ලංකා වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ ළාබාලතම මහැදුරුවරයා කායික රෝග විශේෂඥ චාමර ලක්මාල් දළුගම

417

අපේ පවුලේ වැඩිහිටියෝ කිසි කෙනෙක් දොස්තර කෙනෙක් වෙලා නෑ. මම පුංචිම පුංචි කාලේ හරිම ආසයි දොස්තර කෙනෙක් වෙන්න… ගමේ අපි සෙල්ලම් කරද්දි වුණත් ඉස්කෝලෙ නාට්‍ය රඟපාද්දී වුණත් මම රඟපෑවේ දොස්තර කෙනෙක් විදිහට. පුංචිම පුංචි කාලේ ඉඳලා පොරමඩුල්ල ගමේ වෙල් එළියේ කැලෑ රොදේ ගත කරපු ළමාවිය මනසට ලබා දුන්නේ පුදුම සැහැල්ලුවක්. මම හිතනවා මේ තරම් දුර ගමනක් යන්න මට පිටිවහල් වුණේ මගේ ළමා කාලෙ මම වින්ද අත්දැකීම් කියලා…”

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා ලෙස 2022 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නමක් තැබූ දළුගම ආරච්චිගේ චාමර ලක්මාල් දළුගම වෛද්‍යවරයා අප සමඟ එසේ කීය.

වෛද්‍ය ශිෂ්‍යයෙක් එක වසරකදී රන් පදක්කම් නවයක් ශිෂ්‍යත්ව සහ සම්මාන පහළොවක් ලබා ගත් ප්‍රථම අවස්ථාව හිමිකරගෙන තිබුණේ ද ඔහු විසින් ය. ඒ 2013 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේ දී ය. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසත් සේවය කරන චාමර ලක්මාල් දළුගම මහතා ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය රටවල ද ඇගයීමට ලක් වූ අයෙකි.

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්වරයා ලෙස ද සායනික රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණායතනයේ සම්බන්ධීකාරකවරයා ලෙසද කටයුතු කරන මහාචාර්ය දළුගම මහතා බෝවන රෝග පිළිබඳව සහ බෝ නොවන රෝග පිළිබඳව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් ද සිටී.

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍යායතනයේ ලේකම්වරයා ලෙස ද සායනික රෝග පිළිබඳ අධ්‍යයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණ ආයතනය සම්බන්ධ කාරක ලෙස ද ඔහු මේ වන විට කටයුතු කරයි.

අධික රුධිර පීඩනය සම්බන්ධයෙන් පොත්පත් රචනා කර ඇති මහාචාර්ය චාමර පශ්චාත් උපාධි ශිෂ්‍යයන් සඳහා අධ්‍යනයන් පහසු කරන වීඩියෝ සහිත පාඩම් මාලාවක් youtube චැනලය සඳහා මුදා හැරීමට ද කටයුතු කර තිබේ.

ලංකා වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ ළාබාලතම මහැදුරුවරයා කායික රෝග විශේෂඥ චාමර ලක්මාල් දළුගම

ඔහු සිය ළබැඳියන් සමග බාල විය සිහි කළේ මෙලෙස ය. මම ඉපදුණේ 1987 පෙබරවාරි 21 වැනිදා. නාලිනී චම්පිකා වන මගේ අම්මා විශ්‍රාම ගුරුවරියක්. විශ්‍රාමික බැංකු කළමනාකරුවකු වන මගේ පියා දයානන්ද දළුගම. මගෙ තනි නොතනියට පුංචි කාලේ මගේ ළඟ හිටියේ මගෙ නංගි.

පොරමඩුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු විශිෂ්ට ශිෂ්‍යත්ව ප්‍රතිඵල සමග පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත් වන්නේ අපොස සාමාන්‍ය පෙළ හැදෑරීමට ය. එහිදී ඒ දහයක් සහිතව 2003 වසරේ පාසලේ සිසුන් අතරින් සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට ඔහු සමත් වන්නේය.

උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරීම සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වූ චාමර ලක්මාල් දළුගම 2006 වසරේදී විද්‍යාලීය විශිෂ්ට උසස් පෙළ ප්‍රතිඵල ලබා ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකර ගත්තේය.

එතැන් සිට ආරම්භ වූ විශ්වවිද්‍යාල ජීවිතය චාමරට හිමිවූයේ ජයග්‍රහණ පමණක්මැයි කීවාට වරදක් නැත. සිව් වසරක විශ්වවිද්‍යාල ජීවිතයේ සෑම වසරකදීම විෂයයන් 13 ට විශිෂ්ට සාමාර්ථ හිමිකර ගැනීමේ හැකියාව ලත් චාමර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉතිහාසයේ වෛද්‍ය පීඨ සිසුවෙකුට ලැබිය හැකි රන් පදක්කම් නවයක් සහ ශිෂ්‍යත්ව හා සම්මාන පහළොවකට හිමිකම ලබන්නට ද සමත් විය. වෛද්‍ය සිසුවෙක් ලෙස ඔහුට රන් පදක්කම් හිමිවූයේ වෛi විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, පළමු හා දෙවන කොටස් ප්‍රසව හා නාරිවේද විද්‍යාව ළමා රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාව ව්‍යාධිවේද විද්‍යාව, කායව්‍යවච්ඡේද විද්‍යාව සහ වෛi පීඨයේ හොඳම වෛද්‍ය ශිෂ්‍යයා ලෙස ඇගයීමෙනි.

2013 වසරේ දී ලංකාවේ සියලුම වෛද්‍ය විද්‍යාලවල උපාධිධාරීන් අතුරින් හොඳම ශිෂ්‍යයා ලෙස පළමු ස්ථානය ලබා ගත් චමර වෛද්‍ය සිසුන් 1096 දෙනෙකුගෙන් ප්‍රථමයා ලෙසද රන් පදක්කම් හිමිකර ගෙන තිබේ.

2014 වසරේ කොළඹ ජාතික රෝහලේ මහාචාර්ය ඒකකය සහ ශල්‍ය සහ කායික වෛද්‍ය ඒකකයන්හි සීමාවාසී පුහුණුව ලැබූ චාමර 2016 වසරේදී විශ්වවිද්‍යාල වෛද්‍ය දෙපාර්තමේන්තුවට එක්ව කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය. 2017 -2018 වසරවලදී පශ්චාත් උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් හදාරා අවසන් කළ චාමර කායික රෝග පිළිබඳ ආචාර්ය උපාධිය ද එම වසරේදීම ලබා ගත්තේය.

මෙයට පෙර අවස්ථාවක ඊට ආසන්න රන් පදක්කම් හා සම්මාන ලබාගත් වෛද්‍ය ශිෂ්‍යයා වූයේ චතුරිකා දන්දෙණිය ය. ඇයද පොරමඩුල්ල ඉපිද චාමර අධ්‍යාපනය ලැබූ පොරමඩුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සිසුවෙකි. සිය දක්ෂතා තවදුරටත් ඔප් නංවමින් පශ්චාත් උපාධි පුහුණුව සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ජෝන් රැඩ්ක්ලිෆ්ට් රෝහල වෙත ගියේය

බි්‍රතාන්‍ය රාජකීය කායික රෝග වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්නට තරම්ම සුවිශේෂි දක්ෂතා දැක් වූ චාමර ලන්ඩන්, ග්ලාස්ගෝ, එඩින්බර්ග් යන ස්ථාන තුන හිදීම කායික රෝග වෛද්‍යවරුන්ගේ සාමාජිකත්වය ලබා ගත්තේය. තවද අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ කායික රෝග පිළිබඳ සහ වැඩිහිටි රෝග පිළිබඳ ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අදාළව එහිදී විශේෂ උපාධි තුනක් හැදෑරීමට ද ඔහුට අවස්ථාව හිමිවන්නේ ය. එඩින්බර්ග් කායික රෝග වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ලබාදෙන ඉහළම පශ්චාත් උපාධි සුදුසුකමක් වන ගෞරව නාමය ද ඇමරිකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ද 2022 වසරේ හිමිකරගැනීමට තරම්ම චාමර දක්ෂයෙක් වන්නේය.

චාමර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තමන් උගත් රටට සිය යුතුකම් ඉටු කිරීම සඳහා ය. එවිට ඔහුගේ වයස අවුරුදු 34 කි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සහ පේරාදෙණිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාරගන්නා චාමර ලක්මාල් දළුගම ශ්‍රී ලංකාවේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා ලෙස මහාචාර්ය පදවිය ද හිමිකර ගන්නේ එවකටය. රෝගීන් දහස් ගණනකගේ ජීවිත රැකගැනීම සඳහා කාලය, ශ්‍රමය කැප කරන මහාචාර්ය චාමර අනාගත පරපුරට ආදර්ශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment