රත්නපුර සජබ ලැයිස්තුවෙන් දමිතා කැපෙයි

160

ඇය ගොඩක් කැපවීම් කළත් රත්නපුරේ කෙනකුට අවස්ථාව දුන්නා – හේෂා කියයි

සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සහ ප්‍රබලයින්ගේ විරෝධය හමුවේ ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මියගේ නම එම පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

ඇයගේ නම නොමැතිව රත්නපුර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය ඊයේ (11 දා) නාමයෝජනා භාර දුන්නේය.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරග කරන සමගි ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව එහි දිස්ත්‍රික් නායක හේෂා විතානගේ මහතා විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරි වසන්ත ගුණරත්න මහතා වෙත භාර දෙන ලදී.

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය ඊයේ උදෑසන නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ සිටි අතර පැය භාගයක පමණ කාලයක් එහි රැඳී සිටිමින් පසු ඇය නික්ම ගියාය.

එහිදී මාධ්‍යවේදීන් කළ විමසුමක දී දමිතා අබේරත්න මහත්මිය පැවසුවේ මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි.

නාමයෝජනා පත්‍ර භාර දීමෙන් පසු සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ මහතා පැවසුවේ දමිතා අබේරත්න මහත්මිය සජබ වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළත් රත්නපුර දිස්ත්‍රික්කයට කාන්තා නියෝජනයක් අවශ්‍ය නිසා රත්නපුර දිස්ත්‍රික් සජබ පළාත් පාලන මන්ත්‍රීනියන්ගේ සංසදයේ ලේකම්වරිය වන රිද්මා ධර්මවර්ධන මහත්මියට නාමයෝජනා ලබා දී ඇති බවයි.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා දිස්ත්‍රික්කයේ ජනතාවගේ දුක හඳුනන දිස්ත්‍රික්කයේ දේශපාලන කරන අය සිටින බව ද පිටතින් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බව ද ඔහු පැවසීය.

දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ අපේක්ෂකත්වය ලබා දීමට එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නායකයින් විරෝධය පළ කර ඇති නිසා ඇයගේ නම අවසන් මොහොතේ ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

කහවත්ත – සමරවීර නිරෝෂණ පෙරේරා

මට කැපිල්ල දාපු අය ගවුමක් ඇඳගත්තා නම් ඔයිට වඩා හොඳයි – දමිතා කියයි

මට කැපිල්ල දාපු අය ඔයිට වඩා හොඳයි ගවුමක් ඇඳගත්තා නම් යැයි රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය “දිවයින” සමඟ ඊයේ (11දා) ප්‍රකාශ කළාය. දමිතා මහත්මිය මෙසේ කීවේ සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට ඇයට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් “දිවයින” කළ විමසීමකදීය.

ඇය මෙසේද කීවාය.

“මම එකක් කියන්නම්. මට කරපු වැඩේ අනිත් අයටත් වෙන්න පුළුවන්. එයා කාටවත් ඉදිරියට එන්න දෙන්නේ නැහැ.

මම බන්ධනාගාරගත වුණා. ඒ වගේම ප්‍රශ්න රැසකට මුහුණ දුන්න ගැහැනියක්. මට දේශපාලනය තිත්ත වුණා. ඊට වඩා හොඳයි කලාව තුළ ජීවත් වෙනවා.

මේ ප්‍රශ්නයට මහ ලේකම් පවා වග කියන්න ඕනෑ. මාව එයාලට අභියෝගයක්. දැන් ඉතින් වෙනදා වගේම කලා නිර්මාණවල යෙදෙනවා. කලාව මට හුඟක් හොඳයි. දේශපාලනය තිත්තයි.”

නෝමන් පලිහවඩන


advertistmentadvertistment