රුධිරය පරිත්‍යාග කිරීමෙන් බිළිඳුන් මිලියන 2.4කගේ දිවි බේරාගත් ඔස්ටේ්‍රලියානුවා මියයයි

318

ලොව ඉහළම ඵලදායිතාවයක් ඇති රුධිර පරිත්‍යාගශීලියකු ලෙස නම් දරා සිටි අලුත උපන් බිළිදුන් මිලියන 2.4කගේ ජීවිත සිය රුධිරය පරිත්‍යාග කිරීමෙන් බේරාගත් ඔස්ටේ්‍රලියානු ජාතික ජේම්ස් හැරිසන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය විසින් ඊයේ (03දා) වාර්තා කර තිබිණි. මියයන විට 88 හැවිරිදි වියෙහි පසුවූ හැරිසන් ඉකුත් පෙබරවාරි 17 වැනිදා ඔස්ටේ්‍රලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි වැඩිහිටි නිවාසයකදී නින්දේදී මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

“ස්වර්ණමය දෑතක්” හිමි තැනැත්තකු ලෙස ඔස්ටේ්‍රලියාවේ ප්‍රකටව සිටි හැරිසන් වයස අවුරුදු 14 දී හදවත් සැත්කමකට භාජනය වීම නිසා ඔහුට ලබා දී තිබූ අධික රුධිර ප්‍රමාණය නිසාම වයස අවුරුදු 18 සිට වයස අවුරුදු 81 දක්වාම සති දෙකෙන් දෙකට රුධිරය අවශ්‍ය රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කර තිබිණි.

හැරිසන්ගේ රුධිරයෙහි දුර්ලභ ප්‍රතිදෙහයක් වන “ඇන්ටි – ඩි” අඩංගුව තිබීම නිසා ඔහු විසින් පරිත්‍යාග කළ රුධිරය හරහා බිළිදුන් මිලියන 2.4කගේ ජීවිත මාරාන්තික රුධිරගත රෝගයක් වන හිමොලයිටික් රෝගයෙන් බේරා ගැනීමට හැකිව තිබිණි. හැරිසන්ගේ රුධිරයෙහි අන්තර්ගතව තිබූ ඇන්ටි ඩි ප්‍රතිදේහය මවුවරුන්ගේ රුධිරය හරහා බිළිදුන්ට හිමොලයිටික් රෝගය වැළඳීම වැළක්වීම සඳහා නිපදවන බෙහෙත් වර්ගයක් සඳහා යොදාගන්නා ප්‍රතිදේහයක් වන අතර එම ප්‍රතිදේහය හැරිසන්ගේ රුධිරයේ යහමින් අඩංගුව තිබූ බව වාර්තා වී තිබේ. හැරිසන්ගේ රුධිරය හරහා අදාළ දුර්ලභ රුධිරගත රෝගයෙන් දිවි ගලවාගත් බිළිදුන් අතර ඔහුගේ මුණුපුරු මිනිපිරියන් දෙදෙනකු ද සිටින බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. වසර 2005 වසරේ සිට 2022 වසර දක්වා ලොව වැඩිම වාර ගණනක් රුධිර ප්ලාස්මාව පරිත්‍යාග කළ රුධිර පරිත්‍යාගශීලියාව සිටියේ ජේම්ස් හැරිසන්ය.


advertistmentadvertistment