ලක් මවගෙන් වෙන් වී අද දින අහස් ගව්වට පියමං කරන චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතාණෝ

108

නොමියෙන මිනිසුන් අප අතර සිටින බවට සාධකයක් දැන් අප අතරට එක්ව තිබේ. ඉකුත් සිකුරාදා දහවල් මෙළොව හැර ගිය සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විද්වතානෝ එවැන්නෙකි. ප්‍රතිභා පූර්ණ කීර්තිදර විද්‍යාර්ථයකු වන ඔහුට තමන් මෙළොවින් වෙන්වන දින පොළෝ තලයේ කර්කශ බව මනසින් මවන්නට ඇත. එබැවිනි ඔහු අතින් “හිරු රැස් දැඩිවී හැකිළී ගොළු වී සැඟවී යාදෝ…. පිනිකට මිහි තුළ පා පෙරළී ගොස් රැඳී යාවිදෝ…… අරුණලු උදයේ දිළිසෙන පිනි මත පියමං කරමින් අහස් ගව්වටයි මේ ළංවන්නේ……” යනුවෙන් එදා ලියවෙන්නට ඇත්තේ. ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටයට පල්ලියගුරු විද්වතාණන් අතින් ලියවුණු ගීයක පද පෙළයි ඒ… ඔහු මියගිය මේ මොහොතට එහි අරුතක් ගැඹුරින් දැනෙන්නේ ය.

ඔහු සුන්දර මිනිසෙකි. නිහතමානී කීර්තිමත් විද්‍යාර්ථයකි. සිය ජීවන ගමන් මගේ අසූ වියට පා තබන්නට ඔන්න මෙන්න සිටියදී එනම් අප්‍රේල් පස්වෙනි දිනට යෙදී තිබුණු ඔහුගේ ජන්ම දිනය සමරන්නට මත්තෙන් ඔහු මෙළොවින් සමුගත්තේය. පොළවේ පය ගසා සාමාන්‍ය මිනිසුන් සමග නිහතමානී දිවි පෙවතක් ගත කළ මහාචාර්යවරයා එදා සිට මියයන තෙක්ම සරල සුන්දර මිනිසෙක් විය.

මාතර ඉපදී මාතර රෝහණ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය සරසවියට ඇතුළත්ව එහි සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වන තෙක් ගෙවූ කාලයේ සිංහල ජන සන්නිවේදනය කලාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් පර්යේෂණ සහ කෘති එළිදැක්වීමට කටයුතු කළේය. අමුතු තාලේ ආදර කතාවක්, අංචිය, කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල මහා කාල මහ බිසෝ ලීලාවතී පරිකල්පනය තාක්ෂණය සහ නිර්මාණය ඇතුළු කෘති රැසක් පාඨකයාට දායාද කළ මහාචාර්යවරයා ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලය ඇතුළු විද්වත් මණ්ඩල රැසකම සාමාජිකයකු ලෙස කලාවට මහඟු සේවයක් ඉටු කළේය.

ඔහු නැති මෙලක ඔහුගේ අඩුව පුරවන්නට කෙනෙක් සොයා ගැනීම නම් උගහටය. ඔහු මෙළොවට දායාද කර ගිය දැනුම් සම්භාරය ඔස්සේ ගමන් කිරීමට අනාගත පරපුරට ආරාධනය කරමින් ඔහු අප හැරගිය ගමන් මගට සුබ පතමු.

  • සමන්තී වීරසේකර

advertistmentadvertistment