ලංවිම විකුණන්නේ නැතිව සහන දෙන්න පුළුවන් – ඉංජිනේරු සංගමය කියයි

58

වැඩ බලන සාමාන්‍යාධිකාරිට ලංවිම ඉංජිනේරු සංගමයෙන් දෙහි කැපිල්ලක්

විදුලි ඒකකයක මිල අඩු කර පාරිභෝගිකයාට සහන සැලසීමට විදුලිය පෞද්ගලීකරණයට ලක් කළ යුතු බවට රජය යෝජනා කළත්, බල ශක්ති ක්ෂේත්‍රය රාජ්‍ය අංශයේ ම තබා ගනිමින්, රාජ්‍ය සමාගම් තුළ තරගකාරීත්වයක් ඇති කරමින්, විදුලි පාරිභෝගිකයාට විශාල ලෙස සහන ලබාදීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති, ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා ඊයේ (29දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියේය.

තරගකාරීත්වය ඇති කිරීම සඳහා යැයි පවසමින් රජය සැලකිය යුතු ඉන්ධනහල් ප්‍රමාණයක් පෞද්ගලික අංශය වෙත ලබාදී ඇතත් ඉන්ධන මිල අඩු කිරීම පුද්ගලීකරණය කළ නොහැකි බවට එක උදාහරණයක් පමණක් යැයිද සභාපතිවරයා මාධ්‍ය හමුවේදී කීවේය.

නවතම චක්‍රලේඛයක් හරහා විදුලි බල මණ්ඩලයේ ජනතාවට සමීප තනතුරු 70කට ආසන්න ප්‍රමාණයක් වසා දැමීමට වත්මන් වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කිරීමෙන්

පාරිභෝගිකයාට විශාල අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවත්, ‘ලෙකෝ’ ආයතනයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයක පාරිභෝගිකයන් 60,000ක ප්‍රමාණයට ඉංජිනේරුවරුන් 3 දෙනකු සිටින බව දැන ගන්නට ඇති බවත්, දැනට විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයන් 100,000කට වැඩි ප්‍රාදේශීය කාර්යාලවල පවා සේවයේ යෙදී සිටිනුයේ එක් ඉංජිනේරු මහතකු පමණක් බවත් ඔහු කීවේය. එබැවින් මේ හරහා ‘ලෙකෝ’ ආයතනය කාර්යක්ෂම බව සහ ලංවිම අකාර්යක්ෂම බව පාරිභෝගික ජනතාවට පෙන්වා දෙමින් ආයතනය පෞද්ගලික අංශයට විකුණා දැමීමට වත්මන් වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බවට ද සභාපතිවරයා මෙහිදී චෝදනා කළේය.

‘ලෙකෝ’ ආයතනයේ මේ වනවිට සේවයේ නියුතු ඉංජිනේරුවරයකුගේ වැටුප ඒ හා සමාන ලංවිම ඉංජිනේරුවරයකුගේ වැටුපට වඩා 40%කින් වැඩි බවද ඔහු කීවේය. මෙම කරුණු වසං කරමින් ලංවිම ඉංජිනේරුවරුන් නොසලකා හැරීම මඟින් ඔවුන්ට ආයතනය අතහැර යෑමට ඉඩ සලස්වා ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී අඛණ්ඩව සහ ගුණාත්මක ලෙස පාරිභෝගික ජනතාවට සේවය සැපයීම ද අවධානයට ලක්ව ඇති බවත් හෙතෙම පැවැසීය.

පවතින අයහපත් කාලතුණික තත්ත්වය හමුවේ රට පුරා බිඳ වැටීමට ලක්ව ඇති විදුලි සම්බන්ධතා යථාවත් කිරීම සඳහා විෂයභාර ඇමැතිවරයා හෝ පාලනාධිකාරිය නිසි අවධානය යොමු නොකිරීමෙන් විශාල පාරිභෝගික පිරිසක් අසරණ භාවයට පත්ව ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති, ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment