4 දෙනෙක් දැලේ: මෑත ඉතිහාසයේ ලොකුම වැටලීම
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිට කර ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු ඉකුත් 10දා රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කොළඹ අවට ප්‍රදේශයන්හි එනම් වැල්ලම්පිටිය, දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන තරුණයන් පිරිසකි. ්අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළේ දී මෑත කාලීන ඉතිහාසයේ වූ විශාලතම දුම්වැටි වැටලීම බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පැවසූහ.
මොවුන් ඉකුත් 10දා රාත්‍රී 09.50 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණි.
ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන් වෙන් වශයෙන් හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යෑමට තැත් කළ ද එම ප්‍රයත්නයන් ව්‍යර්ථ කර ඔවුන් සිය ගමන් මලු 20 ක් තුළ අසුරා ගෙන තිබූ විදේශීය නිෂ්පාදිත ‘මැන්චෙස්ටර්’ වර්ගයේ දුම්වැටි ලක්ෂ 04 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,000 ක තොගය රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.
ප්‍රභාත් විතාන, ටී. කේ. ජී කපිල – ගුවන්තොටුපළ