කරාතේ අතුරු කමිටුවට පත් කර ඇත්තේ නිල බලයෙන් පත්විය නොහැකි පිරිසක්

91

කරාතේ සම්මේලනයේ හිටපු නිලධාරීහු ජනාධිපතිට පැමිණිලි කරති
ඉදිරියේදී තව දේවල් හෙළි කරනවා
කරාතේ හිටපු උප සභාපති නදිත සොයිසා

ක්‍රීඩා පනතේ සංශෝධනය වූ වගන්ති අනුව සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම සහ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් පැවති ජාතික කරාතේ සම්මේලනය විසුරුවා හැර සාමාජික බලයෙන් පත් විය නොහැකි පිරිසක් අතුරු පාලක කමිටුව ලෙස පත් කර ඇතැයි ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඒ පිළිබඳව සත්‍ය තොරතුරු සොයා බලා වරද නිවැරදි කිරීමේ හැකියාව තවමත් ඇති බව සඳහන් කරමින් නිකුත් කර ඇති එම ලිපියේ පිටපත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන්ටද යොමු කර ඇත.

එසේම පැවැති නිලධාරී මණ්ඩලය ඉන් ඉවත් කිරීමට හේතු වූයේ කුමන ආකාරයේ ක්‍රීඩා පනත උල්ලංඝනය කිරීමක් ද නොඑසේ නම් කුමන වාර්තාවක් පදනම් කර වැරැදිකරු වීමෙන් දැයි තමන් හට දැනුම් දෙන ලෙස ද එම ලිපිය මගින් ඔවුන් ඉල්ලා ඇත.

අතුරු පාලන කමිටුවට පත් කර ඇති නිලධාරීන් අතර සභාපති ලෙස පත්කර ඇති තැනැත්තා වැඩිම වාර සංඛ්‍යාවක් ජාතික කරාතේ සම්මේලනයේ සභාපති සහ ලේකම් වශයෙන් තනතුරු දරා ඇති අයෙකු බවත් ඒ කිසිදු වසරක අයවැය ලේඛනය නිසි ආකාරයෙන් ඉදිරිපත් කර නොමැති බවත් එක් අවස්ථාවකදී අයවැය පියවා ගැනීමට නොහැකිව කාර්යාලයට ගිනි තබා ඇති බවත් එම ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා යුද හමුදා කරාතේ පුහුණුකරු ලෙස ලෙසද කාලයක් කටයුතු කර ඇති ඔහු 2015 වර්ෂයේ අතුරු පාලන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ජපානයේ පැවති ආසියානු කරාතේ ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයකු අතුරුදන් කර පැමිණි අයෙකු බවටද ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇති බව එම ලිපියේ සඳහන් වේ.

අතුරු පාලන කමිටුව සඳහා පත් කර ඇති තවත් පුද්ගලයන් තිදෙනකු වෙනත් කරාතේ සංවිධානයක් ආරම්භ කර ජාතික කරාතේ සංගමය බිඳ දැමීමට වෙර දරා එය අසාර්ථක වූ බවත් එහි සඳහන් වේ.

ඔවුන් තිදෙනා 2022 වසරේදී ව්‍යාජව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ බව පවසමින් ජාතික කරාතේ ශූරතාවලියක් ද පවත්වා පසුව එය නීති විරෝධී සහ දඬුවම් ලැබිය යුතු වරදක් බව දක්වමින් හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දන්වා තිබුණ ද ක්‍රීඩා අමාත්‍යාංශය ඒ පිළිබඳව මුනිවත රැකි බව ද ඉහත ලිපියේ සඳහන් කර තිබේ.

අතුරු පාලන කමිටුවට පත් කර ඇති නිලධාරීන් කරාතේ සංගමයේ සිටි තමන් මූල්‍ය වංචා සිදු කර ඇති වැරදිකරුවන් ලෙස සඳහන් කර ඇතත් 2015 සිට මේ දක්වා නිවැරදි සහ සම්පූර්ණ ගිණුම් වාර්තා තමන් සතුව පවතින බවද එහි පිටපත් සාමාජිකයන් ට ලබා දී ඇති බව ද එම ලිපියේ දැක්වේ.

2015 වසරේ සිට මේ දක්වා නිලවරණ 4 කින් නොකඩවා ජයග්‍රහණය කිරීමට තම නිලධාරීන් සමත් වූයේ එම විශ්වාසය මත බවද ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ හිටපු ලේකම් කීර්ති බස්නායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ලිපිය මගින් සඳහන් කර ඇත.

එසේම එහි තවදුරටත් දැක්වෙන්නේ 2015 – 2023 අතර තම කන්ඩායමේ පාලන කාලය තුළ කිසිදු විදේශ සංචාරයකදී කිසිදු ක්‍රීඩකයෙක් විදේශයන්හිදී අතුරුදන් වී නොමැති බවයි. මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික කරාතේ කණ්ඩායමේ අධක්ෂ හා හිටපු උප සභාපති නදිත සොයිසා මහතා පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවී ඇති අකටයුතුකම් සම්බන්ධයෙන් නියමිත ලිපිගොනු සහ සාක්ෂි සහිතව ඉදිරියේදී මාධ්‍ය වෙත දැනුම් දෙන බවයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment