රනිල්ගේ උපාය දිනන සජිත්ව පැරැද්දීම – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

131

සජිත් හැර විකල්ප නැහැ

අපි අපේ අනන්‍යතාවය රැක ගන්නවා

රනිල් වික්‍රමසිංහලට සියයට 15 ක් ගන්න බැහැ

රට තුළ විප්ලවීය වෙනසක් කිරීමේ වගකීම අපි භාර ගන්නවා.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ඔබ දිගු ගමනක් යන බව පෙන්නමින් තිබූ දේශපාලනඥයෙක්. නමුත් ඔබ මේ වන විට ලොකු රවුමක් ගොස් හිටපු තැනටම ඇවිත් තිබෙනවා. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – අපි අනන්‍ය වූ කණ්ඩායමක්. අපි කිසිවිටකවත් නායකයන් කරන හැමදේම හරි කියලා දෙකට නැමිලා හිටිය අය නෙවෙයි. 2019 අපි සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කළා වැඩ කළා. ඒකෙ වන්දි හැටියට හිරේ ගියා. අපි විතරයි හිරේ ගියේ. අපි අපේ අනන්‍යතාවය පවත්වාගෙන ගොස් තිබෙනවා.

ප්‍රශ්නය – එය ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන්ද ?

පිළිතුර – අනිවාර්යෙන්ම පුළුවන්.

ප්‍රශ්නය – සමගි ජන සන්ධානය තුළ එක්සත් ජනරජ පෙරමුණට ඇති බර කුමක්ද ?

පිළිතුර – අපේ බර කුමක්ද කියලා ඉදිරියේදී පැහැදිලි වේවි. රට ඉදිරියට ගෙන යන්න පුළුවන් කණ්ඩායම සිටින්නේ සමගි ජන සන්ධානය තුළ. අපට මඩ ගහන්න දේශපාලන පාතාල ලෝකයෙන් මඩ එල්ල කළත් අපි 2007 සිට අමාත්‍යාංශ කර වාර්තා තැබූ අය. අපි කරපු හැම අමාත්‍යාංශයක්ම වංචා දූෂණයෙන් තොරව ඉහළට ඔසවා තිබෙනවා. සෑම අමාත්‍යාංශයකම බැරෑරුම්, බලගතු ව්‍යාපෘති අප සිදු කර තිබෙනවා. එහෙම ට්‍රැක් රෙකෝඩ් එකක් අනිත් පක්ෂවල සිටින කාටවක්වත් නැහැ.

ප්‍රශ්නය – ඒ නිසාම චම්පික රණවකට බොහෝ දෙනා බයයි.

පිළිතුර – ජාවාරම්කාර පන්තිය අපිට බයයි. ඒ නිසාම පසුගිය ඡන්දයේදී මාව පරාජය කරන්න ඔවුන් ඔවුන්ගේ මුදල් බලය පාවිච්චි කළා.

ප්‍රශ්නය – ඇත්තටම මම ඒ ප්‍රශ්නය ඇහුවේ ජාවාරම්කාර පංතිය නිසාම නොවෙයි. ඔබ පිවිසෙන කණ්ඩායම තුළ ඔබ සම්බන්ධයෙන් තියෙන්නේ ‘ පාඨලී ඇවිත් බලය අල්ලාවිද දන්නේ නෑ ‘ කියන හැඟීම. ඔබට එහෙම විභවයක් තිබෙන බව බොහෝ දෙනා දන්නා කාරණයක්.. එවැනි තත්ත්වයක් තුළ ඔබට ඉදිරියට ඒමට ඇති අවස්ථා හැකිලෙනවා නොවේද ?

පිළිතුර – මට ඕන මං ඉස්සරහට එන්න නෙවෙයි. අපට පරම්පරාවක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය මතුවූ කුසලතා පූර්ණ පරම්පරාවක් අපට ඉන්නවා. ඒ ක්‍රියේටිව් ක්ලාස් එක බලයට ගේන්න තමයි අපි කටයුතු කරන්නේ.

ප්‍රශ්නය – මේ වගේ තැනක ඉඳලා ඒක කරන්න පුළුවන් වේවිද ?

පිළිතුර – හැම දේකටම පවතින තත්ත්වය තේරුම් ගන්න ඕන. රට තියෙන තත්ත්වය අනුව හොඳම දේවල් කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි තිබෙන්නේ. මිනිස්සු කරන්න ඕනේ අවස්ථාවට අනුව ගැලපෙන හොඳම දේ. අනාගතයේ තිබෙන හොඳම දේ නෙවෙයි කරන්න ඕන.

2022 ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ණය හිමියන්ට රට හිලව්වට දුන් පසු දැන් රටට රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයක් අවශ්‍යව තිබෙනවා. කරුණු දෙකක් මත එය යම් ප්‍රමාණයකට රනිල් වික්‍රමසිංහ මහත්මයා කර තිබෙනවා. පළමුවැන්න අපේ ණය ගෙවීම අවුරුදු දහ අටකට මතු පරපුරට භාර දී තිබෙනවා. ඒවගේම එම බර සාමාන්‍ය ජනතාවට බදු වශයෙන් පටවා තිබෙනවා. එසේ වුවත් මෙම බංකොලොත්භාවයට ජාවාරම්කාර පන්තියට ඔහු අත තබා නැහැ. ඒවගේම පාතාල දේශපාලනය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් ඒ විදිහටම කරගෙන යනවා.

එම නිසා අද රටට රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය රැකගෙන ණය ගෙවිය හැකි ආර්ථික වර්ධනයක් ලබා, බදු බර ජනතාව පිට නොපටවා ගෙන යන ක්‍රමවේදයක් අවශ්‍යව තිබෙනවා. තාක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය ආදායම දෙගුණ කරන්නේ කෙසේද යන්න. ඒ සඳහා ක්‍රමවේදය අප යෝජනා කර තිබෙනවා. එවැනි ක්‍රමවේදයක් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය හෝ ජාතික ජන බලවේගය සතුව නැහැ. අපි එය ඉතා හොඳින් විධිමත් ලෙස හදාරා එය ඉදිරිපත් කර තිබෙනවා. රට නගාසිටුවන්න මෙවැනි ක්‍රමවේදයක් අපට ඉතා අත්‍යවශ්‍යයි.

රනිල් වික්‍රමසිංහ පාර්ශවය සමග ඉදිරියට ගියහොත් අපට සිදුවන්නේ බදු බර තව තව ඉහළ නන්වා රටේ ජනතාව පීඩාවට පත් කිරීමටයි. ජාතික ජන බලවේගය සමග ඉදිරියට ගියහොත් විප්ලවකාරී පරිවර්තනයක් කිරීමට ගොස් මේ තිබෙන ස්ථාවරත්වයත් බිඳ ගන්නවා. මාස හත අටක් ඇතුළත වෙන්න ඕන දේවල් සේරම වේවි. කෙටියෙන් කියනවා නම් වෙනිසියුලාවට වුණ දේ අපටත් වේවි. එහෙම වෙන්න දෙන්න අපට බැහැ.

ප්‍රශ්නය – දැන් ඔබ හිතන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරාවි කියලද ?

පිළිතුර – වෙන විකල්පයක් මේ රටට නැහැ. අලුත් ජාතික අරගලයට මුල පුරන්න වෙන්නේ මෙතනින්. මෙය ජාතීන් බෙදී කළ හැකි අරගලයක් නෙවෙයි. ස්වෛරීභාවය එකට දිනාගත යුතු දෙයක්. ඊට අවශ්‍ය මූලාරම්භක බීජය තමයි මෙතන තිබෙන්නේ.

ප්‍රශ්නය – දෙස් විදෙස් බුද්ධි අංශ වාර්තා අනුව ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවට ඇතැමුන් කියනවා. එවැනි තත්ත්වයක් තුළ සජිත් රනිල් පිල් දෙකකට බෙදී තරග කිරීම ජයග්‍රහණය බොහෝ ඈතට ගෙනයන්නක්. බෙදී වෙන්ව සිට ජාතික ජන බලවේගය පරාජය කරන්නේ කෙසේද?

පිළිතුර – ඔය බුද්ධි අංශ වාර්තා පට්ටපල් බොරු. රටේ බුද්ධි අංශය යම් සමීක්ෂණයක් කරන්න ගියත් එය රනිල් වික්‍රමසිංහ මහතා නවතා දැමුවා. අනෙක් සමීක්ෂණ වාර්තා බොහෝමයක් විද්‍යානුකූල සමීක්ෂණ වාර්තා නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පසුගිය ඡන්ද කොපමණද කියලා අපි දන්නවා. ඔවුන්ට ඡන්දයක් ලැබෙනවා නම් ලැබෙන්නේ නවක ඡන්දදායකයන්ගෙන් සහ පොහොට්ටුවෙන් බිඳී ගිය කොටසකින් පමණයි.

සජිත් ප්‍රේමදාස මහතා සහ පොහොට්ටුව අතර ලොකු වෙනසක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙලාවේ අනුගමනය කරන්නේ ඔසී අබේගුණසේකරගේ කාර්යභාරය. ඒ තමයි දිනන්න ඉන්න කෙනාව පරාජය කරන එක.

ප්‍රශ්නය – ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාව පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව.

පිළිතුර – ඔය කරගෙන යන වැඩෙන් වෙන්නේ එයයි. රනිල් වික්‍රමසිංහලට සියයට 15 ක් වත් ගන්න බැහැ. එවැනි තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා මේ කරගෙන යන වැඩෙන් වාසිය ලැබෙන්නේ අනුර කුමාර දිසානායකට. ඔහු සමග රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන සම්බන්ධයක් තිබෙනවා.

ඔවුන් අතර දේශපාලන සබැඳියාවක් තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධනගේ උපාය මාර්ගයත් ඕක තමයි. ඔසී අබේගුණසේකර ආවේත් වමින්. වමින් ඇවිත් තමයි මැතිනියගේ ජයග්‍රහණය වැළැක්කුවේ. මෙතනදී රනිල් කරන්නෙත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ඡන්ද ප්‍රමාණය අයින් කරන එක. නමුත් අවසානයේ හිටගන්නවා. විශේෂයෙන් පොදුජන පෙරමුණ ඡන්දදායකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබගේ ඡන්දය අපතේ යවාගන්න එපා කියලයි.

ප්‍රශ්නය – සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් රට කරගෙන යෑමේ හැකියාව තිබෙනවාද?

පිළිතුර – ඔහු එන්නේ තනියම නෙවෙයි. ඔහුත් සමග හොඳ කණ්ඩායමක් ඉන්නවා.

ප්‍රශ්නය – සජිත්ගේ කණ්ඩායම අනිත් කණ්ඩායම් වලින් වෙනස් වන්නේ කොහොමද ?

පිළිතුර – රටේ සිව්කොන බලගතුම නියෝජනය තිබෙන්නේ සජිත්ට. අන්තර්ජාතිකව වැඩකර පළපුරුද්ද සහිත කණ්ඩායම ඉන්නේ ඔහු සමග. ඒවගේම අමාත්‍යංශ කර අමාරු තැන් ගොඩදාපු පිරිස ඉන්නේ ඔහු ළඟ.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි ඉඩකඩක් ඇති බව මත පළ වෙනවා. ඇත්තටම ඔවුන්ට රටේ නව වෙනසක් කිරීමට හැකියාවක් නැත්තේ නෑ නේද ?

පිළිතුර – ඔවුන්ට වෙනසක් කිරීමට තරම් ශක්තියක් දැනුමක් නැති බව ඔවුන්ගේ කතාවලින් පහුගිය කාලේ හොඳින් පෙනුණා. පරන්තන්වල කර්මාන්තශාලා ඇති කරන්න යන්නේ සල්ෆියුරික් ඇසිඩ් සහ හයිඩ්‍රොක්ලෝරි ඇසිඩ්වල වෙනස දන්නේ නැතිව. ටෙක් සිටි පොල් ගෙඩි 4000ක් නැති වෙනවා කිව්ව අය තමයි දැන් ටෙක් සිටි ගැන කතා කරන්නේ. ඒ වීසා සහ ඒ පාස්පෝට් අතර වෙනස දන්නැති කෙනෙක් තමයි මුදල් ඇමැති වෙන්න යන්නේ. ඔවුන් තේරුමක් ඇති පිරිසක් නෙමෙයි. සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න නම් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ යුතුයි. රට තුළ විප්ලවීය වෙනසක් කිරීමේ වගකීම අපි භාරගන්නවා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර


advertistmentadvertistment