ලාංකීය සිනමාවේ නිළි රැජන මාලිනි ෆොන්සේකා මහත්මිය “රජත මයුර” සම්මානය දිනූ, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ආකාස කුසුම්” සිනමා පටය වසර දාහතකට පසුව මාලිනි ෆොන්සේකා මහත්මියගේ 78 වැනි ජන්ම දිනය යෙදෙන අප්‍රේල් 30 වැනිදා සිට සීමිත දින ගණනක දී ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නැවතත් තිරගත කිරීමට සූදානමින් සිටින බවට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ දිවයින සිනමා කලා වෙත පැවැසීය.
ඇත්තෙන්ම මාලිනී ෆොන්සේකා මහත්මියගේ රංගන ජීවිතයේ අවිවාදයෙන්ම කඩඉමක් මෙම “ආකාස කුසුම්” සිනමා පටය. ඇයගේ රංගන ජීවිතයේ වසර 50ට ම ඇය ලැබූ ඉහළම සම්මානය වූයේ, 2008 වර්ෂයේ ඉන්දියාවේ ගෝවේ නගරයේදී 39 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා උලෙළේ දී ලබාගත් “රජත මයුර” සම්මාන යයි. ඇය බොහොම වාසනාවන්ත වුණා මේ සම්මානය ලබාගන්නට. ඊට පසුව ඇයට මෙම සිනමා පටය සඳහා “ආසියානු පැසිපික්” සිනමා සම්මාන උලෙළේ දී හොඳම නිළියට නිර්දේශ වුණා. ඉතාලියේ පැවැති “ලෙවන්තේ” සිනමා සම්මාන උලෙළේ දී හොඳම නිළියට හිමි සම්මානය ලබාගත්තා. ඊට අමතරව “ආකාස කුසුම්” සිනමා පටයත් තවත් අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළවල් කිහිපයකදීම සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම සිනමා පටයෙන් ඇයගේ රංගනය දෙස් විදෙස් සිනමා විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද ඇගයීමට ලක්වුණා. ඉතින් මෙම සිනමා නිර්මාණය ඇයගේ රංගනයට පමණක් නෙවෙයි, ජීවිතයටත් කඩඉමක් වුණා කියන්න පුළුවන්. ඒ වගේම මෙම සිනමා පටය නිෂ්පාදනය සිදු කළේ, සරසවි සිනෙරු වෙනුවෙන් H.D ප්‍රේමසිරි, ෂීකර් ප්‍රසාද් සමග මමයි. මාලිනිත් සමග මෙහි නිම්මි හරස්ගම, දිල්හානි අශෝකමාලා, සමනලී ෆොන්සේකා, ජයනි සේනානායක සහ කෞශල්‍ය ප්‍රනාන්දු වැනි තවත් ප්‍රවීණයනුත් රංගනයෙන් දායක වුණා. ඔවුන්ගේ උපරිම දායකත්වයත් මෙම චිත්‍රපටයෙන් දැකගන්නට පුළුවන්. ඒ වගේම මෙහි තිබෙන තවත් සුවිශේෂී දෙයක් වන්නේ, සාමාන්‍යයෙන් චිත්‍රපටයක් කල් යනවිට දුර්වල මට්ටමේ ප්‍රක්ෂේපණයක් තමයි ප්‍රේක්ෂකයාට දකින්නට ලැබෙන්නේ. මේ කාරණය නිසා මට ඕනෑකම තිබුණා, වසර 17ක් පැරණි මෙම “ආකාස කුසුම්” සිනමා පටය 4ණ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන නව තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපනය කරලා අප්‍රේල් 30 වැනිදාට යෙදෙන මාලිනි ෆොන්සේකාගේ 78 වන ඡන්ම දිනය දවසේ දී විශේෂ දර්ශනයක් පවත්වා, ඊට පසුව දිනයන් කිහිපයකදී ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් “ආකාස කුසුම්” සිනමා පටය ඔවුනට තිළිණ කරන්නට.
පාරමී කෞෂිකා