ලංකාවේ ප්‍රේක්ෂකයා බුද්ධිමත් – බාසුරු සිරිවර්ධන

78

චරිත් අබේසිංහ සමග අලුත්ම වැඩක් පටන්ගත්තා
කතුරු මිතුරු ලක්ෂ අටක් නැරඹුවා
සිංහල සිනමාවේ ලොකු පිබිදීමක් තියෙනවා
ආලංකුලමට තරගයක් නෑ

21 වැනි සියවසේ ශ්‍රී ලාංකේය සිනමාවේ වැඩිපුර කතාබහට ලක්වූයේ හොලිවුඩ් බොලිවුඩ් නිර්මාණ ගැනය. එහෙමත් නැතිනම් කණ්නඩ හෝ මලයාලම් සිනමාවය. අනෙක් කාරණාව මෙය ලියන මමත් කියවන ඔබත් අතේ ඇති ජංගම දුරකථනයෙන් ලෝකයේ ඇති ඕනෑම සිනමා නිර්මාණයක් ඔබේ දෑස් අභිමුවට ගතහැකි ෆ්ලැට්ෆෝම් එමටය. ඔය මොනදේ තිබුණත් 70 සහ 80 දශකයේ සුන්දර සිංහල සිනමාව ගැන වගේම එම නිර්මාණවල සිටි නළු නිළියන් ගැන අදටත් වත්මන් සමාජයේ කතිකාවතක් නැතිවාම නොවේ. ඉතිං එදා සුන්දර හැත්තෑව අසූව දශකයේ දුටු සිංහල සිනමාවේ පිබිදීම වර්තමානයේද නැතිවාම නොවේ. එදා වගේම අනූව දශකයේද සිංහල සිනමාව පිබිදීමට වැව් බැඳි රාජ්‍යයෙන් එහෙමත් නැතිනම් රජරටින් බිහි වූ ආලංකුලම ෆිල්ම්ස් නිෂ්පාදනය කළ සිනමා නිර්මාණ බොහෝය. ඒ අතර ආසයි මාං පියාඹන්න, කිංග් හන්තර්, පායා එන්න හිරු සේ, රෝස කැලේ, සුවඳ දැනුනා ජීවිතේ පෙරමුණේ තිබේ. එදා ධම්මික සිරිවර්ධනයන් ආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කළ අතර මෙදා ඔහුගේ පුත් බාසුරු සිරිවර්ධන පටන්ගත්තු පළමු වැඩෙන්ම ශ්‍රී ලාංකේය සිංහල සිනමාවේ නැවුම් බලාපොරොත්තුවක්ද ඇති කළේය. ඔහු නිෂ්පාදනය කළ ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ ‘කතුරු මිතුරු’ සිනමා නිර්මාණය සමහර සිනමාහල්වල අදටත් තිරගත වේ. සිංහල සිනමාවට කතුරු මිතුරු දුන් ඩෑෂ් පහරින් පසුව ආලංකුලම ෆිල්ම්ස් අලුත්ම වැඩකට අතගසා තිබේ. ඉතිං ඒ කතාව මොකක්ද කියලා ඔයාලට කියන්න අපි බාසුරු සිරිවර්ධන සම්බන්ධකර ගත්තා.

ඔබ නිෂ්පාදනය කළ කතුරු මිතුරු චිත්‍රපටය ගැන අදටත් කතාබහට ලක්වෙනවා. සමහර සිනමා ශාලාවල තවමත් තිරගත වෙනවා. මොකද හිතෙන්නේ ?

මුලින්ම කියන්න ඕනෑ කතුරු මිතුරු දින දෙසීයක් දුවන්න හේතුවුණ කාරණා මොකක්ද කියලා. පළමුවෙන්ම කියන්න ඕනෑ ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයාගේ තිරපිටපත වගේම අධ්‍යක්ෂණ කාර්යභාරය. එතුමා මේ තරම් හොඳ නිර්මාණයක් බිහිකළේ නැතිනම් අපිට මේ තරම් දුර ගමනක් එන්න බැහැ. මේක පියවරෙන් පියවර ගිය ගමනක්. මුලින්ම දින 5-0, දින 100 පසුව දින 150 වගේම අන්තිමේ දින 200 සපිරුවා. මේ සඳහා ගොඩක් දෙනෙක් උදව් කළා වගේම ලොකු කැපකිරීමක් සිදුකළා.

ඇත්තටම මට ඕනෑ මේකෙන් හම්බවෙන මුදල නෙමෙයි. සිංහල සිනමාවට ජීවයක් දෙන්නයි මට ඕනෑ වුණේ. තවද මට ඕනෑ වුණා විශාල ප්‍රේක්ෂක පිරිසක් සිනමාහල්වලට ගෙන එන්න. මේ වන විට කතුරු මිතුරු ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් නරඹලා තිබෙනවා. ඒ හින්දා මට ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා.

ලංකාවේ ප්‍රේක්ෂකයා බුද්ධිමත් - බාසුරු සිරිවර්ධන

ධම්මික සිරිවර්ධන

කතුරු මිතුරු දුවන කාලේ ජවාන්, ජේලර්, බාබිල් වගේ දැවැන්ත නිර්මාණයන් තිරගත වුණා. ඔබ හිතුවද මෙහෙම පෝලිම් ක්‍රමයක් චිත්‍රපටයට නිර්මාණය වෙයි කියලා ?

ඇත්තටම කතුරු මිතුරු දුවන කාලේ ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙක්ක තිරගත වුණා. එකක් ජවාන්, අනෙක් එක පතාන්. ඊට පස්සේ ඩන්කි. ඊළඟට විජයගේ දැවැන්ත නිර්මාණයක් වන ලියෝ චිත්‍රපටයත් තිරගත වුණා. ඔය අතරේ රැජින් ඛාන්ත්ගේ ජේලර් තිරගත වුණා. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි හොඳ නිර්මාණයක් කළොත් ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට එනවා කියන මතය. සිංහල සිනමා කර්මාන්තය වැටිලා කියන කතාව මම පිළිගන්නේ නෑ.

චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තිරගත කරනවා කියන්නෙත් දැවැන්ත කාර්යභාරයක් නේද?

කතුරු මිතුරු චිත්‍රපටය මුදාහැරියේ එල්. එෆ්. ඩී. මණ්ඩලය හරහායි. සිනමාහල්වලින් ද අපිට ලොකු සහයෝගයක් ලැබුණා. අනික හොඳ නිර්මාණයක් කළොත් ප්‍රේක්ෂ්කයෝ සිනමාහල්වලට එනවා. එතකොට ඒක කාටවත් නවත්වන්න බෑ.

ලංකාවේ ප්‍රේක්ෂකයා බුද්ධිමත් - බාසුරු සිරිවර්ධන

ආලංකුලම ෆිල්ම්ස් ඔබේ පියාගෙන් පසුව ඔබේ අතට එනකොට ලංකාවේ සිනමාව නඟාසිටුවන්න මොනවගේ සැලසුම්ද තිබුණේ ?

බාසුරු සිරිවර්ධන කියන නම නෙමෙයි, ධම්මික සිරිවර්ධන කියන නම නෙමෙයි, අපේ තාත්තාගේ තීන්දු තීරණ පිටුපස මම හිටපු හින්දා වගේම අනික තාත්තා ගත්තු තීරණ සියල්ලම සාර්ථක වුණා. කතුරු මිතුරු ආලංකුලම හත්වැනි නිර්මාණය. මට මේක අරුතක් වුණේ නැහැ. තාත්තා නැති එක මට ලොකු අඩුවක්. අනික තාත්තා ඉන්න කාලේ තාත්තා ගත්තු තීරණවලට සහයෝගයක් දීමක් පමණයි මට කරන්න පුළුවන් වුණේ. හැබැයි අපේ හත්වැනි නිර්මාණයේදී මට තනි තීරණ ගන්න සිද්ධවුණා. තාත්තා මේ වෙලාවේ ජීවත්වෙලා හිටියා නම් එයා ගන්න තීරණ මොනවාද කියලා කල්පනා කරලා එයා ගිය අඩිපාරේ තමයි මමත් ගමන් කළේ. ඒකට මගේ මාධ්‍ය මිතුරන් ලොකු සහයෝගයක් ලබාදුන්නා. ආලංකුලම ෆිල්ම්ස් කියන නම රැඳෙන්නේ නැහැ හොඳ නිර්මාණයක් කළේ නැතිනම්. චිත්‍රපටයක් දුවන එක විතරක් නෙමෙයි සියල්ල තීරණය වෙන්නේ හොඳ නිර්මාණයක් උඩයි.

මගේ එකම අරමුණ වුණේ සිංහල සිනමා කර්මාන්තය නඟාසිටුවීම හා ලංකාවේ සිනමාහල්වලට ඉහළ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් රැගෙන ඒමයි. ඇත්තටම අපේ චිත්‍රපටය එන්න කලින් මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ ‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය තිරගත වුණා. මහාචාර්යතුමාගේ මේ සිනමා නිර්මාණයත් එක්ක ගොඩක් වැසීගිය සිනමාහල් පවා නැවත විවෘත වුණා. ඒක අපිට ලොකු රැකුලක් වුණා. දැන් ඉතාමත් හොඳ චිත්‍රපට ඉදිරියට තිරගත වෙන්න තිබෙනවා. මට ඕනෑ ආලංකුලම නම සමාජගත කරන්න නෙමෙයි.

ඔබට ඕනෑ සිංහල සිනමා කර්මාන්තය දියුණු කිරීමද?

මට ඕනෑ සිංහල සිනමා කර්මාන්තය දියුණු කරන්න. මොකද මේ කර්මාන්තයෙන් ක්‍ෂේත්‍ර ගණනාවක පිරිසක් ජීවත්වෙනවා. ඉතිං සිංහල සිනමාව දියුණුවුණොත් අපිට විතරක් නෙමෙයි රටටත් හොඳයි.

‘කතුරු මිතුරු’ තිරගත කරන්න කලින් හිතුවද මේ තරම් දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ?

ඕනෑම දෙයක් කරද්දී අවදානම කියන දෙය ගතයුතුයි. කතුරු මිතුරු මුලින්ම මුදාහරින්න සූදානම් කළේ කොරෝනා පළමු රැල්ලට කලින්. ඊට පසුව පාස්කු ප්‍රහාරය ආවා. ඊට පසුව සිනමා නිර්මාණ ගණනාවකට ඉඩදීලා තමයි මේක මුදාහැරියේ. අනික හදිසිවෙලා මේ ගමන යන්න බැහැ.

සිනමාශාලා හිමියන්ගෙන් ලැබුණ සහයෝගය ?

සිනමාශාලා හිමියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. සිනමාශාලා හිමියන් දැවැන්ත ප්‍රශ්න තියාගෙන තමයි චිත්‍රපටයක් තිරගත කරන්නේ. අනික හැමෝම බලාගෙන ඉන්නේ රජයෙන් යමක් කරලා දෙනකම්. නමුත් සිනමාශාලා හිමියන් බලාගෙන ඉන්නේ හොඳ චිත්‍රපටයක් තිරගත කරනකම්. සිනමාශාලා හිමියන්ට හොඳ චිත්‍රපටයක් තිරගත කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ.

අපි හිතුවාටත් වඩා ප්‍රේක්ෂකයෝ තමයි කතුරු මිතුරු චිත්‍රපටය ඇදබැඳ ගත්තේ. ඇත්තටම ප්‍රේක්ෂකයෝ තමයි මේ චිත්‍රපටය අරගෙන ගියේ. අධ්‍යක්ෂවරයාත්, නිෂ්පාදකවරයාත් නැතිනම් සිනමාශාලා හිමියනුත් මොකුත් කළාට වැඩක් නෑ ප්‍රේක්ෂකයෝ සිනමාහල්වලට එන්නේ නැතිනම්. ඉතිං ප්‍රේක්ෂකයෝ ආපු හින්දයි චිත්‍රපටය මේ තරම් දුර ගමනක් ගියේ.

ආලංකුලම ෆිල්ම්ස් අලුත්ම වැඩකට සූදානම් වෙනවා කියලත් ආරංචියි ?

පළමු වතාවට තමයි මේ කතාව මාධ්‍යයට කියන්නේ. අපි හොඳ නිර්මාණයක් කරන්න සූදානම් වෙනවා. එළැඹෙන ජූනි මාසයේ දී චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි. හැකි ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට ඊළඟ සිනමා නිර්මාණය තිළිණ කරන්නයි සූදානම් වෙන්නේ.

මේක හාස්‍ය මුසුවුණු වෙනස්ම සිනමා නිර්මාණයක්. මෙහි පිටපත් රචකයා මිහිර සිරිතිලක. අධ්‍යක්ෂණය සිදුකරනු ලබන්නේ චරිත් අබේසිංහ කියන දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයා. මෙහි ප්‍රධාන භූමිකාව ධනුක දිල්ෂාන් තමයි නිරූපණය කරනු ලබන්නේ. වෙනස්ම කතා තේමාවක් හින්දා මේකත් සිංහල සිනමාවට නැවුම් අත්දැකීමක් වේවි කියලා මම විශ්වාස කරනවා.

සිංහල සිනමාවේ ලොකු පිබිදීමක් තිබෙනවා කියලා හිතනවාද?

පැහැදිලිවම. මේ වන විට සිංහල සිනමාවේ ලොකු පිබිදීමක් තිබෙනවා. ආනයනික චිත්‍රපටවලට වඩා සිංහල චිත්‍රපටවලට වැඩි ප්‍රවර්ධනයක් ලබාදෙන්නයි මට වුවමනා. මේ වටා ලොකු සේවකයෝ ප්‍රමාණයක්, සේවා සපයන්නන් ලෙස රැඳිලා ඉන්නවා. ඔවුන්ව රඳා පවත්වාගන්න නම් අපි සිංහල සිනමාව ගොඩගන්න ඕනෑ. මොකද ගොඩක් දෙනෙක් මේ කර්මාන්තයෙන් ජීවත්වෙනවා. ඔවුන්ට වෙන ආදායම් මාර්ග නැහැ. ඉතිං ඒක හින්දා අපේ හිතේ තියෙන අදහස්වලට නෙමෙයි හොඳ කතා තේමාවක් යටතේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න පුළුවන් චිත්‍රපට නිර්මාණය කරන්න ඕනෑ. ඉතිං ආලංකුලම ෆිල්ම්ස් අපි තීරණය කළා චරිත් අබේසිංහ කියන අධ්‍යක්ෂවරයා සමග ලංකාවේ සිනමා රසිකයන්ට නැවුම් අත්දැකීමක් ලබාදෙන්න.

අලුත්ම සිනමා නිර්මාණයේ කතා තේමාව මොන වගේද?

ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මෝඩ නෑ. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය හරි බුද්ධිමත්. ඔවුන් ආවාට ගියාට චිත්‍රපට නරඹන්නේ නෑ. සිනමා ශාලාවකට ගොඩවෙලා මුදල් වියදම් කරලා නරඹන නිර්මාණයෙන් උසස් රසාස්වාදයක් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ පවුල් සිනමා ශාලාවකට ගොඩවෙනවා නම් ඒ පවුලේ තාත්තා ඒ සිනමා නිර්මාණය වෙනුවෙන් ලොකු බරපැනක් දරන්න සිද්ධවෙනවා. ඉතිං ඒ හින්දා හොඳ සිනමා කෘතියක් පවුලේ සැමට නැරඹිය හැකිසේ නිර්මාණය කරන්න ඕනෑ. ඒ වගේම සිනමාහලෙන් එළියට ආපු ප්‍රේක්ෂකයාට ගෙදර අරගෙන යන්න පුළුවන් මතකයන් කිහිපයකුත් ඒ සිනමා නිර්මාණයෙන් ඉතිරි කරන්න ඕනෑ.

සිංහල කියන්නේ අපේ මව් භාෂාව. අනික විවිධ නාලිකා ඉන්දියානු, කොරියානු වගේම විවිධ රටවල කතාමාලාවන් ලංකාවට ගෙනැල්ලා විකාශනය කිරීමේදී අන්තිමේ හඬකැවීම් සිදුකරන්නේ සිංහලෙන් නේද?. ඕනෑම රටක මව් භාෂාවෙන් හැදෙන චිත්‍රපටවලට ඒ රටවල මිනිස්සු ආදරෙයි. ඒ වගේම තමයි සිංහල සිනමාවත්. සිංහල සිනමාව කාටවත් නැතිකරන්න බැහැ. අනික අපිට මතකයි අපේ අම්මලා තාත්තලා කියනවා ඉස්සර රාත්‍රී 9.30 සිංහල සිනමා දර්ශන වාරය නරඹලා මිනිස්සු ගම්වල පයින් ගෙදරත් යනවා කියලා. ඉතිං අපේ අරමුණත් යළි සිනමා ශාලාවල 9.30 දර්ශන වාරය හවුස්ෆුල් කරන්න. හැබැයි ඒ ආනයනික චිත්‍රපටවලින් නෙමෙයි. ලංකාවේ හැදෙන සිංහල චිත්‍රපටවලින්. අනෙක් කාරණාව සිනමා නිර්මාණයක් අවසන් කළාට පසුව කඩිනමින් ඒ නිර්මාණය මුදාහරින්න ක්‍රමවේදයක් ඇති කිරීම. අපිට තරගයක් වුවමනා නැහැ. ආලංකුලම කවදත් වැඩකළේ වහලා තිබුණ සිනමාශාලා විවෘත කිරීමට වගේම අලුතෙන් සිනමා ශාලා ඉදිකිරීමටය. ඉතිං ඒක හින්දා අපිට කිසිම තරගයක් නෑ. වසරකට චිත්‍රපට දෙකක් නිර්මාණය කිරීම තමයි අපේ මූලික අරමුණ. තවම ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයා නුදුටු ලංකවේ ලස්සනම ලස්සන දර්ශන තල තිබෙනවා. ඒ වගේම තාක්ෂණය කියන එක අපි හරියට පාවිච්චි කරලා නෑ. අපේ අනෙක් ක්‍ෂේත්‍රවලට තාක්ෂණය පාවිච්චි කළත් සිනමාවට තවම හරි තාක්ෂණය ඇවිත් නෑ.

අසූව දශකයේ අපි ඉන්දියාව සමග සිනමා කර්මාන්තයෙන් කරට කර ගමන් කළා. හැබැයි අපි තාක්ෂණය ඒ තරම් දුරට භාවිතා නොකරපු හින්දා ඉන්දියානු සිනමා කර්මානතය දියුණු වුණා. මම කියන්නේ තාක්ෂණය මෙතැනට ගෙන ආ යුතුයි. අපි චරිත් අබේසිංහ සමග සිදුකරන අලුත්ම සිනමා නිර්මාණයට නවතම තාක්ෂණය භාවිතා කරන්න අදහසක් තියෙනවා. සිනමාවට ප්‍රේක්ෂකයන් වැඩි පිරිසක් රැගෙන එන්නයි අපේ ලොකුම සැලසුම.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment