වෛරල් වුණ ඇලිස් ගැන ශෙනාල් කියන කතාව – ශෙනාල් නිෂ්ශංක

73

කවදාවත් සුනිල් අංකල් අනුකරණය කරන්නේ නෑ

මේ දවස්වල සමාජමාධ්‍යවල වීඩියෝ එකක් වෛරල් වෙනවා. ඒ හිටපු ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ඇලිස් ගීතය. හැබැයි මේ ගායනය කරන්නෙ සුනිල් පෙරේරා නම් නෙමෙයි. තරුණ කොල්ලෙක්. ඔහු නමින් ශෙනාල් නිෂ්ශංක. දැන් ඔහු ජිප්සීස් කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක්. විවිධ විවේචන වගේම පැසසුම් එක්ක සංසරණය වන මේ වීඩියෝවේ වත ගොත ගැන දැනගන්න ශෙනාල් හැර වෙන සුදුස්සෙක් කොහිද.

වෛරල් වුණ ඇලිස් ගැන ශෙනාල් කියන කතාව - ශෙනාල් නිෂ්ශංක

ශෙනාල් කොහොමද ජිප්සීස් බෑන්ඩ් එකත් එක්ක එකතු වෙන්නෙ?

අපේ පවුලෙ කවුරුවත් සංගීතයට සම්බන්ධ අය නැහැ. නමුත් පොඩිකාලෙ පටන්ම මම මේ බෑන්ඩ් එකේ සිංදු අහනව. ඒවා කොච්චර ආසාවෙන් අහනවද කියනවනම් මට මේ ගීත කටපාඩම්. කාලයත් එක්ක මම රොක් සංගීතය පැත්තට වැඩිපුර නැඹුරු වෙනව. පාසල් කාලයේම අපි සෙට් එකක් එකතු වෙලා වෙස්ටර්න් බෑන්ඩ් එකක් පටන් අරගෙන නයිට් ක්ලබ්වල” පබ්ස්වල ඉන්ග්ලිෂ් ගීතම ප්ලේ කළත් එකතැනකදි අපිට මේ බෑන්ඩ් එක නවත්වන්න සිදු වෙනව. ඉන් පස්සෙ ගිටාර් එකක් එක්ක පමණක් සෝලෝ ආටිස්ට් කෙනෙක් හැටියට පබ්ස්වල ප්ලේ කරන්න පටන්ගන්නවා. මේ කාලෙදි තමයි මම සිංහල ගීත ගායනා කරන්න පටන්ගන්නෙ. ජීප්සීස් කණ්ඩායමේ ගීතත් මේ අතර තියෙනව. මේ කාලෙදි පේමන්ට්වලට වඩා මට ටිප්ස් ලැබිල තියෙනව. ඒ අවස්ථාවලදි බොහෝ අය වීඩියෝ කරනව. මෙහෙම වීඩියෝ එකක් දැකල තමයි මට පියල් අංකල්ගෙන් කෝල් එකක් එන්නෙ. මට තාමත් හිතාගන්න බෑ මේ සිදු වුණ දේ. මොකද කවදාවත් සුනිල් පෙරේරා වෙන්න මට වුවමනා වුණේ නැහැ.

වෛරල් වුණ ඇලිස් ගැන ශෙනාල් කියන කතාව - ශෙනාල් නිෂ්ශංක

● ජිප්සීස් කණ්ඩායමට නැවතත් සුනිල් පෙරේරා කෙනෙක් ඇවිත් කියන කතාව අද බොහෝ දෙනෙක් කියනව?

ඔව්” එහෙම කියන්නෙ මගේ වොයිස් ටෝන් එක නිසා වෙන්න ඇති. බයිල සිංදු කියනකොට මොකක් හරි හේතුවකට මගෙන් එන්නෙ අංකල් සුනිල්ට කිට්ටු වොයිස් එකක්. ඒක මටත් තේරුණා. මොකද මිනිස්සු හරි කැමතියි ඒකට. එතනදි මතක් වෙන්නෙ සුනිල් පෙරේරාව. එතුමා අද නැති වුණත් මිනිස්සු හරි කැමතියි ඒ කටහඬට. බොහෝ තැන්වලදි මට කියන දේවල් වලින් වගේම සමාජමාධ්‍යවල පලවන කමෙන්ට්වලින් ඒ බව වඩාත් ඔප්පු වෙනවා.

● මොන වගේ ප්‍රතිචාරයක්ද ඔබට ලැබෙන්නෙ?

ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ගොඩක්ම හොඳයි.

● ශෙනාල්ගෙ විස්තර කොහොමද?

මගේ ගම ගම්පහ. පවුලේ ඉන්නෙ මමයි” අම්මයි” තාත්තායි” අයියයි. පාසල් ගියේ කොළඹ නාලන්ද විද්‍යාලයට. පාසල් යන කාලෙ සංගීතයට තිබුණ ආසාව නිසාම විෂයයක් හැටියට හැදෑරුවා. නමුත් ගෙදරින් ඒකට අනුබලයක් ලැබුණෙ නැහැ. නමුත් එක තැනකදි එයාල මට සපෝර්ට් කරන්න පටන් ගන්නව. අපේ තාත්තා ළඟ වෙස්ටර්න් මියුසික්වල කැසට්” සීඩී කලෙක්ෂන් එකක් තිබුණා. මේවාත් එක්ක තමයි මගේ මනසත් වෙස්ටන් මියුසික් පැත්තට බරවෙන්නෙ.

● පියල් ජිප්සීස් එක්ක එකතු වෙන්න කතාකරද්දි මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?

පියල් අංකල් මාව දැක්කෙ කොහේදිද කියන්න මම දන්නෙ නැහැ. ඔහු කිව්වෙ මගේ වීඩියෝ එකක් දැකල” ඊට පස්සෙ තවත් ඒවා බලලා තමයි මට කෝල් කළේ කියල. දන්න විදිහට මම ලයිව් ෆර්ෆෝම් කරනව පියල් අංකල් දැකල නැහැ. එදා මම යාළුවෙකුගෙ පාර්ටි එකකට යන්න ලෑස්තිවෙලා ඉදිද්දි නොදන්නා අංකයකින් කෝල් එකක් ආවා. මම ආන්ස්වර් කරනකොටම” මම පියල් පෙරේරා ජීප්සීස් බෑන්ඩ් එකෙන් කියල කිව්වා. එතනදි මම දෙවතාවක්ම කවුද කියල ඇහුවා. ඇත්තටම කිව්වොත් වාඩිවෙලා ඉන්න තැනින් මාව නැගිටුණා. ඒ වෙලාවෙත් මම හිතුවෙ ෂෝ එකකටවත් කතාකරනවද කියල. නමුත් ඔහු මගෙන් ඇහුව ජිප්සීස්ලට ජොයින් වෙන් කැමතිද කියල. මම දෙන්න ඕන උත්තරය ඔව් වුණත් ඒ උත්තරය ආවෙ නැහැ ඒ වෙලාවෙ. සතුට කොච්චරද කියනව නම් මම ඒ වෙලාව් යර්ස් කියල බිත්තියට අතින් පහරක් ගැහුවා. මම ෆෝන් එකේ ස්පීකර් එක දාගෙනම තාත්තා ඉන්න කාමරේට දිව්වා. තාත්තා ඒ වෙලාවේ පියල් අංකල්ගෙ වොයිස් එක හඳුනා ගත්තා. ඒක මට හිතාගන්නවත්” විශ්වාස කරන්නවත් බැරි දවසක් වුණා.

● ඒ ප්‍රවීණයන් අතර ඔබට අපහසුතාවක් දැනුණාද?

මම එක්ක තව දෙන්නෙක් බෑන්ඩ් එකට එකතු වුණා. අපි ගිය ගමන්ම බෑන්ඩ් එක ඇතුළෙ හරිම අමුතු වුණා. අපිටත් අමුතුයි වගේ. ටික දවසක් යද්දි අලුත්ම ෆ්‍රෙෂ් එකක් වුණා” අලුත්ම බෑන්ඩ් එකක් වගේ. ඇත්තටම බෑන්ඩ් එකේ ඔක්කොම මට වඩා වයස අය ඉන්නෙ. මම තමයි බාලම. එහෙමයි කියල මට කිසිම වෙනසක් දැනුණෙ නැහැ. ඔවුන් වෙනසක් දැනෙන්න දුන්නෙත් නැහැ.

● බොහෝ අය හිතන්නෙ පියල් සහ ශෙනාල් ඥාතීන් බව?

නැහැ” එහෙම කිසිම ඥාති සම්බන්ධයක් අපි අතර නැහැ.

● ගයාන් පෙරේරා ඔබට කතා කළාද?

මෙහෙමයි” ගයියා කියන්නෙ අපේ කාලයේ අපිට ලෙජන්ඩ්ස්ලා. ඒක අපේ තාත්තලාගේ කාලයේ සුනිල් අංකල්ලා ලෙජන්ඩ්ස්ලා වගේ තමයි. එයාල අදටත් කොන්සර්ට් එකකදි මුණගැහුණත් ගයාන් අයියේ කියල කතා කරනව හැරෙන්න ලොකු සම්බන්ධතාවක් නැහැ.

● ජිප්සීස්ලාට සම්බන්ධ වුණාට පස්සෙ ඔබ බොහොම ජනප්‍රියයි?

ඔව්” කොන්සර්ට් එකකට ගියත් මට අද ඒක අත්විඳින්න ලැබෙනව. මේ ක්‍රෙඩිට් එක යන්න ඕන ජිප්සීස් කණ්ඩායමට. මෙතනදි මම මගේ උපරිමයෙන් කරනව. මොකද මේ මම ඒ තරම්ම කැමැත්තෙන් හිටපු දෙයක් නිසා.

● කතාවක් යනව සමහර තැන්වල රෙකෝඩින් ප්ලේ කරනව කියල?

නෑ… නෑ… නෑ… ඇලිස් වීඩියෝ එක වෛරල් වුණාට පස්සෙ තමයි පොඩි ප්‍රශ්නයක් වුණේ. සාමාන්‍යයෙන් බෑන්ඩ් එකෙන් වීඩියෝ එකක් ප්‍රමෝට් කරනව නම් ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ එකක් එහෙමම දාන්න බැහැ. ඝෝෂාව වැඩියි. අපි ලයිව් ප්ලේ කරන එක මික්ස් එකෙන් එදා දවසම රෙකෝඩ් වෙනව. ඉතිං අපි ගන්න වීඩියෝ එකට ලයිව් ගහන ඕඩියෝ එක මික්ස් කළාම ඒක හරියට සිංග් වෙලා නැති ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නෙ.

● ඔබ මේ කරන්නෙ අනුකරණයක්ද?

අපෝ නැහැ. මම කවදාවත් සුනිල් අංකල් අනුකරණය කරන්නෙ නැහැ. මට එහෙම වෙන්නත් බැහැ. මේ මගෙන් එන වොයිස් එක. හැබැයි මට පුළුවන් මගේ වොයිස් එක හරහා ඔහුව රසිකයන්ට නැවත නැවතත් මතක් කරවන්න.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment