නිල්ල පිරුණු තෙරක් නොපෙනෙන ගාණට ඇති මිටියාවත් මැදින් දිව යන සුන්දර උතුරු ඊශ්‍රායලයේ අංක 77 අධිවේගී මාර්ගයේ අවසාන අන්තය වන්නේ යුදෙව්වන් මෙන්ම කතෝලික ජනතාවගේ භක්ත්‍යාදරයට ලක් වූ තිබේරියා නොහොත් ගලීලය වෙතය. වියැළුණු පොළොවට වැසි ලැබී නවදළුවලින් සැරසී සිටින මනබඳින තුරුලතා ඇසට සිසිලකි. ඈතට පේන තිත් තිත් තැඹිලි පාටින් සැරසී එබිකම් කර අතුවලින් පිරී දොඩං වතු මෙන්ම උස නැති අලි පේර වතු ඉරක් ඇන්දා වැනි ජ්‍යාමිතිකව පිළිවෙළට වගා කර ඇති ඔලිව් වතුවල අස්වැන්නේ ගමනාන්තය යුරෝපයේ දියුණු රටවල් කරා ය.

තැනිතලා බිම් කෙළවරේ ඉස්සුනු හුදෙකලා කඳු මෙන්ම ඈතින් ඈත පිහිටි තරමක් උස ඇති කඳු පන්ති බෙයින් නෙවෙෆා නිම්නය මතින් මා යන මග දෙපස විටෙක තද රතු පාටින් හා චූටි චූටි කහ පාට මල් අතර දම් පාට මල් ගොමු සුළඟට නැළවෙන්නේ මට නොපෙනෙන මී මැස්සන්ගේ නාදයට වන්නට බැරි නැත. දකුණු පසින් නාසරේත් කඳු ශිඛරයේ අස්සක් මුල්ලක් නෑර ගොඩනැඟිලිවලින් ද මට වම් පසින් සුදු වූ මීදුමෙන් අඩක් වසාගෙන සිටින ගනනිලට පෙනෙන මෙරෝන් කන්දට බරට බර වූ කළු වලාකුළු අතරින් සූර්ය කදම්බ පතිත වී ඇති අයුරු මනස්කාන්තය.

ඊශ්‍රායලයට ඍතු හතරක් පවතින අතර “හොරෙෆ්” යන්න යුදෙව් බසින් හඳුන්වන්නේ වැසි වසින ඍතුවටයි. ගල්කැට මෙන් අයිස් වැසි වැටෙන රළු සුළං මෙන්ම තොරතෝංචියක් නැතිව අකුණු කොටා ගොරවා වහින වැසි පිළිගන්නට වියළි පොළොව සිටින්නේ බලාපොරොත්තු පොදි බැඳන් ය.

සිත් ගත් දසුන්වලින් පිරුණු දෑ මා පසුකර යන අතර මන්දාරමක් පැවතියත් හවස වටපිටාව මනා ආලෝකයක් ඇති කඳු ගැටයක් උඩට පැමිණීමත් සමග මාගේ නෙත් දිවගියේ පහළින් පෙනෙන ජල කඳක් දරා සිටින ඊශ්‍රායලයේ එකම විල වන තිබේරියා විල වෙතය. නිල් ගුවනේ දිස්නේට ජල මතට පතිත වී හිරු රැසින් දිලිසෙන මේ මිරිදිය විල ලෝකයේ මුහුදු මට්ටමේ සිට පහළින් තිබෙන දෙවන ස්ථානයේ කවදත් රඳවාගෙන සිටී. පුළුල් බෑවුමක් බසින අතර මාර්ගයේ එක් තැනක සලකුණු කර ඇත්තේ ඉංග්‍රීසි බසින් ,ීැ් කැඩැක, කියාය. පැහැදිලි කරනවා නම් මා දැනට සිටින ස්ථානයේ සිට මුහුදු මට්ටමේ උස හා සමානව කිවහොත් ඔබට නිවැරදිව වැටහේවි. මීටර් 209 සිට 215 දක්වා මුහුද මට්ටමෙන් පහළින් පිහිටි මෙම විල පෝෂණය වන්නේ ජෝර්දාන් ගංගාවෙනි. මෙම වැවට නැගෙනහිරින් අහස් කුස ජයගන්න වෙර දරන කාන්තාර ලක්ෂණ පෙන්නුම් කරන කඳු පන්තියක් මෙම වැවට රැකවරණය ලබා දෙන්නේ අතීත කතා රාශියක්ද රඳවා ගෙනය.

තිබේරියා ක්‍රිස්තු වර්ෂ 20දී පමණ හරෝත් ඇන්ටිපාස් විසින් ආරම්භ කළ අතර එය රෝම අධිරාජ්‍යයා තිබේරියා යන නමින් නම් කරන ලදී. යුදෙව්වන් හා රෝම යුද්ධවලදී ශුද්ධ වූ ජෙරුසලම විනාශ වීමෙන් පසුව යුදෙව්වන්ගේ ප්‍රධාන දේශපාලන හා ආගමික මධ්‍යස්ථානයක් බවට පත් වූයේද මේ සුන්දර තිබේරියාව කේන්ද්‍ර කරගෙනය. යුදෙව්වන් තිබේරියා වැවට ආමන්ත්‍රණය කරන්නේ “කිනේරෙත් ” යනුවෙනි.

අති සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියන මේ වැව වටා කිලෝ මීටර් පනස් තුනක දුරකින් සමන්විතය. විලට බටහිර දෙසින් පිහිටි කඳු ගැටයේ වර්තමාන තිබේරියා නගරය ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ ගමනාන්තයක් වශයෙන් හැඳින්විය හැකිය. වර්ග කිලෝ මීටර් 116 පුරා වපසරියක් මත රඳවා ගෙන සිටින මේ මහා ජල කඳ මත දැවටී එන සීතල සුළඟ ඇඳුම් අතරින් කිඳා බසින්නේ ඉදිකටු අනිනාක් මෙනි.

ආදරණීය කතෝලික ජනතාවගේ භක්තිය මෙන්ම ආදරයට ද පත් මෙම විල ගැන බයිබලයේ ගලීල මුහුද යනුවෙන් සඳහන්ය. ශුද්ධ වූ ජේසුස් වහන්සේ දියමතින් ඇවිදගෙන යෑම හා ශුද්ධ වූ සභාවේ නායකත්වය පැවරු ශුද්ධ වූ පේදුරුතුමා මාළු ඇල්ලීම හා උන්වහන්සේගේ ගෝලයන් මේ අවට ජීවත් වූ පෙදෙසක් වශයෙන් මෙන්ම ඉහත ශුද්ධ වූ සිද්ධීන් සිදුවූ මා ඉදිරියේ ඇති තිබේරියා විල උතුම් පූජනීය ස්ථානයකි.

මට දකුණු පසින් තිබේරියා වැවට මායිම්ව දිවෙන මාර්ගයේ ටිකක් ඉදිරියට යන විට මට ඉහළින් ඉගිලී යන මාළු රසට ගිජු, දඩයම්කාර කුරුල්ලන්ගේ කරණම් ටික නම් හරිම අපූරුය. හරිත පැහැයෙන් යුත්, මුවෙකුගේ හිසකට ඉහළින් ඇඳි ගසක අනුරූපය ඊශ්‍රායල් ජාතික වනෝද්‍යාන ආයතනය සංකේතවත් කරයි. මේ සංකේතය ඇති පුවරුවක් මා යන දෙසට දකුණු පසින් එවැනි බෝඩ් එකක “හාමට් ටෙවරියා” ජාතික වනෝද්‍යානයේ උණු දිය උල්පත් ගැනය. “හාමට්” දිය උල්පත් වන අතර තිබේරියා සඳහා “ටෙවරියා” යනුවෙන් හීබෲ බසින් සඳහන් වන නිසාවෙනි.

විවිධ රෝග සුව කරන ඛනිජ ලවණ දෙසීයකට අධික සංඝටකයන්ගෙන් සමන්විත මෙහි ජලය සෙල්සියස් අංශක හැටේ උෂ්ණත්වයකදී මතුපිටට පැමිණේ. ඒ උණු දිය උල්පත්වලට ඉහළින් වාෂ්ප පිටවීමට සකසන ලද චිමිණිය දුටු විට මා හට මතකය අවදි වූයේ අතීතයේ අපගේ ගම්වල තිබුණු කෝපි කඩ, තේ කඩවල තිබුණු තඹවලින් සැකසූ බොයිලේරුවෙන් පිටවෙන දුම්බටයයි. වර්තමානයේ සාදා ඇත්තේ ඉහළ සිට පහළට එක් එක් උෂ්ණත්වවලින් සමන්විත නාන තටාක කිහිපයක් සකසා ඇත. මනාව සැකසූ මාර්ගවල පඩි පේළී නැග මා ඉදිරියට ගියේ ක්‍රි.ව.දෙසිය තිහේදී පමණව ඉදිකර දැනට නටබුන් වශයෙන් දැක ගත හැකි යුදෙව්වන්ගේ සිනගෝගයක සලකුණු වෙතය. සින ගෝගය යනු යුදෙව් ආගම සඳහා වන්දනා කරන පූජනීය ස්ථානයටය. මේ උද්‍යානයේ අතීතයේ පැවති උරුමයන් සුරැකිව අනාගත පරපුරට දැක ගැනීම අරමුණු කර කුඩා කෞතුකාගාරයක් ද මේ තුළ පිහිටා පවතී. රෝම, අරාබි, තුර්කි සාම්ප්‍රදායික ලක්ෂණයන් එහි තුළ මට දැක ගන්න හැකි විය.

නොඅඩුව ලැබෙන මඳනළ සමග දැවටී එන, ඈතක අඟුරුවලින් මස් පුච්චන සුවඳ අවට විහිදී යන්නේ රස නහර උද්දීපනය කරමින්ය. මළ හිරු බසින මේ මොහොතේ වැඩි ජනතාවක් නොවුණත් ඇතැමෙක් ව්‍යායාම කරන අතර තව කෙනෙක් විවේකීව මේ මහා ජල කඳ දෙස බලා මනස සැහැල්ලු කර ගැනීමට වෙහෙසෙනවා විය හැකිය. තද කෝපි පාටින් වර්ණ කළ, ලී පටි වලින් සවිකළ පුටුවේ හිඳ කකුලක් පිට කකුලක් උඩ දමා ඇන්දට හේත්තු වුණේ මා නෙත අද්දර ඇති මේ සොඳුරු විලේ ඇති අමුතුම ප්‍රබෝධයත් එක්කය. දිය රැළි අඩියක් පමණ ඉස්සී සුදු පෙන මතුපිටට ගෙන චොස්… චොස්… යන හඬින් ගල් පරවල එක දිගට වදින්නේ මිහිරි කන්කළු සංගීතයක් වැනිය. සුළං වැඩිවන විට ඒ ශබ්දය වැඩිවන අතර නැවත සුළං අඩුවන විට ඒ හඬ මා අතරින් ඈත්වී යන්නේ ඒ මිහිරි බව කොතරම් ද කියාය.

ග්‍රීස්ම ඍතුවේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගෙන් අතුරු සිදුරු වැසෙන්නට පිරී ඉතිරෙයි. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට සතුටින් කාබී සතුටු වන්නට රජය විසින් සියලුම භෞතික දේවල් සකසා ඇත්තේ පුදුම දනවන අන්දමට හා අප රටට මහඟු ආදර්ශයක් වන විදිහටය. දෛනිකව හා මනාව නඩත්තු කරන සනීපාරක්ෂක පද්ධතිය ස්ථිර පුටු මේස මෙන්ම ස්ථිර හා සුරක්ෂිතව මස් පිළිස්සීමට සැකසූ භාජන මෙන්ම හා ජීවිත ආරක්ෂක කණ්ඩායම් වැනි දෑ මේ අතරින් මට කැපී පෙනුණි. කප්පරක් ඇති අප රටේ වැව්වලින් මෙවැනි පරිසර හිතකාමී ස්ථාන සකසා සංචාරක ව්‍යාපාර මෙන්ම නව රැකියාවන් ඇතිවී දෙනෝදාහකගේ වින්දනය සඳහා මේ වැනි දෑ ඇත්නම් කොතරම් අපූරුද. මා හිඳ සිටි බංකුවෙන් නැගිට බෝල බෝල සුදු පාට දුඹුරු පාට ගල් කැට අතුරා ඇති බිම මතින් පාද තබා රැල්ල සිප ගන්න වෙරළ වෙත ඇදී ගියේ නොදැනුවත්වය. ඒ ජල තලය මත තැවරී ගල් මතුපිට තද කොළ පාසිවලින් තැවරුණු තරමක් විශාල ගල් මතට ගොස් අතට ගත් දිය පොදේ දැනුනු සිසිලස කටුක වුණත් සනීපය. ඉතා පිරිසිදුව පවතින මෙන්ම ජල කඳ මතින් විටෙන් විට උඩ පනින සෙල්ලක්කාර මාළුන් මේ විලේ නැතුවම නෙවෙයි. වෙරළ තීරයේ ඇති රූස්ස ගස්වල වියළුණු කොළ සුළඟට මා ඉදිරියේ වැටෙන්නේ එක දෙකය. ඒ අතරින් ඈත අහසේ විශාල කුරුලු රෑනක් ඉංග්‍රීසි හෝඩියේ වී අකුර මෙන් පියඹා යන්නේ සීතල යුරෝපයේ සිට අප්‍රිකාව වැනි රටවල ඇති උණුසුම සොයා යන සංචාරක කුරුල්ලන් ලෙසය.

විටෙක කැලතෙන විටෙක ගුප්ත බවින් හා තවත් විටෙක ශෝකයෙන් බරිතව දරාගෙන සිටින ඇස් සනසන ගත නළවන සුන්දරත්වයේ හිනිපෙත්තේ සිටින තිබේරියා වැව් රාජණියට ආයුබෝවන් කියා මා නිකමුණේ නැවතත් දිනෙක හමුවෙන බලාපොරොත්තු වෙනි.

ඊශ්‍රායලයේ සිට
මංගල කරඳවල

advertistmentadvertistment
advertistmentadvertistment