වානරයන්ට කැප කළ ගැහැනු

39

ප්‍රයිමේට්ස් (Primates) ගැන දන්න ඔබ’ ට්‍රයිමේට්ස් (The Trimates) ගැන නොදැනගෙන ඉන්න තියෙන ඉඩ හොඳටම වැඩියි. එනිසාම අද කතාව ටිකක් නුපුරුදු ට්‍රයිමේට්ස්ලා ගැන. ඉතිං කවුද මේ ට්‍රයිමේට්ස්?

ඇත්තටම එහෙම කියන්නේ ප්‍රයිමේටාවන් ගැන පරීක්ෂණය කරන්න සහ ඔවුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැප කරපු ඒ වගේම මේ සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතය පවා අහිමි වූ ශ්‍රේෂ්ඨ කාන්තාවන් තිදෙනෙක් ගැන.’ ඔවුන් නමින් ජේන් ගූඩාල් (Jane Goodall) ඩයන් ෆොසී (Dian Fossey) සහ බ්රූට් ගෝල්ඩිකස් (Birute Goldikas) පිළිවෙළින් චිම්පන්සීන් (Chimpanzees) ගෝරිල්ලන් (Gorills) සහ ඔරං උටං (Orangutans) යන විශේෂ ගැන ඔවුන් තමන්ගේ පර්යේෂණ මෙහෙයවනු ලැබුවා.

මේ ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා ඔවුන්ට අවස්ථාව ලැබීමත් හරි අපූරු සිද්ධියක්. ලොව පුරෝගාමී පුරා මානව වංශවේදියෙකු (Paleoanthropologist) සහ පුරාවිද්‍යාඥයෙකු (Archeologist) වූ ලුවිස් ලීකී (Louis Leakey) අප්‍රිකාව පුරා සැරිසරමින් මානව පරිණාමය පිළිබඳ සාක්ෂි සොයමින් සිටියා. මෙහෙම සොයමින් සිටින අතරේ ඔහු ගෝරිල්ලන් සහ චිම්පන්සීන් ඔවුන්ගේ පරිසරය සමඟ පවත්වන සබඳතා ගැනත් විපරමින් සිටියා. මේ 1940 – 50 අතර කාලයේ. ඔහු සිතුවා මේ සතුන්ගේ චර්යාවන්, ඔවුන් පරිසරය සමග අන්තර්ක්‍රියා කරන ආකාරය ගැන පර්යේෂණය කළොත් මානව පරිණාමය පිළිබඳ මොනයම් හෝ සාක්ෂියක් අනාවරණය කරගත හැකි බව. ඒ වගේම ඔහු දකින්න ඇති එවකට මේ කලාපයේ තිබූ සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම එක්ක මේ විශේෂවල පැවැත්මත් අනතුරේ තිබෙන බව. එනිසයි ඔහු ප්‍රයිමේටාවන් පිළිබඳ ක්ෂේත්‍ර පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කෙරේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපි දැන් දන්නා ට්‍රයිමේට්ස්ලා නිර්මාණය වෙන්නේ. එනිසයි “ට්‍රයිමේට්ස්” යන නාමයට අමතරව “ලීකීගේ සුරංගනාවියෝ” (Leakey’s Angels) යන සුරතල් නාමයත් මේ කාන්තාවන් හා බැක්‍ෂෙන්නේ.

මේ අනුව ජේන්, චිම්පන්සීන් ගැන අධ්‍යයනය කරන්නට 1960 දී ටැන්සානියාවේ ගොම්බේ (Gombe) ප්‍රදේශයටත්, ඩයන්, 1967 දී ගෝරිල්ලන් ගැන පර්යේෂණ සඳහා රුවන්ඩාවේ විරුන්ගා (Virunga) කඳුකරයටත් පිටත්ව යනවා. නමුත් මේ ක්ෂේත්‍ර පර්යේෂණ කිසි ලෙසකින් පහසු වූයේ නැහැ. අතිශය දුෂ්කර, නුපුරුදු සහ අන්තරාකාරී පාරිසරික, සමාජීය හා දේශපාලන තත්ත්වයන් යටතේ ඔවුන්ට තමන්ගේ පර්යේෂණ කරගෙන යන්නටයි සිදුවුණේ. ඒ වගේම අද වගේ ප්‍රවාහන, තාක්ෂණික හා සන්නිවේදන පහසුකම් ඔවුන්ට තිබුණේ නැහැ. පර්යේෂණයට අමතරව ජීවිත අවදානම ඇතුළු මතුවන සෑම අභියෝගයකටම, තර්ජනයකටම මුහුණ දීමටත් ඔවුන්ට සිදුවුණා. ඔවුන් තම පර්යේෂණ කරගෙන ගිය සැටි ඩයන්ගේ “ Gorillas in the mist” යන කෘතියේත්, ගූඩාල්ගේ “In the Shadow of man” සහ “Through a window¦ my thirty years with the Chimpanzees of Gombe”’ යන කෘතිවල සඳහන් වී තිබෙනවා. මේ කෘති ඔබට අන්තර්ජාලයේ නොමිලේ කියවීමට පහසුකම් තිබෙනවා. ඇතැම් කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය වී තිබෙනවා. මේ කතා ඇසුරින් නිර්මාණය වූ සිනමාවන් ද තිබෙනවා. එනිසා දැන් ඔබට පුළුවන් ට්‍රයිමේට්ස්ලා ප්‍රයිමේටාවන් පසුපස ගියා වගේ, ඔබටත් දැන් ට්‍රයිමේටාවන් පසුපස ලුහු බඳින්න.

ජේන් සහ ඩයන් තම පර්යේෂණ කරගෙන යන අතරතුරදී තමයි ලිකීට බ්රූට් ගෝල්ඩිකස් හමුවන්නේ. ඒ ඇමරිකානු විශ්වවිද්‍යාලයක දේශනයක් අතරතුර. ඈ ඒ වන විටත් ඔරං-උටං සතුන් ගැන උනන්දු වෙමින් සිටියා. ලිකීගේ දේශනයෙන් පසු ඇගේ පර්යේෂණ සඳහා ඔහුගේ’ සහයෝගය ඉල්ලා සිටියා. කෙසේ හෝ අවසානයේ දී ඇයද මේ ප්‍රයිමේට්ස් ව්‍යාපෘතිය සඳහා තෝරා ගනු ලබනවා. 1971 දී බෝර්නියෝවල (Borneo) ඇය තම පර්යේෂණ අරඹනවා. මෙන්න මෙහෙම තමයි ට්‍රයිමේට්ස් ත්‍රිමූර්තය සම්පූර්ණ වෙන්නේ.

මොවුන් අතුරින් ඉතා ඛේදනීය ඉරණමකට ගොදුරු වන්නට ඩයන් ෆොසීට සිදුවෙනවා. ඒ ඇය විසින් ගෝරිල්ලන් ඇතුළු වන ජීවීන් ඝාතක ම්ලේච්ඡ දඩයම් කල්ලිවලට එරෙහිව නොබියව සටන් කිරීම නිසා. ඇයට වයස අවුරුදු 53ක්ව තිබියදී 1985 දී රුවන්ඩාවේ වනගත කඳුකරයේ පිහිටි ඇගේ කඳවුර තුළදීම දඩයක්කරුවන් විසින් ඇයව ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනවා. ඇගේ ඛේදාන්තය සමඟ තව බොහෝ දේ ගැට ගැසී තිබෙනවා. වෙනත් දිනයක අපට ඒ ගැන කතා කළ හැකියි.

මේ විශිෂ්ට කාන්තාවන්ගේ කැපවීම විශේෂ සංරක්ෂණය සම්බන්ධයෙන් සිදුකර ඇති දායකත්වය පුළුල් පරාසයක විහිදී තිබෙනවා. අද අපි නාගරික සත්වෝද්‍යානයකට ගියත්, ඈත එපිට ජාතික උද්‍යානයකට පිවිසියත් ඔවුන් කළ දායකත්වය අපට දැක ගන්න පුළුවන්. ඔවුන් තිදෙනාම ඔවුන්ගේ අනර්ඝ පර්යේෂණ හරහා අධ්‍යයනික වශයෙන් මේ ක්ෂේත්‍ර වලට නව දැනුමක් එකතු කර තිබෙන අතරම ඔවුන්ගේ ආචාර්ය උපාධි ද මේ ඇසුරෙන්ම උපයාගෙන තිබෙනවා. වඩා වැදගත් දේ නම් තම පර්යේෂණ ඇකඩමියාවට පමණක් සීමා නොකර මේ සත්ව විශේෂ සම්බන්ධයෙන් වන දැනුම සමාජගත කරමින් ලොව පුරා දස දහස් ගණනක් සංරක්ෂණවේදීන් උත්තේජනය කිරීම.

එපමණක් නොවේ, ඔවුන් තමන් අවධානය යොමුකළ විශේෂවල පැවැත්ම වෙනුවෙන් පරිසර ක්‍රියාකාරිකයෙකුගේ භූමිකාවත් ඉටුකළා. පර්යේෂකයෙකු ඉදිරි පෙළ පරිසර ක්‍රියාකාරිකයෙකු වීම අතිශය ප්‍රබල සහ ඉදිරිගාමී භූමිකාවක්. තමන්ගේ ප්‍රතිරූප ගොඩනැගීම, පර්යේෂණ ගොන්න වැඩිකර ගැනීම සහ තනතුරු ඇතුළු වෙනත් වාසි ප්‍රයෝජන සඳහා විතරක් පර්යේෂණ කරන අපේ බොහෝ වනජීවී පර්යේෂකයන්ට මොවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙනවා.

ඩයන් ෆොසී ඝාතනය වූ පසු “Dian Fossey Gorilla Fund International˜” හරහා ලොව පුරා අරමුදල් එකතු කරමින් ගෝරිල්ලන් සංරක්ෂණය සඳහා කටයුතු කරනවා. රුවන්ඩාවේ “Volcanoes” ජාතික උද්‍යානයේ පිහිටා ඇති “Karisoke” පර්යේෂණ මධ්‍යස්ථානය කඳුකර ගෝරිල්ලක් සංරක්ෂණය වෙනුවෙන් අදත් කැපවී සිටිනවා.

ජේන් ගූඩල් අදත් ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ලෙසත්, අත්දැකීම් ඇති සංරක්ෂණවේදියෙකු ලෙසත් නව පර්යේෂකයන්, පරිසර ක්‍රියාකාරීන් උනන්දු කරමින් සංරක්ෂණය සඳහා සක්‍රීය ලෙස තම දායකත්වය සපයමින් සිටිනවා. “Jane Goodall Institute˜” වටා ලොව පුරා විශාල පිරිසක් එකතුව සිටිනවා.

ගෝල්ඩිකස්, විශ්වවිද්‍යාල මහාචාර්යවරිය ලෙසත්, සංරක්ෂණ සන්නිවේදිකාවක ලෙසත් තමවමත් තම සක්‍රීය දායකත්වය ලබාදෙමින් සිටිනවා ඇය මුල්වෙලා ආරම්භ කරපු “Orangutan Foundation International” හරහා ක්ෂේත්‍රීය පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා අරමුදල් බෙදා හැරෙනවා.

මේ සියල්ලටම පසු අප අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. අපි අපේ වැඩකරන ක්ෂේත්‍රවලට කොතරම් අවංක ද? විශේෂයෙන් වනජීවී සහ සංරක්ෂණ ක්ෂේත්‍රයන් වලදී. අපගේ හැකියාවන්, කුසලතා සහ දැනුම එකිනෙකට වෙනස් විය හැකියි. නමුත් අපගේ අවසන් අරමුණ එකක් වේ නම්, ඔබ, මම, අප සියලු දෙනා දිනක දී එක් ගමනාන්තයක හමුවනු ඇත. නමුත් අප සිටින්නේ එවැනි පොදු අරමුණක ද?

මම මේ ලිවීම ඩයන් ෆොසීගේ දිනපොතේ තිබූ අවසන් දින සටහනකින් අවසන් කරන්නම්. “ඔබ මුළු ජීවිතයේ වටිනාකම අවබෝධ කරගත් දිනෙක අතීතයේ කල් ගෙවීම අඩුකර අනාගතය සුරැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත”.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය


advertistmentadvertistment