රටේ සංවර්ධනයට විශ්වවිද්‍යාල සිසුන්ගේ දායකත්වය…?

202

“මේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගන්න, ඉහළ තැනකට ඔසවා තබන්න වෙන කාටවත් තියා දරුවන්ගේ දෙමව්පියන්ටවත් උවමනාවක් නැහැ.”

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඉකුත් දිනෙක කියා සිටියේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හරය නොදැන එහි වටිනාකම් හරි හැටි උකහා නොගන්නා දරුවන් සහ දෙමව්පියන් උදෙසාත්, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි වැඩවර්ජන මත දරුවන්ට අහිමි වී ගිය ජාත්‍යන්තර ශිෂ්‍යත්වයන් වැඩසටහන් පිළිබඳවත් අදහස් දක්වමින් මහාචාර්යවරයා එලෙස කියා සිටියේය. විශ්වවිද්‍යාල අධ්‍යයනයන් කඩින් කඩ ඇතිවන වැඩවර්ජන හමුවේ ආරම්භ කළද විශ්වවිද්‍යාල අධ්‍යාපනයන් තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සෘජුව දායකත්වය සැපයෙන උපාධිධාරීන්ගේ දැනුම ආකල්ප එලෙසින්ම භාවිත නොවන යුගයක් වර්තමානයේ පවතී.

එය රටක් ලෙස ලෝකය හමුවේ නැගී සිටීමට බාධාවක් බව මේ වනතෙක් අවබෝධ කර නොගත් බහුතරයක පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙයි.

ලංකාවේ අධ්‍යාපනයෙහි ස්වර්ණමය යුගය ලෙස දැක්වෙන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයෙහි පැවැති උසස් අධ්‍යාපනය ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. පොලොන්නරු යුගය දක්වා පැවැති උසස් අධ්‍යාපනය තුළ ශාස්ත්‍රීය හා වෘත්තීය (ශිල්පීය) වශයෙන් විෂයමාලා පැවතුණි. ඊට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව විශේෂඥ මට්ටමේ අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු උසස් අධ්‍යාපනය අවසන් වේ. ලංකාවේ අනුරපුර යුගයේ පැවති අභයගිරිය, මහාවිහාරය, ජේතවනය යන විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය ලබා දුන් ආයතන වේ. පොලොන්නරුවේ පැවැති ආළාහන පිරිවෙන 12 වන සියවසේ ඉතාම සාර්ථකව පැවැති විශ්වවිද්‍යාලයකි. ඔක්ස්ෆර්ඩ්, කේම්බි්‍රජ් හා ඉතාලියේ පාදුවා, ප්‍රංශයේ අජේ යනාදී විශ්වවිද්‍යාලවල ආරම්භය සිදුවෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉතාම දියුණු අයුරින් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. එවකට මහාවිහාරය ද ඉතා දියුණු අධ්‍යාපනයක් ලබා දුන් විශ්වවිද්‍යාලයකි.

අධ්‍යාපනය ලැබීමට කැමැති කාගේත් සිත් තුළ පවතින සිහිනයකි විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එහෙයින්ම අතීතයේ මෙන් නොව ශ්‍රී ලංකාවේ ද උසස් අධ්‍යාපනය සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතී. අතීතයට වඩා දියුණු තාක්ෂණික මෙවලම්, උපාංග මෙන්ම අතිනවීන දේශන ශාලා පහසුකම්වලින් සමන්විත අතර සිසුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව අධ්‍යයන කටයුතුවල නිරත වීමට ඉඩකඩ ලැබී තිබේ. කෙසේවෙතත් විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතනවල නැගී සිටීමක් දැකිය හැකිය. පෞද්ගලික ව්‍යවසාය හා රාජ්‍ය ව්‍යවසාය යන ද්විත්ව අංශයේ රැකියා සඳහා අවශ්‍ය නිපුණතා හා කුසලතා පිරිපුන් ශ්‍රම බලකායක් හෙවත් මානව සම්පත නිර්මාණය කිරීමේ වගකීම මෙකී උසස් අධ්‍යාපන ආයතනවල අවසාන ප්‍රතිපලයයි. නිපුණතා පූර්ණව සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධිධාරී හා පශ්චාත් උපාධිධාරී ලෙස සුදුසුකම් සපුරන ලද මානව සම්පත් නිර්මාණය කරමින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැංවීම මෙමගින් සිදු වේ.

වසරකට ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට මුහුණ දී ඉන් සුළු ප්‍රමාණයක් පමණක් විශ්වවිද්‍යාල වරම් ලැබීම හා සසඳා බැලීමේදී වසරක් තුළ දළ වශයෙන් 30,000 ක් පමණ සංඛ්‍යාවක් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමේ ප්‍රවණතාවක් දැකිය හැක. නමුත් පසුගිය ප්‍රවේශය තුළ ළමුන් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව අමතරව සලසා දී ඇත. මෙහි ඇති ප්‍රායෝගික තත්ත්වය සලකා බලන විට විශ්වවිද්‍යාලයකට ප්‍රවේශවීමේ ප්‍රධාන අරමුණ තම දනුම පරාසය වැඩිකර ගැනීම දැක්විය හැකි වුවත් බහුතරය ඊට ප්‍රවේශ වන්නේ ඉන් බැහැරව යන විට තම අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුම රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

තරගකාරී අධ්‍යාපන රටාව තුළ ශ්‍රී ලංකාවේ උසස් පෙළ හදාරන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට ප්‍රමාණවත් පහසුකම් රජයට නොමැත. එබැවින් පෞද්ගලික අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා තම වෘත්තීය දියුණු කර ගැනීමට සිසුන් සහ දෙමාපියන් උනන්දු වෙති. පෞද්ගලික උසස් අධ්‍යාපනයට යෑම සහ රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපනය ලැබීම අතර වෙනස නම් වැඩිපුර මුදල් ගෙවිය යුතු වීමත්, උපාධිය හදාරන අතර ම රැකියාවක් ලබා ගැනීමත්, ඒ අනුව ඔබේ වෘත්තීය පළපුරුද්ද වැඩි කර ගැනීමත් ය. රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන්ට පවතින විෂය මාලාව ආවරණය කරමින් අමතර වැඩ කිරීමට කාලය සොයා ගැනීම තරමක් අපහසුය. වෘත්තීය පළපුරුද්ද පමණක් ඇතිව රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් පිටව යන උපාධිධාරියාට වඩා පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අත්දැකීම් ඇති උපාධිධාරියාට රැකියා වෙළෙඳපොළ තුළ වැඩි ඉඩක් හිමිවීම වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රවණතාවකි. මේ තත්ත්වය රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සමත් සිසුන් අධෛර්යමත් කර නිදහස් අධ්‍යාපනය අතහැර පෞද්ගලික ආයතනවල අධ්‍යාපනය ලැබීමට විශාල මුදලක් වැය කිරීමට හේතු වේ. මේ නිසා “කැම්පස් ගිහින් අවුරුදු හතරක් නාස්ති කරනවට වඩා ජොබ් එකක් කරලා ඉගෙන ගන්න එක හොඳයි” යන පීඩාකාරී මතයක් සමාජය තුළ නිර්මාණය වී තිබේ.

සියල්ල මුදල මත තීරණය වන සමාජයක නොමිලේ ලැබෙන විශ්වවිද්‍යාල උපාධිය අතහැර රැකියාවකට යෑම ආවස්ථික පිරිවැය පිළිබඳ ගැටලුවකි. රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන විට සෑම දෙයක්ම නොමිලේ වන අතර සිසුන්ට අන්තර්ජාල පහසුකම්වලින් සියලු වරප්‍රසාද ලැබේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල තම කාල කළමනාකරණ කුසලතා මත අමතර රැකියා කරන සිසුන් ද සිටිති. රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන්ට විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීමෙන් තම උසස් අධ්‍යාපනය දීප්තිමත් කිරීමට වැඩි අවස්ථා තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර පිළිගැනීම ද ඉහළය. පශ්චාත් උපාධි සඳහා අයදුම් කිරීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට ද ඉහළ පිළිගැනීමක් ලැබේ. මේ නිසා, රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට, අමතර ක්‍රියාකාරකම් සඳහා, අර්ධකාලීන වැඩ සඳහා ගත කරන කාලය කළමනාකරණය කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා රැකියා වෙළෙඳපොළ තුළ ද අවස්ථාව සකස් කර ගැනීම සුදුසුය.

නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් මහජන මුදලින් ඉගෙනුම ලබන උපාධිධාරීන් රටට බරක් නොවීමට ව්‍යවසායකයින් උපායශීලී විය යුතුය. රාජ්‍ය ආයතනවල ඒ සඳහා සුදුසු ක්‍රමවේද සකස් කළ යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල වේවා, රාජ්‍ය විශ්වවිද්‍යාල වේවා අවසානයේ අරමුණ රටට යහපත් පුරවැසියන් බිහිකිරීම බැවින් මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව රටේ අභිවෘද්ධිය සඳහා සූදානම් කිරීම අප සැමගේම අභිවෘද්ධියට හේතුවනු ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලය යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පහළොවක් දැනට ඇත.

මීට අමතරව රජයේ බලයලත් විශ්වවිද්‍යාල 47ක් ද පෞද්ගලික විශ්වවිද්‍යාල 27 ක් ද ලංකාව පුරා ක්‍රියාත්මක වෙයි. වර්තමනයේ අපේ රට පවතින තත්ත්වය, දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සහ ඔවුන් කොතෙක් දුරට ඉගෙන ගන්නවාද නැතහොත් ඔවුන් කොතනින් අධ්‍යාපනය නැවැත්විය යුතුද යන ප්‍රශ්න සමග සංසන්දනය කිරීම තාත්වික නොවේ. ඒ මන්ද යත් අපි හැමෝම හොඳින් දන්නා පරිදි උපන් දා පටන්ම අපේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් මිසක් ඉන් අඩියක් හෝ ඉදිරියට ගොස් සංවර්ධිත රටක් ලෙස ලැයිස්තුගත වීමට හැකියාවක් ලැබූ රටක් නොවීමය.

මෙවැනි තත්ත්වයන් හමුවේ දරුවන්ගේ අනාගතය අඳුරු වීම හා නන්නත්තාර වීම පුදුමයක් නොවේ.

සාමාන්‍ය පුරවැසියෙක් දුප්පත් පවුලක දරුවෙක් බොහොමයක් අමාරුවෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කර රැකියාවක් බලාපොරොත්තු වන්නේ සෑම සියලු දෙනාම දුකින් මුදාගෙන සැපවත් ජීවිතයක් ගත කිරීමටය. නමුත් ලංකාව තුළ ඊට සුදුසු පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නිම කර ඉන් පිටත්ව සමාජගත වන විටම ඔවුන්ගේ වයස ඉක්මවා ගොස් හමාර ය. සැබැවින්ම ඔවුන් රැකියාගත වන විට අවම වශයෙන් වයස අවු: 25 හෝ 26 ක් ඉක්මවා තිබේ. මෙය දරුවන්ගේ වරදක් නොවේ. සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයේම තිබෙන්නා වූ දුර්වලතාවයකි. ඒ අතරම හොඳම විහිළුව නම් රැකියාවලට අයදුම් කිරීමේදී අදාළ ආයතනවලින් ඉහළ අවධානයක් යොමු කරන රැකියා පළපුරුද්ද සලකා බැලීම ය. මෙය බොහෝ උපාධිධාරීන් මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වී තිබේ. විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යයන කටයුතු සමග පොර බැද අවසානයේ බලාපොරොත්තු වන්නේ උසස් ආයතනයක රැකියාවක නිරත වීමටය. එහිදී අවම වශයෙන් අවුරුදු 03ක පමණ අයදුම් කරන ක්ෂේත්‍රයට අදාළව පළපුරුද්ද අනිවාර්ය සුදුසුකමක් ලෙස දක්වා තිබේ. ඒ සමගම උපරිම වයස් සීමාව අවු: 23ක් හෝ 25ක් ලෙස සීමා කර තිබේ. ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 25 යන වයස් සීමාව තුළ සිට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියකු වීම හා අවම අවුරුදු 3ක රැකියා පළපුරුද්දක් තිබීම යන කරුණු සම්පූර්ණ කළ හැකිදැයි යන්න ප්‍රහේලිකාවකි.

අපේ රටේ උපාධිධාරියකු බිහිවීමට අවුරුදු 25ක් පමණ කාලයක් ගත වුවත් ලෝකයේ බලවතුන් ලෙස පිළිගැනෙන බොහෝ රටවල අවුරුදු 25ක් වන විට දරුවෙක් උපාධි 2 -3 ක් සම්පූර්ණ කර උසස් ආයතනයක රැකියාවක නිරත වන අතරම ඔවුන් තම පවුලෙන් වෙන් වී ස්වාධීනව තම ජීවිතය ගොඩනඟා ගන්නා තත්ත්වයට පත්වී තිබේ.

මෙය ජාතික ප්‍රශ්නයකි. නූගතුන් යටතේ පාලනය වන රටක් එබැවින් අපට මුහුණ පෑමට සිදුව තිබෙන්නේ දරුණු තත්ත්වයකටය. පාර්ලිමේන්තුව තුළ සිටින නියෝජිතයින් දෙස වෙන වෙනම සලකා බැලුවහොත් අවම අධ්‍යාපන සුදුසුකමක් හෝ තිබෙන උදවිය සොයා ගැනීමට හැකි නම් එය ආශ්චර්යයකි.

රටේ උගත් බුද්ධිමත් දරු පරපුර රැකියා වෙළඳපොළ වෙත යවා රට පාලනය කරන පාර්ලිමේන්තුව වෙත යෑමට ඉඩක් නොතැබීම ඉතාම අසාධාරණය. රටක් පාලනය කළ යුත්තේද උගත් බුද්ධිමතුන් ය. විශ්වවිද්‍යාල ජීවිතය යනු රටේ සමස්ත පුරවැසියන්ටම විඳින්න නොලැබෙන අවස්ථාවකි. බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින බහුතරයක් දරුවන්ට මගහැරෙන දෙයකි විශ්වවිද්‍යාල ප්‍රවේශය. එබැවින් විශ්වවිද්‍යාලය තුළ ගත කරන කාලසීමාව නාස්තියක් හෝ අපරාධයක් ලෙස හංවඩු ගැසීම තමයි අපරාධයක් වනුයේ. රැකියා විරහිත උපාධිධාරීන් බිහිවීම හා එම අනුපාතය දිනෙන් දින ඉහළ යෑමට වගකිව යුත්තෝ දරුවන් හෝ ඔවුන් ඉගෙනීමට ගත කළ කාලය නොවේ. රටේ පාලකයින් ය.

සමන්තී වීරසේකර


advertistmentadvertistment