වසරකට පෙර දැයෙන් සමුගත් ජාතිය අවදි කළ ආචාර්ය නලින්ද සිල්වා වියතාණෝ

30

ජාතිය වැටී සිටි අවස්ථාවලදී ජාතියට පණ පොවා ජාතිය අවදි කිරීමට අදාළව වියතුන් බිහිකිරීම සිංහල ජාතියේ කැපී පෙනෙන ලක්ෂණයකි. 1944 ඔක්තෝම්බර් 20 වැනි දින පානදුර වෑකඩදී ඩැනියෙල් ද සිල්වා විදුහල්පතිතුමාගේ හා බේලින් පෙරේරා ගුරු මාතාවගේ පුත් රුවනක් ලෙස මෙලොවට බිහි වූ නලින්ද සිල්වා සූරීන් එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි. වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාසල, කොළඹ තර්ස්ටන් විදුහල හා කොළඹ රාජකීය විදුහල එතුමන් ඉගෙනුම ලැබූ පාසල්ය. පාසල් අධ්‍යාපනය නිමකළ එතුමා එවකට ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයෙන් හා කොළඹ මණ්ඩපයෙන් ද ගණිතය විශේෂවේදී පාඨමාලාව හදාරා ප්‍රථම පන්තියේ සාමාර්ථය ලබාගත්තේය. බි්‍රතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ සහාය කථිකාචාර්ය ධුරය ලැබූ එතුමා පසුව එම විශ්වවිද්‍යාලයේම කථිකාචාර්ය ධුරයට පත් විය. 1979-93 කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය විෂය අධ්‍යයන අංශයේ සහාය මහාචාර්ය ධුරය දැරුවේය. 2003-12 කාලය තුළ කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත විෂය පිළිබඳ මහාචාර්ය ධුරය හෙබවිය. 2009-12 කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨාධිපති ධුරය දැරුවේය. 2012-15 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකත්වය හෙබවීය. 2020-21 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේය.

මෙම සියලු සේවාවන්ට වඩා ආචාර්ය නලින්ද සිල්වා සූරීන්ගෙන් රටට හා ජාතියට ඉටු වූ මහා මෙහෙවර නම් ජාතික චින්තනය පදනම් කරගත් දැනුම නිර්මාණය කරදීමයි. ඒ සඳහා අවශ්‍ය දැනුම් සම්භාරය බටහිර විද්‍යාව හැදෑරීමෙන් හා විශේෂයෙන් බුදු දහමෙන් ලබාගත්තේය. ඇතැමුන් යමක් ප්‍රතික්ෂේප කරන්නේ එසේ ප්‍රතික්ෂේප කරන දෙය අධ්‍යයනය කිරීමෙන් නොවේ. එහෙත් නලින්ද සිල්වා සූරීන් බටහිර දැනුම පිළිබඳ අධ්‍යයනය කර එය ප්‍රතික්ෂේප කළේය. අවසානයේ ‘බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්’ යැයි ප්‍රකාශ කිරීමට තරම් එතුමා එඩිතර විය. තම මතවාද ඉදිරිපත් කරමින් එහි සත්‍යතාව තහවුරු කිරීමට ඕනෑම කෙනකු සමග විවාද කර ජයගැනීමට ද එතුමා සමත් විය. ඒ සඳහා බුදු දහම පිළිබඳ දැනීම බොහෝ සේ උපකාර විය.

1986දී නලින්ද සිල්වා සූරීන් විසින් රචනා කරන ලද මගේ ලෝකය පොත දැනුම සොයා යනු වෙනුවට දැනුම නිර්මාණය කිරීමට මග පෙන්වන්නක් විය. එහි ආරම්භයේදීම එතුමා (ඇතැම් විට තම කෘතියේ පදනම ලෙස) සඳහන් කරන්නේ ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයේ එන රෝහිතස්ස සූත්‍රයේ බුද්ධ වචනයක සිංහල තේරුමයි. ඒ මෙසේය. ‘ඇවැත්නි, මේ බඹයක් පමණ වූ සංඥාව හා මනස ද සහිත වූ ශරීරය තුළම මම ලෝකයත්, ලෝකය හට ගැනීමට හේතුවත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධයට හේතුවන ප්‍රතිපදාවත් පනවමි’ මෙම බුදු වදන ලෝකය යනු කුමක් දැයි වටහාගැනීමට මහත් සේ උපකාර වෙයි. එය එසේ දැනගත් නිසාම මගේ ලෝකය කෘතිය රචනා කිරීමට නලින්ද සිල්වා සූරීන් එම වදන පදනම් කරගත් බව පෙනී යයි. මගේ ලෝකය කෘතිය පාඨකයන් අතර විශේෂයෙන් අධ්‍යයන හා අධ්‍යාපන කටයුතුවල නිරතවන අය අතර කොතරම් ජනප්‍රියත්වයක් ලබා ඇත්දැයි කිවතොත් මේ වනවිට එහි නව වැනි මුද්‍රණය ද නිකුත් වී ඇත.

මේ හැරුණු විට එතුමා විසින් රචනා කරන ලද කෘති අතර මාක්ස්වාදයේ දරිද්‍රතාව, අසෝභනයේ රූපිකය, ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා, විද්‍යා කතන්දර, අපේ ප්‍රවාද පොත් පෙළ, රජරට වකුගඩු රෝගය හා බැඳුණු පර්යේෂණ, බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ යන කෘති වැදගත් වෙයි. ඒ අතර පුවත්පත් හා සඟරාවලට ලියන ලද ලිපි සියදහස් ගණනකි. දේශන හා සම්මන්ත්‍රණ මගින් රට හා ජාතිය ගොඩනැඟීම වෙනුවෙන් දක්වන ලද අදහස් අප්‍රමාණය. මේ සියල්ලම කළේ අබමල් රේණුවක තරමින්වත් මුදල් ඉපයීම හෝ බඩගෝස්තරය සඳහා නොව, රටේ හා ජාතියේ ප්‍රගමණය සඳහාමය. නලින්ද සිල්වා සූරීන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාලය තුළ මාක්ස්වාදය පිළිගෙන මුලදී සම සමාජ පක්ෂයේ ද පසුව නව සම සමාජ පක්ෂයේ ද ක්‍රියාකාරී පුද්ගලයකු ලෙස කටයුතු කර ඇත. එහෙත් පසුව මාක්ස්වාදය බැහැර කරමින් ‘මාක්ස්වාදයේ දරිද්‍රතාව’ නමින් ග්‍රන්ථයක් ද රචනා කළේය. අවබෝධයෙන් කරුණු වටහාගත් එතුමා සැදැහැවත් බෞද්ධයෙක් විය. වරක් එතුමා ප්‍රකාශ කළේ තමන් බෞද්ධයකු වූයේ වයස අවුරුදු 35දී බවයි. සිංහල බෞද්ධයන්ගේ පරිහානියට හේතුව බටහිර දැනුම අනුකරණය කිරීම බවත් එයින් බැහැර වී සිංහල බෞද්ධයන් තමන්ගේම දැනුමක් නිර්මාණය කරගත යුතු බවත් අපේ ප්‍රවාද පොත් පෙළ තුළින් පෙන්වා දී ඇත.

තිස් අවුරුද්දක් පුරා පැවැති මෙරට රාජ්‍යයට එරෙහි දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියාදාමය කිසිදාකත් සාකච්ඡා මගින් විසඳාගත නොහැකි බවත්, අවිගත් එම ත්‍රස්තවාදය රජයේ නීත්‍යනුකූල හමුදා මෙහෙයුම් මගින්ම පරාජය කළ යුතු බවත් එතුමා අවධාරණය කළේය. එතුමාගේ අදහස නිවැරදි බව 2009 මැයි 18 වැනිදා හමුදා මෙහෙයුම් මගින් දෙමළ බෙදුම්වාදී අවිගත් ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමෙන් පැහැදිලි වේ. ලොව බොහෝ රටවල්වල රාජ්‍යයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී ක්‍රියා ඇතත් මේ වනතුරුත් ඒවා පරාජය කළ නොහැකිව ඇත. අපට එය කළ හැකි වීම මුළුමහත් ලෝකයේම සඵල වූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ඒ සඳහා පෑනෙන් හා වදනින් දායකවීමට හැකිවීම ගැන ආචාර්ය නලින්ද සිල්වා සූරීන් ලැබුවේ ඉමහත් සතුටකි.

සිංහලකම හා බෞද්ධකම ගැන කතා කිරීම, ලිවීම හා ක්‍රියාකිරීම ජාති වාදයක් ලෙස හැඳින්වූ බටහිර ගැති උගතුන් එතුමන්ගේ නිග්‍රහයට ලක් වූයේ ‘පඩි නැට්ටන්’ යන හැඳින්වීමෙනි. 1986 දී චින්තන පර්ෂදය පිහිටුවාගත් නලින්ද සිල්වා සූරීන් ජාතිකත්වය හා දේශීයත්වය ජන හදවත් තුළ තහවුරු කිරීම වෙනුවෙන් කොළඹ ආදී නගරවල මෙන්ම ඈත එපිට ගම්මානවල පවා සාකච්ඡා හා සම්මන්ත්‍රණවලට සම්බන්ධවීමෙන් කරන ලද කැපවීම අතිශයින් අගය කළ යුතුය. බි්‍රතාන්‍ය පාලනයෙන් මිදුණු 1948 සිට මෙතෙක් රට පාලනය කළ බොහෝ දේශපාලකයන් සුද්දන්ගේ ක්‍රමයම අනුගමනය කළා මිස දේශීයත්වය නංවාලීමට ක්‍රියා නොකළ බව එතුමා පෙන්වා දුන්නේය. වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය ද බටහිර අච්චුව තුළ ක්‍රියාත්මක වන අතර රට හා ජාතිය නඟාසිටුවීමට නම් ජාතික අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව එතුමා නොයෙක් අවස්ථාවල පෙන්වා දුන්නේය. හැකි හැම අවස්ථාවකම දේශීයත්වය හා බුදුදහම පදනම් කරගෙන රට හා ජාතිය නංවාලීමට කටයුතු කිරීම ආචාර්ය නලින්ද සිල්වා සූරීන් නම් වූ ඒ මහා වියතාණන්ට කළ හැකි ශ්‍රේෂ්ඨතම උපහාරය බව සඳහන් කළ යුතුය.

චින්තන පර්ෂදයේ සභාපති
පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනායක ස්ථවිර


advertistmentadvertistment