රේගු දඩ ලිහිලෙන් කෝටි 213ක් ගිලේ

70

ආනයනකරුවන් විසින් අවස්ථා 17ක දී විවිධ රේගු වැරදි සිදුකර බදු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රේගුව මගින් පැනවූ දඩ මුදල පසුව ලිහිල් කිරීම හේතුවෙන් රජයට ඉකුත් වසර හතේදී (2017 වර්ෂයේ සිට 2023 දක්වා) රුපියල් දෙසිය දහතුන් කෝටි අසූනමලක්ෂ අසූහත්දහස් හයසිය විසිනමයක (2,138,987,629) ආදායමක් අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.

ආනයනකරුවන් විසින් මෙකී කාලසීමාවේදී පැහැර හැරීමට උත්සාහ කළ බදු මුදල රුපියල් තිස්දෙකෝටි හැටලක්ෂ විසිදහස්හත්සිය දොළහකි (326,020,712)

ආනයනකරුවන් විසින් මෙකී බදු මුදල පැහැර හැරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම කාලසීමාවේදී රේගුව විසින් පැනවූ මුළු දඩ මුදල රුපියල් හත්සියහැටඑක් කෝටි දාසයලක්ෂ පනස්දෙදහස් අටසිය තිස්හතරකි. එකී දඩ මුදල රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බලතල ප්‍රකාරව විමර්ශන නිලධාරීන් විසින් පසුව ලිහිල් කිරීම හේතුවෙන් එකී දඩ මුදල රුපියල් හතළිස්අටකෝටි දාසයලක්ෂ අනූහතරදහස් හැත්තැඅටක් (481,694,078) දක්වා අඩුවී තිබුණි.

එය මුළු දඩ මුදලින් සියයට 6.33ක් පමණක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ලිහිල් කළ දඩ මුදලින් රජයට බැරකොට තිබුණේ සියයට 30ක වටිනාකමක් වූ රුපියල් දාහතරකෝටි හතළිස්පන්ලක්ෂ අටදහස්දෙසිය විසිහතරකි.

රේගු වැරදිවලට පාදක වන ආනයනයන් එසේ නොමැතිව නිවැරදිව සිදු වූයේ නම් ඒ මත පනවන බදු මුදල් සම්පූර්ණයෙන්ම රජයේ ආදායමට බැරවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එහෙත් දඩ මුදල් පනවා මුදල් අය කර ගැනීමේ දී ඉන් සියයට 50ක් ත්‍යාග අරමුදලට හා සියයට 20ක් කළමනාකරණ වන්දි අරමුදලට බැර කෙරේ.

ආනයනකරුවන්ගේ මුල්‍ය දුෂ්කරතාවය දඩ මුදල් ලිහිල් කිරීමේ හේතුව ලෙස දක්වමින් දඩ මුදල් අඩු කළ අවස්ථා බහුලව පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ අයුරින් දඩ මුදල් ලිහිල් කිරීම රේගු ආඥා පනතේ 166 වගන්තියේ දක්වා නොතිබුණ බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment