෙන් ද ඒ විස්තර කියවද්දී දැනෙනු ඇත.
දිද්දෙණියගේ පෞද්ගලික ජීවිතයෙන් බිඳක් මෙන්ම වෘත්තීය ජීවිතයෙහි සැමරුම් ද කෘතියට එක්කර තිබේ. දිද්දෙණියගේ විදේශ චාරිකා, ඔහුගේ සුවිශේෂ ක්ෂේත්‍රයක් වන නාඩගම් ගීත හා වෙනත් ප්‍රාසාංගික තොරතුරු ද මෙහි ඇතුළත්ව තිබේ. ඔහු ලද කිත් පැසසුම් ඇගයුම් හා උපහාර සම්මාන ආදිය පිළිබඳ තොරතුරු ද කෘතියට එක් කිරීම ද සුවිශේෂ කරුණකි. ඒවා කතුවරිය හඳුන්වන්නේ කලාදිවියට එක් කළ වටිනාකම් ලෙසය. ඇත්ත වසයෙන්ම මෙම කෘතිය ලිවීමට නිශ්ශංක දිද්දෙණිය විසින් කරන ලද ඇරයුමට වාසනා පයාගල කතුවරිය ද අලුත් වටිනාකම් සමූහයක් එකතු කර ඇතැයි මෙය කියවන පාඨකයකුට නිසැකයෙන්ම හැඟී යනු ඇතැයි මම සිතමි. ඇගේ සාහිත්‍ය කලා පිළිබඳවූ ලැදියාවන් හා බැඳියාවන් ද උසස් තලයක නොවූයේ නම් මෙවන් සාර කෘතියක් නිමවනු ඇතැයි සිතිය නොහැක. වේදිකාවේ තමන්ටම ආවේණික රංග පෞරුෂයකින් හා භාව ගායන ලීලාවකින් ශෝභාමාන වූ නිශ්ශංක දිද්දෙණියගේ ජීවිතයෙන් බින්දු මාත්‍රයක් මෙරටේ සෞන්දර්ය කලා සමාජයට පිරිනැමීමට ඇය විසින් දරන ලද අභිමානවත් ප්‍රයත්නය ද අප අගය කළ යුතුය. පුද්ගලයකුගේ දිවි සයුරෙන් දෝතක් ගැනීම යනු වෙනම ප්‍රතිභාන්විත ක්‍රියාන්විතයකි. උචිතානුචිත මෙන්ම අර්ථවත් ආවර්ජනයන්ගෙන් යුතු සෞන්දර්ය වියමනක් පාඨක රසික දනන් වෙතටත් මතු අනාගත සෞන්දර්ය භූමිකාවල සක්මන් කරන රසික ප්‍රජාවටත් හිමිකර දුන් කතුවරියට වියත් ජන ප්‍රසාදයත් හිමිවනු නිසැකය.
● ගාමිණී සුමනසේකර