ආහාර අනාරක්‍ෂිතතාව 17%සිට 24% වැඩිවෙලා
වතුකරයේ ආහාර අනාරක්‍ෂිතතාව 52%
පවුල්වල වියදමින් 62%ක්ම වෙන් කරන්නේ ආහාරවලට
18%ක් ණයට කද්දී 16%ක් කෑම වේල් අතහරී
පසුගිය කාලයේ ජනතාවගේ හිස මතට දුක් කරදර පාත්වුණේ එකපිට එකය. පාස්කු බෝම්බයෙන් පටන්ගෙන ජනතාවට හුස්මක් කටක් ගන්නටත් ඉඩක් නොතියා කොරෝනා වසංගතයෙන් බැටදුන්නේය. යාන්තම් එයින් ගොඩ එන විටම ආර්ථික අර්බුදය මෙන්ම දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මෙරට ජන සමාජය අන්තයටම කඩා වැටිණි. රටේ ආර්ථිකය මෙන්ම ජනතාවගේ ආර්ථිකය ද බංකොළොත් විණි. ඇත්තම කිව්වොත් ජනතාව ගියේ සහ තවමත් යන්නේ රිම් එකෙනි. ඒ තරමටම මෙරට ජන සමාජයට පසුගිය කාලයේ රට තුළ සිදුවූ බල පෙරළි බලපෑවේය.
ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියන්නාක් මෙන් මේ මොන පෙරළිය ඇති වුණත් එහි අවසාන ප්‍රතිඵලයට වන්දි ගෙවන්නට සිදුවන්නේ වෙන කාටවත් නොව රටේ සාමාන්‍ය මහජනතාවටය. වෙනදා සැප සම්පත් නැතත් අඩුවක් නැතුව තුන්වේල කා බී ජීවත් වූ ජනතාවට අන්තිමේ ඒකත් නැති වෙන තත්ත්වයකට පත්වූහ. මේ පිළිබඳ අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් මෙරට තුළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අධ්‍යයනයන් කිහිපයක්ම සිදුකළේය. එහි ප්‍රතිඵල මේ වන විට එළිදක්වා තිබේ. 2023 මාර්තු සහ 2023 සැප්තැම්බර් යන මාසවල සිදුකළ එම සමීක්ෂණය පිළිබඳ පසුගියදා කරුණු අනාවරණය කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා විසිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටේ සිදුවන දේවල් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන නිසා 2022 වසරේදී මෙන්ම 2023 වසරේදී ද මෙරට තුළ සමීක්‍ෂණ කිහිපයක්ම සිදුකොට ඇත. එලෙස අවධානය යොමු කොට ඇත්තේ වෙන කිසිවක් නිසා නොව රටේ ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වීම සහ ඉහළ උද්ධමනයක් පැවතීම හේතුවෙනි.
කොරෝනා වසංගතය අවසන් වී ආර්ථික අර්බුදය හටගන්නවාත් සමඟ මෙරට භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගියේ එසේ මෙසේ ගණන්වලින් නොවේ. සෑම භාණ්ඩයකම මිල සියයට සියයේ සිට දෙතුන් සියය දක්වා ඉහළ ගියේ ජනතාවට පාන් කියාගන්නවත් ඉඩක් නොතබමිනි. ඒ අතරිනුත් වැඩි වශයෙන්ම මිල ඉහළ ගියේ ආහාර ද්‍රව්‍යවලය.
ආර්ථික අර්බුදය මෙරට ජන සමාජයට එල්ල කළේ මරු පහරකි. අර්බුදයේ ආරම්භයත් සමඟ බොහෝ පුද්ගලයන්ට සිය රැකියා අහිමිව ගියේය. මෙම තත්ත්වය ඇති වූයේ එක් අංශයක පමණක් නොවේ. කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනේම නියැළි බොහෝ පිරිසකට සිදු වුණේ රස්සා නැතිව ගෙදරට වී සිටින්නටය.
මේ අතර ඒ කෙරෙහි අවධානය යොමු කළ ලෝක ආහාර වැඩසටහන මෙරට ආහාර සුරක්ෂිතතාව කුමන මට්ටමක පවතීවිදැයි සහ එය වෙනස් වන ආකාරය සියුම්ව නිරීක්ෂණය කොට ඇත. ඒ 2023 මාර්තු මාසයේ සහ 2023 අගෝස්තු, සැප්තැම්බර් මාස ඉලක්ක කොට ගනිමිනි.
මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව 2023 මාර්තු මාසය වන විට මෙරට තුළ මධ්‍යස්ථ ලෙස හෝ පූර්ණ ලෙස ආහාර අනාරක්ෂිත තත්ත්වයක සිටි සංඛ්‍යාව 17% කි. එය ආසන්න වශයෙන් ලක්ෂ 37 කට ආසන්න සංඛ්‍යාවකි. නමුත් ඔවුන් දෙවැනි වතාවට සමීක්ෂණය සිදු කරන අවස්ථාව වන විට මෙරට ආහාර අනාරක්ෂිත පිරිස 17% සිට 24% දක්වා වැඩිවී තිබේ. එය ලක්ෂ 54 කට ආසන්න සංඛ්‍යාවකි. 24% ක් යනු රටෙන් හතරෙන් එකක්ම සිට ඇත්තේ ආහාර අනාරක්ෂිතභාවයෙනි.
ගමටත් ගිය ආහාර අහේනිය
මෙරට ජනගහනය බෙදී ගොස් ඇත්තේ නාගරික ප්‍රදේශවල 17% ක් ලෙසත් ග්‍රාමීය ප්‍රදේශවල 79% ක් සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල 5% කට ආසන්න ප්‍රමාණයක් වශයෙනි. වැඩි දෙනෙක් පවසන්නේ මොන සැප නැතත් ගමේ සිටියා නම් තුන්වේල හොඳට කාල බීලා ඉන්න පුළුවන් කියායි. නමුත් මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව එම තර්කයද බිඳ වැටී ඇත. නාගරික ප්‍රදේශවල ආහාර අනාරක්ෂිත පිරිස 2023 මාර්තු වන විට පැවතියේ 14% මට්ටමේය. නමුත් එය 2023 සැප්තැම්බර් වන විටත් නොවෙනස්ව ඒ මට්ටමේම පැවති ඇත. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල ආහාර අනාරක්ෂිත පිරිස 2023 මාර්තු වන විට 17%ක පැවතියත් එය 2023 සැප්තැම්බර් වන විට 25% දක්වා වැඩි වී තිබේ. 25% ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙනවා යනු ග්‍රාමීය ජනතාව හතර දෙනකුගෙන් එක් අයකු ආහාර අනාරක්ෂිතභාවයට පත් වී ඇති බවයි. වඩාත් බරපතළම තත්ත්වය වාර්තාවන්නේ වතු ආශ්‍රිතවය. 2023 මාර්තු මාසය වන විට 42%ක්ව පැවති ආහාර අනාරක්ෂිත තත්ත්වය 2023 සැප්තැම්බර් වන විට 52% දක්වා වැඩිවී තිබේ.
වැඩිවන බඩගිනි හමුදාව
2023 මාර්තු මාසයේ සිට 2023 සැප්තැම්බර් මාසය වන විට අලුතින් ආහාර අනාරක්ෂිත තත්ත්වයට පත් වූ පිරිස 1542000 කට අධිකය. රටේ ජනතාව පටි තද කරගෙන වැල් පාලමෙන් ගමන් කිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ දැන්ය. ඒ පිළිබඳ පුවත් වාර්තා වන විට වැල් පාලමින් ජනතාව එතෙර කළ නායකයන් බලයේවත් නැත. නමුත් දැන් බලය හොබවන නායකයනුත් එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ බැවින් මීළඟ සමීක්ෂණය සිදු කරන කාලය වන විටවත් රට මේ තත්ත්වයෙන් මුදා ගැනීමට කටයුතු කළ යුතුය.
මෙරට පවුල් ඒකක වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී පවතින්නේ පුරුෂයන් මූලික කරගෙනය. ගෙදර ගෘහ මූලිකයා පුරුෂයාය. ඊට අමතරව කාන්තාව ගෘහ මූලිකත්වය දරන පවුල්ද පවතී. ආහාර අනාරක්ෂිත තත්ත්යට පත්වී ඇති පවුල් දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ පිරිමියා ගෘහ මූලික වන පවුල්වල ආහාර අනාරක්ෂිතභාවය 16% සිට 22% දක්වාත් කාන්තාව ගෘහ මූලිකත්වය දරණ පවුල්වල ආහාර අනාරක්ෂිතභාවය 23% සිට 32% දක්වාත් වැඩිවී ඇති බවයි.
රටාවෙන් පිට පැනීම
දිගින් දිගටම එල්ලවන ආර්ථික පීඩනය හමුවේ වෙනදා මස්, මාළු කෑ ජනතාව දැන් බත් කන්නේ එළවළුත් සමග පමණි. තුන් වේලම බත් කාපු පිරිස එක වේලක් හෝ දෙවේලක් අතහැරදමා තිබේ. එහෙමත් නැතිනම් සැහැල්ලු හෝ අඩු වියදම් ආහාරයකින් කුස පුරවා ගන්නට පුරුදු වී සිටී. මේ ආකාරයෙන් ආහාර රටාව වෙනස් කළ පවුල් සංඛ්‍යාව සමස්ත පවුල් ලක්ෂ 57න් 42%කි. කාන්තාව ගෘහමූලික වන පවුල් වලින් 48% ක ඔවුන් කෙසේ හෝ වැඩේ ගොඩ දාගෙන ඇත. පිරිමි ගෘහ මූලික පවුල්වලින් ආහාර රටාව වෙනස් කරගෙන වැඩේ ගොඩදාගෙන ඇත්තේ සමස්ත පවුල් වලින් 40%කය.
ජනතාව ඉතා දුක් මහන්සියෙන් හරි හම්බ කරන්නේ කෑමට බීමට පමණක්ම නොවේ. බුදුරජාණන් වහන්සේ පවා සිඟාලෝවාද සූත්‍රය මගින් පුද්ගලයකු තමන් උපයන ධනය වියදම් කළ යුතු ආකාරය දක්වා තිබේ. නමුත් පසුගිය කාලයේ නම් ජනතාව හරි හම්බ කරන දෙයින් වැඩි හරියක්ම වියදම් කළේ වෙන කිසිවකට නොව කෑම බීම වෙනුවෙනි. ලංකාවේ පවුල්වල වියදමින් 62% ක්ම වියදම් කොට ඇත්තේ ආහාර වෙනුවෙනි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහනය, ජල, විදුලිය බිල්පත් ගෙවීම වැනි අනෙකුත් සියලු කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට ඉතිරි වන්නේ 38% පමණි.
ආහාර අනාරක්ෂිත පිරිස පිළිබඳ කතාබහ කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ රැකියාවක් නොකරන සමෘද්ධිය, මහජන ආධාර දීමනාව ආදී විවිධ දීමනා ලබන පිරිස් කොපමණ ආහාර අනාරක්ෂිතභාවයකට පත්ව ඇත්දැයි යන කාරණය පිළිබඳවයි. ඒ ගැන සලකා බැලීමේදී පෙනී යන්නේ මෙම කාලය තුළ ඔවුන් 43% සිට 51% දක්වා ආහාර අනාරක්ෂිතභාවයකට පත්ව ඇති බවයි. විවිධ ආධාර, ත්‍යාගයන් මත යැපෙන පවුල්වල ආහාර අනාරක්ෂිතභාවය 31% සිට 49% දක්වා වැඩිවී තිබේ.
මීට අමතරව කෘෂිකර්මාන්තය තුළ විවිධ රැකියා කර වැටුප් ලබන පිරිස්වල ආහාර අනාරක්ෂිතභාවය 31% සිට 36% දක්වා වැඩිවී තිබේ. විවිධ නිෂ්පාදන සහ වෙළෙඳාම් කරන පිරිස්වල ආහාර අනාරක්ෂිතභාවය වැඩි වී ඇත්තේ 6% සිට 27% දක්වායි. කෘෂිකාර්මික නොවන නුපුහුණු, වැටුප් ලබන සේවකයන්ගේ ආහාර අනාරක්ෂිත භාවය වැඩි වී ඇත්තේ 23% සිට 25% දක්වා පමණි. කුඩා පරිමාණ ව්‍යාපාර කරන පුද්ගලයන්ගේ ආහාර අනාරක්ෂිතභාවය වැඩි වී ඇත්තේ 13% සිට 24% දක්වායි.
මෙම කාලය තුළ ආහාර අනාරක්ෂිතභාවය අඩු පිරිස් ද සිටී. ඒ වෙන කවුරුවත් නොව ඇඟලුම් කම්හල් සේවකයන්ය. ඔවුන්ගේ ආහාර අනාරක්ෂිතභාවය 19 %සිට 18% දක්වා අඩු වී තිබේ.
වෛද්‍යවරුන්, නීතිඥයන් ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි විවිධ ස්වයං සේවා සපයන්නන්ගේද ආහාර අනාරක්ෂිතභාවය 15% සිට 17% දක්වා වැඩිවී තිබේ. මීට අමතරව රාජ්‍ය සේවකයන් පිළිබඳව මෙම වාර්තාවේ සඳහන් වේ. රාජ්‍ය සේවකයන්ගේ ආහාර අනාරක්ෂිතභාවය 7% සිට 11% දක්වා වැඩිවී තිබේ.
මෙම වාර්තාවට අනුව වතු අංශයේ සිටින පවුල් වලින් 42% පමණම ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගන්නේ නැත. යාන්තම් බඩගින්න නිවාගන්න පොඩි දෙයක් බඩට දමා ගන්නවාට වඩා වැඩි යමක් වතු අංශයේ ජනතාව සිදුකොට නැත. මෙම තත්ත්වය සමස්ත ලංකාව තුළම සලකා බැලුවහොත් 26% කි. 2023 මාර්තු වන විට මේ තත්ත්වය පැවතියේ 21% වශයෙනි.
ආහාර අනාරක්‍ෂිතතාව නිසා ශරීර සෞඛ්‍යයෙන් පිරිහුණු පිරිසක් බිහිවේවි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල
ආර්ථික අර්බුදයක් සමග වැඩිපුරම පීඩාවට පත්වූයේ සමෘද්ධිය අස්වැසුම වැනි විවිධ දීමනා ලබන පුද්ගලයන්ය. එසේ නොමැතිනම් විවිධ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ තුළ සිටින පුද්ගලයන්ය. ඔවුන්ගෙන් 49% ක්ම වාර්තා වන්නේ ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා පිරිසක් වශයෙනි.
ලංකාවේ දුප්පත්ම පවුල් 20% පිළිබඳ සලකා බැලීමේදී පෙනී යන්නේ 2023 මාර්තු වන විට පවුල් වලින් 40% පමණ ප්‍රමාණවත් ආහාර නොගන්නා තත්ත්වයක් වාර්තා වී ඇති බවයි. එය 2023 සැප්තැම්බර් වන විට 55% ක් දක්වා වැඩිවී තිබේ.
ඊළඟ 20% පිළිබඳ සලකා බැලීමේදී 2023 මාර්තු මාසය වන විට 23 % ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළුණු අතර සැප්තැම්බර් වන විට එය 34% දක්වා වර්ධනය වී තිබේ. තුන්වන සියයට 20% පිළිබඳ සලකා බැලීමේදී මාර්තු මාසය වන විට 18% පැවති ආහාර අනාරක්ෂිත භාවය සැප්තැම්බර් වන විට 23% දක්වාත් සිව්වන 20% තුළ කිසිදු වෙනසක් සිදුව නොමැත. ඉහළම ආදායම් ලබන 20% ආහාර අනාරක්ෂිතභාවය 7% සිට8% දක්වා වර්ධනය වී තිබේ.
බඩගින්න කාටත් පොදුය. මේ නිසා වැඩි දෙනා කරන්නේ තම ආහාර රටාව වෙනස් කිරීමයි. එලෙස ආහාර රටාව වෙනස් කළ පිරිස 56%කි. ලංකාවේ සමස්ත පවුල් ලක්ෂ 57න් පවුල් ලක්ෂ 32 ක්ම විකල්ප ක්‍රමවලට යොමු වී තිබේ.
මෙම පවුල් ලක්ෂ 32න් 70% ආහාර වශයෙන් ගෙන ඇත්තේ තමන් වැඩි කැමැත්තක් දක්වන ආහාර නම් නොවේ. වෙන කරන්නට දෙයක් නැතිම තැන මිනිස්සු කරන්නේ අහුවෙන දෙයක් කටේ දමා ගැනීමයි. රස, ගුණ හොයන්නට යන්නේ නැත. මිනිසුන්ට වුවමනා කරන්නේ කෙසේ හෝ බඩ කට පුරවාගැනීම පමණි.
එසේම ආහාර ගන්නා ප්‍රමාණය අඩු කළ පිරිස 27%කි. තවත් පිරිසක් කරන්නේ වෙන කරන්නට දෙයක් නැති තැන ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීමයි. වෙනදා බඩ පිරෙන්න කාපු මිනිස්සු දැන් කන්නේ යාන්තම් කෑවා කියන්නට පමණි. අකැමැත්තෙන් වුණත් ජනතාවට එසේ කරන්නට සිදුවී තිබෙන්නේ අනෙකුත් අවශ්‍යතා සඳහාද මුදල් අවශ්‍ය වන බැවිනි.
බඩගින්නේ සිටින්නට නොහැකි පිරිස කරන්නේ කාට හෝ ණය වීමයි. සමහරු බැංකු ආදියට ණය වන අතර තවත් පිරිසක් කණකර උකස් තබති. බැංකුවලින් මුදල් ලබාගත නොහැකි පිරිස කරන්නේ ගමේ පොලී මුදලාලිලාගේ පිහිට පැතීමයි. මේ ආකාරයට ණයට කන පිරිස 18%කි. ඒ තුළ පවුල් ලක්‍ෂ හයකට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පුද්ගලයන් ආසන්න වශයෙන් ලක්‍ෂ 22ක්වත් සිටී.
මිනිස්සු කරන්නම දෙයක් නැති තැන කරන්නේ එක වේලක් හෝ දෙවේලක් වතුර උගුරක් බී දවස ගතකිරීමයි. මේ වනවිට 16%ක පමණ පිරිසක් තමන් කන වේල් ගණන අඩුකොට ඇත.
මේ තුළින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා දරන්නේ මෙවැනි අදහසකි.
“රට තුළ ඇතිවූ ආහාර සුරක්‍ෂිතතාවයේ පහළ යෑමත් සමග අධ්‍යාපනයේ සුරක්‍ෂිතතාවත් නැතිවී ගොස් තිබෙනවා. දෙමවුපියන්ට ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට තිබෙන මුදල් පවා ආහාර වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙනවා. ඒ වගේම ජනතාව සෞඛ්‍ය වෙනුවෙන් වැයකළ මුදල් කපාහැර දමා තිබෙනවා. මෙහි ප්‍රතිවිපාක දැකගන්නට පුළුවන් වන්නේ ඉදිරි අනාගතයේදී. මේ නිසා ඉදිරියේදී දැනුමෙන් මෙන්ම ශරීර සෞඛ්‍යයෙන් පිරිහුණු පිරිසක් බිහිවේවි.”
රටේ සමස්ත ජනතාව තම වියදම්වලින් 62%ක්ම වෙන්කොට ඇත්තේ ආහාර වෙනුවෙනි. ඒ සමාජ ආරක්‍ෂණ ක්‍රමවේද මත යැපෙන පුද්ගලයන් තම වියදමෙන් 73%ක් වෙන්කොට ඇත්තේ ආහාර වෙනුවෙනි. විවිධ තෑගි, ආධාර ලබන පුද්ගලයන් තම වියදමෙන් 70%කුත් කෘෂිකාර්මික නොවන නුපුහුණු ශ්‍රමිකයන් තම විදමින් 61%කුත් ස්වයං සේවා නියුක්තිකයන් තම වියදමෙන් 60%කුත් වී ඇතුළු නිෂ්පාදන සිදුකරන අය තම වියදමේන 63%කුත් කුඩා ව්‍යාපාරයන්ගෙන් ආදායම් ලබන පුද්ගලයන් තම වියදමෙන් 61%ක් වශයෙන් ආහාරපාන වෙනුවෙන් වැයකර ඇත.
මීට අමතරව නාගරික ප්‍රජාවගේ වියදමෙන් 57%කුත් ග්‍රාමීය ප්‍රජාවගෙන් 62%කුත් වතු ජනතාවගෙන් 65%කුත් ආහාර වෙනුවෙන් වැයකර ඇත.
සමීර කන්නන්ගර
[email protected]