රැජනගේ මරණයට හේතු වූ රෝගය ගැන වෛද්‍ය මත රැසක්

446

අභාවප්‍රාප්ත එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහ රැජනගේ මරණයට මුල් වූ රෝග තත්ත්වය පිළිබඳව රජ පවුලෙන් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති වාතාවරණයක් තුළ ඇයගේ මරණයට ශාරීරික දුර්වලතාව හේතුවෙන් හටගන්නා ගෙරිඇට්‍රික්‌ (වයෝවෘද්ධ) සින්ඩ්‍රෝම් නමැති රෝග තත්ත්වය, හෘදයාබාධයක්, ආඝාතය (ස්ට්‍රෝක්) හෝ ඩිමෙන්ෂියා යන රෝග තත්ත්වයන්ගෙන් එකක් බලපාන්නට ඇති බව බටහිර වෛද්‍ය විශේෂඥයන් විසින් අවසන් දින කිහිපයේ රැජනගේ ශරීර ඉරියව් හා සලකුණු නිරීක්ෂණය කිරීමෙන් පසු ප්‍රකාශ කර තිබේ.

මිය යන විට 96 වැනි වියෙහි පසු වූ දෙවැනි එළිසබෙත් මහ රැජින සිය දිවියේ අවසන් දින කිහිපයේදී වෛද්‍ය උපදෙස් මත නිල රාජකාරි කටයුතු දැඩි සේ සීමා කර තිබූ අතර එයට හේතු වී ඇත්තේ කිසියම් රෝග තත්ත්වයක් මත ඇයගේ ශරීරයේ බර අඩු වීම හා ශරීරය දුර්වල වීම යන තත්ත්වයන් බව එංගලන්තයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන ගිනි මෑන්ස්බර්ග් එංගලන්ත මාධ්‍යයට පවසා තිබේ,

“රැජිනගේ වයසත් සමගම ඇයට ගෙරිඇටි්‍රක් (වයෝවෘද්ධ) සින්ඩ්‍රෝම් නමැති රෝග තත්ත්වය වැළඳී තිබීමේ හැකියාව ඉතා වැඩියි. එම රෝගය රෝග ලක්ෂණ ගණනාවකින් සමන්විත වූවක්. අවසන් දින කිහිපයේ ශරීර ඉරියව් හොඳින් නිරීක්ෂණය කළ විට රැජනගේ දකුණු අතෙහි දම් පැහැති තැලීමක් දක්නට ලැබුණු අතර එයද ඇය යම් රෝග තත්ත්වයකින් පෙළෙන්නට ඇති බවට සාක්ෂියක්” යැයි වෛද්‍ය මෑන්ස්බර්ග් සඳහන් කර තිබේ.

මේ අතර වෛද්‍ය ඩෙබ් කොහෙන් ජෝන්ස් විසින් එංගලන්තයේ පළ වන ‘ද ඩේලිමේල්’ පුවත්පතට පවසා ඇත්තේ රැජනගේ ඉරියව් හා හැසිරීම මත ඇය රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයක් වන ‘පර්යන්ත සනාල රෝගය’ යන රෝග තත්ත්වයෙන් පෙළෙන්නට ඇති බවයි. “එම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ හෘදය වස්තුවට හා මොළයට බාහිරව ඇති රුධිර නාලිකා පටුවීම් හා අවහිර වීමයි. මෙහිදී හෘදය ඇතුළු ශරීර අවයවවලට සැපයෙන රුධිරය සීමා වී ඉන්ද්‍රියයන් අක්‍රීය වීමෙන් රෝගියා මිය යනවා’ යැයි වෛද්‍ය ඩෙබි සඳහන් කර තිබේ. කෙසේ වෙතත් රැජන සාමකාමී ලෙස දෑස් පියාගත් බව පමණක් රැජිනගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බකිංහැම් මාලිගය ඇය මියයෑමට පෙර කිසියම් රෝගයකින් පෙළුණේද යන්න පිළිබඳව වැඩි යමක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment