‘අනාගත ක්‍රිකට් තරු ගවේෂණය’ පළමු අදියරේදී ක්‍රීඩික ක්‍රීඩිකාවෝ 185 ක් සංචිතගත කෙරෙති

211

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ‘ගමන් මග’ වැඩසටහනේ ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේෂණ වැඩසටහන

පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය. සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනකු තෝරාගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

පසුගියා සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වුණු මෙම වැඩසටහන 24 වැනිදා දක්වා වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ඇලහැර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් පැවැත්විණ. දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් 25 දෙනකුගේ අධීක්ෂණය යටතේ සිදුකෙරුණු මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහනේදී බාලක ක්‍රීඩකයන් 170 ක් සහ බාලිකා ක්‍රීඩිකාවන් 15 දෙනකු වශයෙන් සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනකු තෝරා ගනු ලැබූ අතර ඔවුන් සියල්ල අදාළ ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානවලට යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයක් අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය කරමින් ගමින් ගමට යන මෙම දක්ෂතා ගවේෂණ ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා හඳුනාගැනීම වේ.

උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන ලද මෙම සමාරම්භක වැඩසටහන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment