රට කඩා වැටුණු මොහොතේ පැන ගිය විපක්ෂය රට යළි කඩා වැටෙන තුරු බලා සිටිනවා

53

ඇමැති මනුෂ මඩකලපුවේදී කියයි

රට කඩා වැටුණු මොහොතේ දුවන සපත්තු සොයා පැන ගිය විපක්ෂය රට වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කරන එකම පුද්ගලයාගේද කකුලෙන් අදිමින් රට යළි කඩා වැටෙන තුරු බලා සිටින බවත්, රට බංකොළොත්භාවයෙන් නිදහස් වන සුභාරංචියක් එන බව පවසන විට එම පාර්ශ්ව වැඩවර්ජන, උද්ඝෝෂණ ආරම්භ කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය 28 දා මඩකලපුව හින්දු විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

මඩකපලපුවේ මිනිසුන්ගේ ඉවසීම ආදර්ශයට ගන්න ඕනේ. දේශපාලනය කරන ඔය කයියනායකලටත් එහෙම පුළුවන් වුණා නම් අර්බුදය වෙලාවේ හැංගෙන්නේ නැහැ. අර්බුද වෙලාවේ හැංගුණා. රට කඩා වැටිච්ච වෙලාවේ අර්බුද, අභියෝග භාර ගන්න කිව්වාම දුවන සපත්තුත් හෙව්වා. දුවන්නේ කොහොමද කියලා බලන්න. තමන්ගේ පත්වීම්, තනතුරු ගැන බැලුව මිසක් රටේ මිනිස්සුන්ට ආදරේ කරලා වගකීම් භාර ගත්තේ නැහැ.

මේ ජනතාවගේ කැපවීම් සහ අභියෝග භාර ගැනීම්වලින් පුතාණෝලට, කයියනායකලට ගොඩක් තියෙනවා ඉගෙනගන්න. අමාරුවෙන් රට නැගිටිද්දී මිනිස්සුන්ගේ හිත ශක්තිමත් කරන නායකයන් වෙනුවට මිනිසුන්ව වට්ටවන්න හදන නායකයෝ තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ” යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.

කරන්ට් එක නැතුව දරුවන්ට ඉස්කෝලෙ වැඩ කරගන්න බැරුව හිටියා. බස් එකේ යන්න බැරුව හිටියා තෙල් නැතුව. පාසල් දරුවෝ ගොඩක් දුක් වින්දා ඒ කාලේ. මේ පළාත්වල දරුවන්ට අවුරුදු තිහක් තිස්සේ පාසල් අධ්‍යාපනය හරියට කරන්න බැරි වුණා, මේ පළාත්වල තිබුණ යුද තත්ත්වය එක්ක. දැන් මේ වෘත්තීය සමිති ආයිත් පාරක් පාසල් වහලා සතුටු වෙනවනම්, මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා නම් අපිට තියෙන්නේ එක දෙයයි. ඒ කාලේ ලාදුරු රෝගීන් ගෙනත් දාන්න තිබුණු මඩකලපුවේ මාන්තිව් දූපතට හැමදාමත් උද්ඝෝෂණ කරන වර්ජන කරන, රටේ සංවර්ධනයට බාධා කරන ඔය කුහක කණ්ඩායමත් ගෙනත් දාලා මුනුත් නිරෝධායනය කරන්න ඕන.

නැගෙනහිරට ආවම මට ගෙදර ආවා වගේ. මෙහේ බොහොම ළෙන්ගතුකමත් දැනෙනවා. මම ගාල්ලේ එහා කොණේ වුණත් මට හිතෙනවා මඩකලපුව හරි ළඟයි කියලා. ඉතිහාසයේ තිබුණ අපේ සබඳතා ඒ ළඟකමට නෑකමට හේතු වෙනවා. ලංකාවේ ගොඩක් අය දවසකට හරි ඇවිල්ල බලන්න ආස මුහුදක්, නගරයක් තමයි මඩකලපුව. මුළු ලෝකෙම ලස්සන වෙරළකට මඩකලපුව අයිතිවාසිකම් කියනවා.

මඩකලපු සරම් තමයි දකුණේ අය ඉස්සර ඇන්දේ. මේ පළාතේ තිබ්බ මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එක ලංකාවේ කොහේ ගියත් කිව්වේ මඩකළපු මොඩල් එක කියා. මඩකළපුව කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තිබුණ නගරයක්. අපේ දකුණේ ගෙවල්වල මඩකලපුවේ ඇලුනියම් හට්ටි අඩුවක් තිබුණේ නෑ. මේ රට පිටරට එක්ක සම්බන්ධකම් පවත්වපු නගරයක්. මඩකලපුවේ චෝල රාජ්‍යයක් තිබුණා. චෝල රජු මෙහෙන් යනකොට හිරකාරයෝ දාහක් අරන් ගියා කියලා කතාවක් තියෙනවා. එයින් අවුරුදු දොළහකට පස්සේ ගජබා රජ්ජුරුවෝ එම පුද්ගලයෝ නිදහස් කරගෙන ඇවිත් මෙහි පදිංචි කළා කියලා මතයක් තියෙනවා.

පිංතූරය – මඩකළපුවේ විගමනික ශ්‍රමික දරුවන් 630කට ශිෂ්‍යත්ව

මඩකළපුවේ විගමනික දරුවන් 630කට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ පිරිනැමීම සිදු විය. ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති මනුෂ නානායක්කාර මහතා සහභාගි විය. මඩකළපුව හින්දු විද්‍යාලයේ පැවැති එම උළෙලට නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් (පිල්ලෙයාන්) ඇතුළු පිරිසක් ද එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment