හොර පිළිකා ඖෂධයටත් මිලියන 100ක්

95

ප්‍රශ්න සහගත ‘ඉමියුනෝග්ලොබියුලන්’ ඖෂධය ගෙන්වූ සමාගම විසින්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ බවට වූ ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කරමින් ගෙන්වූ ‘රිට්‍රක්සිමැස්’ නමැති පිළිකා ප්‍රතිකාරක එන්නත් තොගයක් රුපියල් මිලියන සියයකට වැඩි මුදලකට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් ගෙන්වනු ලැබූ මෙම එන්නත් තොගයෙන් එන්නත් 2200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන ඇති අතර ඉන් එන්නත් 2000කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට රෝගීන්ට ලබාදී ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.

අදාළ ‘රිට්‍රක්සිමැප්’ එන්නත් මිලදී ගැනීමේදී එක් මාත්‍රාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් 152ක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බවත් සම්පූර්ණ එන්නත් තොගය සඳහා රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් වැයකර ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රසම්පාදන ක්‍රමවේද අවභාවිත කරමින් දූෂණ වංචා සිදු කිරීම් උපරිම සීමාවට ගොස් ඇති මොහොතක, තාක්ෂණික වශයෙන් දූෂිතයන් කොටුකර ගතහැකි තත්ත්වයට නිරාවරණය වූ ‘ඉමියුනෝග්ලොබියුලින්’ ගනුදෙනුව සිදු කරනු ලැබූ සමාගම විසින්ම මෙම ‘රිට්‍රක්සිමැස්’ එන්නත් ගනුදෙනුව ද සිදුකර ඇති බවත් එබැවින් මේ පිටුපස සිටින දූෂිත විශේෂඥයන් පිළිබඳව විමර්ශන කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පහසුවනු ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment