වැස්ස ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙන්ට් ලුසියා ගමන පැය 26 ක් පස්සට ඇද දමයි

259

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සිය අවසන් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (12 වැනිදා) සවස 6.00ට ෆ්ලොරීඩා සිට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත ලුසියා වෙත පිටත්ව යෑමට නියමිතව තිබුණිද ෆ්ලොරීඩා වෙත බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිය ගුවන්ගමන අතහැර දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

ඒ අනුව පැය 26 ක පමණ ප්‍රමාදයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (13 වැනිදා) රාත්‍රී 8.00 ට පමණ ෆ්ලොරීඩා සිට සෙන්ට් ලුසියා වෙත පියාසර කිරීමට නියමිතව සිටියේය.

ෆ්ලොරීඩා වෙත පෙරේදා අළුයම සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ගද ජලයෙන් යටව පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායම ශාන්ත ලුසියා වෙත රැගෙන යෑමට පැමිණි විශේෂයෙන් වෙන් කළ ගුවන් යානයද ගුවන්තොටට පැමිණ ඇති අතර අධික වර්ෂාව හේතුවෙන් එය ගුවන්ගත කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටීමෙන් මෙම ප්‍රමාදය ඇති විය.

ඒ අනුව පැය 26 ක පමණ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එම ප්‍රමාදය හේතුවෙන් ෆ්ලොරීඩා හි රැඳී සිටීමට සිදු විය.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය නැරඹීමේ බලාපොරොත්තුවෙන් දුර බැහැර සිට එහි පැමිණ සිටින ශ්‍රී ලංකාවේ මෙන්ම නේපාලයේද ක්‍රිකට් ලෝලීන් මෙම කාලගුණ තත්ත්වයේ තවදුරටත් වින්දිතයන් බවට පත්ව ෆ්ලොරීඩා හී රැඳී සිටීමට සිදු විය.

කුෂාන් සුබසිංහ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සිට

advertistmentadvertistment
advertistmentadvertistment