රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි අත්සන් ව්‍යාපාරයක්

122

අගතියට පත් ජනතාවට වන්දි ලබාගැනීමේ ක්‍රමවේදයක් හදනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස සහ ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොළොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විසින් ඊයේ (23) කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය.

යුක්තිය වෙනුවෙන් ජනමතය අත්සන් වැඩසටහන නම් එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23 දා) උදෑසන ආරම්භ කෙරිණි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් තිදෙනෙකු සමග නීතිඥ කණ්ඩායමේ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥතුමා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් සමග ඉතාමත්ම වැදගත් නඩු කටයුත්තකට මීට පෙර දවසක ප්‍රවේශ වූ බවත් එය අභියෝගාත්මක බැරෑරුම් ක්‍රියාදාමයක් වුවත් එමගින් රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.

එසේම මේ රටේ අක්‍රමවත් අකාර්යක්ෂම දුර්වල හා දූෂිත ආර්ථික කළමනාකරණය තුළ රට බංකොළොත් වීම හා එම බංකොළොත්භාවය තුළින් මූලික අයිතිවාසිකම් කඩවීම යන මාතෘකාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය 4න් 1ක තීන්දුවක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් මණ්ඩලයේ දෙදෙනකු හැර සෙසු අය මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම තීන්දුව තුළ මුදලට ගිජු නොවූ පක්ෂයක් සහ සන්ධානයක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් මැදමූලන දූෂිත කල්ලිය විසින් ගනු ලැබූ වැරදි තීන්දු තීරණ නිසා රට බංකොළොත් වීමත් සමග ජන ජීවිත කඩා වැටුණු ලක්ෂ 220ක් වූ ජනතාවත් ව්‍යාපාරිකයන්ටත් තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ හැකියාව උදා කළ බවත් විපක්ෂ නායකයා පැවසීය.

රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි අත්සන් ව්‍යාපාරයක්

මෙම අත්සන් මාලාව තුළ විශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපිත කර ඒ හරහා රටේ උත්තරීතර නීතියට අනුව රටේ ලක්ෂ 220කගේම මුලික අයිතිවාසිකම් කඩ කළ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධිපතිවරයාට බලකිරීමක් සිදුවන බවත් නැවතත් ඔවුන්ට ඡන්දෙට ඉදිරිපත් වීම මෙන්ම ඡන්දය භාවිත කිරීමේ අයිතිය ද අහෝසි කළ යුතු බවත් හෙතෙම පැවසීය.

නගරයක් පාසා ගොස් දසලක්ෂ ගණනින් අත්සන් ලබා ගෙන මේ හරහා ජනාධිපතිවරයා තවදුරටත් රාජපක්ෂ සෙවනේ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා සහ වහලා නොවී ජනතාවගේ ආරක්ෂයා විය යුතු බවට බලකිරීමක් සිදු කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ලක්ෂ 220ක් වූ ජනතාව මහපාරට බැස මේ සඳහා අත්සන් කරමින් රාජපක්ෂවරු ආරක්ෂා නොකර ඔවුන්ගේ ප්‍රජා අයිතිය නීත්‍යානුකුලව අහෝසි කරන ලෙස ජනාධිපතිවරයාට බලකරන ලෙසයි.

එසේම රට බංකොළොත් වීම හරහා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද ස්ථාපිත කරන බවත් ඊට අමතරව හොරා කාපු අරමුදල් නැවත රටට ගෙන විත් එම පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් දේශපාලන ඩීල් නැතිව හොරු අල්ලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment