2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ එංගලන්තයේ බර්මින්හැම් හි ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී පෙරේදා (28 වැනිදා) රාත්‍රී උත්කර්ෂවත් ලෙස ආරම්භ විණි.
විචිත්‍ර අංග ගණනාවකින් සැදුම්ලත් එම සමාරම්භක උළෙල සඳහා විශාල ප්‍රේක්ෂක ජනතාවක් ද සහභාගී සිටියේය.
එම උළෙලේ දර්ශන කීපයක් මෙම ඡායාරූපවල දැක්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා 7කදී ඊයේ (29 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිත ව සිටියහ.
පිහිනුම්, ස්කොෂ්, රග්බි, ජිම්නාස්ටික්, බැඩ්මින්ටන්, බොක්සිං හා බාස්කට්බෝල් යන ක්‍රීඩා නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ඊයේ තරඟ බිමට සූදානමින් සිටියේය.
සත්කාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර කාන්තා රග්බි තරගයත්, ශ්‍රී ලංකා – නවසීලන්ත පිරිමි රග්බි තරගයත් ඒ අතර වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි රග්බි තරගාවලියට කාණ්ඩ 4ක් යටතේ රටවල් 16ක් සහභාගී වන අතර, ශ්‍රී ලංකාව සමඟ ‘ඒ’ කාණ්ඩයෙන් නවසීලන්තය, එංගලන්තය හා සැමෝවා රාජ්‍යය සිටී. කාන්තා තරගාවලියට කණ්ඩායම් 8ක් එක්ව සිටින අතර, ශ්‍රී ලංකාව සමඟ එංගලන්තය, නවසීලන්තය හා කැනඩාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.
ජිම්නාස්ටික් පිරිමි කලාත්මක කණ්ඩායම් තරග නියෝජනය කරමින් හංසන ගයාෂාන්, රුචිර සන්ජන හා මලීන් ප්‍රනාන්දු එම තරගවලට පිවිසෙති. ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් මීටර් 50 පිරිමි සමනල ආර ඉසව්ව වෙනුවෙන් බර්මින්හැම් සැන්ඩ්වේල් ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේ පිහිනුම් තටාකයට පිවිසීමට නියමිතව සිටියේය.