ඉස්සර කන්තෝරු නෝනලා මහත්තුරු රස කර කෑ ‘බයිසිකලේ බත්’

832

බයිසිකල් බත්කරුවන් අද දකින්නට නැති තරම්…
ඒ වෙනුවට සුපිරි අවන්හල්වලින් කෑම බෙදාහරින යතුරුපැදි
නවකතා හා කෙටි කතාවලටත් මාතෘකාවක් වෙලා
ඒ කාලයේ කෑඹ පිඟානක් රුපියල් පහයි

හැට, හැත්තෑව දශකයේ කොළඹ නගරය හෝ වෙනත් ප්‍රධාන නගරයක දහවල් දර්ශනය පිළිබඳ මතකය ඇත්තෙකුට, දහවල් දහයට එකොළහට පමණ නගරයේ වීදි ඔස්සේ ඊයක වේගයෙන් බයිසිකල් පැද ගිය පිරිසක් පිළිබඳව මතක තිබෙන්නට පුළුවන.

සාමාන්‍ය පාපැදියක පිටුපස සවිකළ ශක්තිමත් පුළුල් ලැගේජයක අඟල් දෙකෙන් දෙකට පරතරය ඇතිව ලෑලි පටි ගැසූ උස පෙට්ටියක් එහි සවිකර තිබිණි.

සමහරුන් ඔවුන් හැඳින්වූයේ ‘බයිසිකල් බත්කාරයා’ යනුවෙනි. තවත් එවැනි නම් කීපයක් ඔවුනට පටබැඳී තිබිණි.

බොහෝවිට මෙවැනි පුද්ගලයකුගේ උඩුකය වැසුණේ අත් දිග සුදු මේස් බැනියමකිනි. සමහරු සුදු හෝ පාට සරමක් ඇන්දාහ. තවත් සමහරුනගේ ඇඳුම වූයේ කොට කලිසමකි.

සමහරු තනි තනිව මෙම වෘත්තියෙහි නිරත විය. සමහර මුදලාලිලා යටතේ බයිසිකල්කරුවන් හත්අට දෙනෙක් සේවය කළහ.

එකල මෙම බත්කාරයන්ගේ සේවය ආරම්භ වන්නේ දහවල් දහයට දහයමාරට පමණය. තම සේවා වපසරියේ අවසානම නිවස වෙත යන ඔහු නිවසේ ගේට්ටුව අසල නතර වී බයිසිකලයේ සීනුව හඬවයි. ඒ වනවිට නිවසේ බිරිඳ තම සැමියා, පුතා හෝ සහෝදරයා වෙනුවෙන් දවල් බත උයා අවසන්ය. බොකුටු බෙලෙක් පිඟානකට බත් සහ ව්‍යාංජන බෙදා එම බෙලෙක් පිඟාන තවත් බොකුටු බෙලෙක් පිඟානකින් වසා පිරිසිදු සුදු පැහැ රෙදි කඩකින් ඔතා එහි සතර කොන්, කොන් දෙක බැගින් එකට අල්ලා තදින් ගැටගසනු ලැබේ.

ඒ සමගම ආහාර බඳුන ලැබිය යුත්තාගේ නම සහ සේවා ස්ථානය ලියූ ඝන කඩදාසි කැබැල්ලක් ආයා කටුවකින් රෙදිකඩෙහි රඳවනු ලැබේ. මෙසේ නිවසින් නිවසින් ලැබෙන ආහාර බඳුන් ලෑලි පෙට්ටියෙහි පරිස්සමට රඳවාගනු ලැබේ. එහිදී ආහාර බඳුන් පෙට්ටියේ මුලින්ම භාරදිය යුතු කෑම බඳුන පිහිටනසේ තබාගැනීමට බයිසිකල්කරුවන් පරිස්සම් වෙති.

එකල මෙම බයිසිකල් බත්කරුවන්ගේ අපූරු සහයෝගිතාවයක් ද විය.

කොටහේන, අලුත් මාවත, මෝදර, ප්‍රදේශයේ බත් පිඟන් එකතුකරගෙන එන බයිසිකල්කරුවන් බත් පිඟාන වැඩිපුර බෙදීමට ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයෙහි නම්, බොරැල්ල, මරදාන ප්‍රදේශයේ බෙදීමට ඇති බත් පිඟන් ඒ ප්‍රදේශයට යන බයිසිකල්කරුවකුට භාරදෙයි. ඔහු ළඟ ඇති කොල්ලුපිටිය ප්‍රදේශයේ භාර දීමට ඇති ආහාර බඳුන් ඔහු ලබාගනී.

මෙම අපූරු වෘත්තීය සහයෝගීතාවය දෙදෙනාටම වාසි ගෙන එන ලදී. එමෙන්ම අන් බයිසිකල්කරුවකුගෙන් ලබාගන්නා බත් පිඟාන ද තමන්ගේ එකක් මෙන් වගකීමෙන් බෙදාහැරීම එකම ඔවුන්ගේ සිරිත විය.

ඉස්සර කන්තෝරු නෝනලා මහත්තුරු රස කර කෑ 'බයිසිකලේ බත්'

මෙලෙස කොළඹ විවිධ මාර්ග ඔස්සේ පැමිණෙන බයිසිකල්කරුවන් නිශ්චිත එක් එක් ස්ථානවලදී මුණගැසී තමන් ගමන් ගන්නා මාර්ගවල බෙදීමට ඇති වෙනත් බයිසිකල්කරුවන්ගේ ආහාර භාජන ලබාගෙන, තමන් සතුව ඇති ආහාර භාජන වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් ගන්නා බයිසිකල්කරුවකුට භාරදෙන සිරිතක් විය. බොහෝවිට ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ වැඩිපුර වාහන තදබදයක් නැති ගස් හෙවනක් ඇති පාරක් අද්දරය. විහාරමහාදේවි උද්‍යානය අසල පාරවල් එවැනි එක් තැනක් විය.

මෙලෙස ලබාගන්නා ආහාර බඳුන් එහි සඳහන් කර ඇති සේවා ස්ථානයේ කෑම ගන්නා ස්ථානයේ තැන්පත් කිරීම ඔවුන්ගේ සිරිතය. දහවල් කෑම වේලාව එළඹි විට එක් එක් පුද්ගලයා පැමිණ තමන්ට නියමිත ආහාර බඳුන ගෙන ලිහා අනුභව කර නැවත ගැටගසා කෑම කාමරයෙම තැන්පත් කරති. දහවල් දෙක පමණ වනවිට, නැවත එන බයිසිකල්කරුවෝ හිස් බඳුන් ගෙන, උදෑසන සිදුවූ ආකාරයට නැවත ඒ ඒ නිවෙස්වලට භාරදෙති. සමහරවිටක බත් භාජනය අයිතිකරුවාට බයිසිකල්කරුවා ආපසු එන වෙලාවට ආහාර ගැනීමට නොහැකිවී නම් පසුව ආහාර ගෙන කාර්යාලයේ වැඩකටයුතු අවසන්වී ආපසු යනවිට හිස් භාජනය නිවසට ගෙන යෑම සිදු කරයි. මෙලෙස නිවසේ සිට කාර්යාලය දක්වා කෑම භාජනය ගෙන යෑම සහ ආපසු නිවස දක්වා ගෙන ඒමට එක ආහාර බඳුනකින් මාසයකට අයකරන ලද්දේ රුපියල් පහක් වැනි සුළු මුදලකි. නමුත් රුපියල් පහක් යනු ඒ කාලයේ හැටියට සැළකිය යුතු මුදලකි.

කාර්යාල ආපනශාලා මෙන්ම කාර්යාල සමීපයෙහි හෝටල් නොතිබූ සමයක බයිසිකල් බත්කාරයන්ගෙන් සුවිශේෂ සේවයක් සිදුවිය. මෙනිසා නිවසේම පිළියෙළ කළ ආහාරය තරමක් උණුසුමක් ද ඇතිව භුක්ති විඳීමේ වාසනාව කාර්යාලවල ලිපිකරු පන්තියේ අයට හිමි විය.

සම්මානනීය නවකතාකරුවකු සහ අතිදක්‍ෂ රූපවාහිනි තිර කතා රචකයකු වූ සෝමවීර සේනානායක මහතා කලකට පෙර මෙම බත් බයිසිකල්කරුවන් පිළිබඳ මෙවැනි විස්තරයක් කළේය.

“ඒ කාලෙ ලේක් හවුසියටත් ඔය වගේ බත් අරගෙන බයිසිකල්කාරයෝ ආවා. ලේක් හවුසියේ සුබ සාධක අංශයෙන් පොඩි කාර්ඩ් එකක් දීලා තිබුණා. එම කාර්ඩ් එකේ සේවකයා සේවය කරන අංශයයි. සේවකයාගේ නමයි සටහන් කරලා තිබුණා. ඒ කාඩ් එක තමයි කෑම එවන තමන්ගෙ ගෙදරින්, එහෙම නැතිනම් බෝඩිමෙන් නැතිනම් බත් අම්මගෙ ගෙදරින් කෑම පිඟාන එවන රෙද්දෙ දවටන්නෙ” සෝමවීර සේනානායක මහතා එදා පැවසුවේ ලේක්හවුසියේ සුබ සාධක අංශය, සේවකයන්ගේ ආහාර බඳුන් මාරු නොවීමට කටයුතු කළ ආකාරය පිළිබඳවය.

දහවල් දහයට එකොළහට ගෙවල්වලින් කෑම භාජන ඉල්ලගෙන ඔවුන් එක එක පාරවල්වලින් ඇවිල්ල නියමිත එක් තැනකදී එකතුවෙනවා. එතැන හරියට මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානය වගේ. මධ්‍යම තැපැල් හුවමාරු ස්ථානයට විවිධ ප්‍රදේශවලින් එන ලියුම්, නැවත එක් එක් ප්‍රදේශයට තෝරලා යවනවා වගේ. මෙතැනදි එක එක පාරට බෙදන්න තියෙන කෑම භාජන හුවමාරු කරගන්නවා. මේ වගේ බත් භාජන හුවමාරු කරගන්නා ස්ථාන කොළඹ නගරයේ කීප තැනකම තිබුණ දශක කීපයකට එහා ක්‍රියාත්මක වූ බයිසිකල්කරුවන්ගේ බෙදාහැරීමේ යාන්ත්‍රණය සෝමවීර සේනානායක මහතා විස්තර කළේ එසේය.

වෙනත් කාර්යාලවල ඇතුළට ගොස් කෑම භාජන තබා ආපසු පැමිණියත් ලේක් හවුසියේ එවැනි ඉඩක් නොවීය.

බත්කාරයන්ට ලේක් හවුසියේ ඇතුළට එන්න ඉඩක් තිබුණෙ නැහැ. ලේක් හවුසියේ පිටුපස්සෙ වාහන නවත්වන පැත්තෙන් ඇවිල්ලා නතර වෙන්න ඕනෙ. එතකොට පියන්ලා දෙන්නෙක් ඇවිල්ලා කෑම භාජන බයිසිකල්කරුවන්ගෙන් අරගෙන ගිහිල්ලා කෑම කාමරයේ තියෙන රාක්කවල තියනවා. කෑම අයිතිකාරයා කෑම කාලා ආපහු රාක්කෙම තියෙනවා හවස බයිසිකල්කාරයා ආවම ආපහු අර භාජන ගිහින් දෙනවා. බයිසිකල්කාරයා ඒ හිස් භාජන ලියුම් බෙදනවා වගේ ආපහු නියමිත ගෙවල්වලට භාරදෙනවා. බත්කාරයන්ගේ ක්‍රියා පිළිවෙත එසේ සවිස්තරව දැන සිටියත් සෝමවීර සේනානායක මහතා එවැනි බයිසිකල් බත්කරුවන්ගෙන් ගෙනා බත් අනුභව කළ අයකු නොවීය.

ඔය කියන කාලවල මම තනිකඩයනේ. ඒක නිසා මට බත් එවන්න කෙනෙක් හිටියෙ නැහැ. සත පනහේ බත් එක තමයි කඩවලින් කෑවෙ. සෝමවීර සේනානායක මහතා පැවසුවේ සිනහසෙමිනි.

කොළඹ නගරයේ නිවෙස්වල නේවාසිකව සිටි කාර්යාල ලිපිකාර මහත්වරුන්ට එලෙස බත් සැපයූ බත් අම්මා කෙනකු පිළිබඳ ලියූ ‘භවතු සබ්බ මංගලම්’ යන කෙටි කතාවක් සෝමවීර සේනානායක මහතාගේ ‘සුද්දා පරාදයි’ කෙටිකතා සංග්‍රහයෙහි ඇතුළත්ව ඇත.

වැඩිවියට පත්වූ දියණිවරුන් ලවා නේවාසිකයන්ගේ කාමරවලට ආහාර බඳුන් යවා ඔවුන් කාර්යාල ලිපිකරුවකුට විවාහ කර දීම පිළිබඳව එම කෙටි කතාවෙහි විස්තර වෙයි.

එවකට කොළඹ නගරයේ බෙහෙවින් ව්‍යාප්තව පැවතුන මෙම බයිසිකල් බත්කරුවන් පිළිබඳව එම කාලයේ අපූරු චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය විය.

ඒ ‘බයිසිල් හොරා’ ය.

චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේ එවකට බොක්ස් ඔපීස් වාර්තා තැබූ චිත්‍රපට කීපයක්ම අධ්‍යක්‍ෂණය කළ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාය. ඔස්වල්ඩ් ජයසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, ඩී. ආර්. නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති, දොන් සිරිසේන වැනි නළු නිළියන් ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ රඟපෑවෝය.

විවිධ වංචාකර ජීවත් වෙන පියකුගේ චරිතය ඩී. ආර්. නානායක්කාර එම චිත්‍රපටයේ රඟපෑවේය. එම චිත්‍රපටයේ ඔහුගේ දියණිය ලෙස රඟපෑ ජීවරාණිගේ උපදෙස් අනුව එම ජීවිතය අතහැර බයිසිකලයකින් බත් බෙදා දෙන පුද්ගලයකු ලෙස ජීවිතය ගොඩනගා ගන්නා අන්දම ‘බයිසිකල් හොරා’ චිත්‍රපටයේ විස්තර වෙයි.

හැටේ දශකයේදී කොළඹ නගරයේ කාර්යාලවලට පමණක් නොව, ප්‍රධාන පෙලේ පාසල්වලට ද මෙම බයිසිකල් බත්කරුවන්ගේ සේවාව සැපයුන බව ප්‍රවීණ ගමන් විස්තර සාහිත්‍ය නිර්මාපකයකු වූ නීල් විජේරත්න පවසයි.

ඒ කාලෙ හුඟාක් පාසල් උදෑසන අටේ සිට හවස තුන වෙනකම් පැවැත්තුවා. දහවල් දොළහේ ඉඳල එක වෙනකම් කෑම විවේකයක් තිබුණා. මම කොළඹ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ, මෝදර, කොටහේන පැත්ත ඉඳල පැමිණෙන ළමයින්ට ඔය බයිසිකල්කැවන් බත් ගෙනැත් දුන්නා මතකයි නීල් විජේරත්න තම පාසල් සමය සිහිපත් කරමින් පැවසීය.

නීල් විජේරත්න පවසන ලෙස මෙලෙස බත් ප්‍රවාහනය කිරීමේ ක්‍රමය ඉන්දියාවේ ඉතාමත් ප්‍රචලිතය. ටිපින් කැරියර් සේවය කරන අය ඉන්දියාවේ හැඳින්වෙන්නේ ‘දබ්බවාලා’ යනුවෙනි.

ඉන්දියාවේ මෙම දබ්බවාලා සේවය හා සබැඳුන අපූරු හින්දි චිත්‍රපටයක් කලකට ඉහත නැරඹීමට මෙම ලියුම්කරුට හැකි විය.

චිත්‍රපටයේ නම ‘ලන්ච් බොක්ස්’ය.

එහි මෙම ලියුම්කරු ඇතුළු බොහෝ දෙනකු ප්‍රිය කරන ඉතාමත් දක්‍ෂ නළුවකු වූ ඉර්ෆාන් ඛාන් (මියගිය) එහි රඟපාන ලදී. එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ නිම්රත් කොවුර්ය. රිතේෂ් බත්‍රා අධ්‍යක්‍ෂණය කළ ‘ලන්ච් බොක්ස්’ හින්දි චිත්‍රපටය නිෂ්පාදනය කළේ සභානම් අල් අත්ය.

ඉර්ෆාන් ඛාන් බිරිඳ මියගිය විශ්‍රාම යෑමට ආසන්න කාර්යාල නිලධාරියකුගේ චරිතය රඟපායි. සැමියා විසින් ගණන් නොගන්නා වූ බිරිඳගේ චරිතය නිම්රත් කොවුර් රඟපායි.

දිනක් ඇය රසවත් කෑමක් පිළියෙළ කර එම ආහාර බඳුන සමග ලිපියක් ද එකතුකර ‘දබ්බවාලා’ කෙනකුට භාරදෙයි. නමුත් වැරදීමක් නිසා එය ලැබෙන්නේ ඇයගේ සැමියාට නොව ඉර්ෆාන් ඛාන්ටය. ඔහු එම ආහාර බඳුන අනුභව කර පිළිතුරු ලිපියක් ද යවයි. මෙලෙස ටික කාලයක් ආහාර බඳුන් සමග දෙදෙනා ලිපි ද හුවමාරු කර ගනිති. අවසානයේ ඇය, මෙම ලිපිය ලියන්නේ තම සැමියාට නොවන බව වටහා ගනී. ඔහුගේ කාර්යාලයේදී දෙදෙනා මුණගැසීමට තීරණය කර ගනිති. ඇය ඔහු මුණගැසීමට පැමිණි විට ඔහු ඇය දෙස බලා සිට ඇය මුණනොගැසී ආපසු යයි.

ඉර්ෆාන් ඛාන් රඟපෑ ‘ලන්ච් බොක්ස්’ චිත්‍රපටයේ ආහාර බඳුන් සමග හුවමාරු වන ලිපි පිළිබඳව වූ කතාව රසවිඳි පසු මට සිහි වූයේ මා කලකට පෙර කියවූ නවකතාවක්මය. ඒ ටී. බී. ඉලංගරත්නගේ ‘තිලක හා තිලකා’ය. තිලක විවාහයෙන් පසු රැකියාවට ගිය පළමු දිනයේ තිලකා, දහවල් බත් බඳුන සමග ආදර ලිපියක් යවන සිද්ධියක් එම නවකතාවේ ඇතුළත්ව ඇත.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment