කොළඹින් කටුවාපිටියට… – ජන පවුර යුක්තිය ඉල්ලා නගන හඬක් – අප්‍රේල් 21

197

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියති

පාස්කු ප්‍රහාරයේ සත්‍යය යට ගැසීමට ඉඩ නොදී වින්දිතයන්ට යුක්තිය, සාධාරණය ඉල්ලා ලබන 21 දා පැවැත්වීමට නියමිත ‘ජන පවුර’ සාමකාමී විරෝධතාවට ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව එක්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

පාස්කු ප්‍රහාරයට වසර 4 ක් පිරෙන ලබන 21 වැනිදා කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය දෙපස පෙ.ව. 8.30 සිට ජනතාව පෙළගැසී සිටිමින් මෙම විරෝධතා ජන පවුර ආරම්භ කරන බව ඊයේ (17 දා) කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කාදිනල්තුමන් සඳහන් කළේය.

පාස්කු ඉරිදා පළමු ප්‍රහාරය සිදු වූ උදෑසන 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීම සඳහා කාර්යාලවල, කම්හල්වල සහ අනෙකුත් වැඩබිම්වල සිටින සියලු දෙනාටත් එක්වන ලෙස ඉල්ලා සිටි කාදිනල්තුමෝ ‘ජන පවුර’ සාමකාමී විරෝධතාව අවසානයේ කටුවාපිටිය දේවස්ථානයේදී දේව මෙහෙයක් සහ ජනහමුවක් ද පැවැත්වීමට කටයුතු කරන බව පැවසූහ.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මෙසේ පැවසූහ.

වත්මන් රජය, ජනපතිවරයා හෝ හිටපු කිසිදු රජයක් පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කිරීමට ක්‍රියා කළේ නැහැ. නමුත් අපි දේශීයවත්, ජාත්‍යන්තරවත් තවදුරටත් මෙම සටන ඉදිරියට ගෙන යෑමට තීරණය කර තිබෙනවා. වින්දිතයන්ට ද මේ දක්වා සාධාරණය ඉටු වී නෑ. අපි මේ පිළිබඳව ජාත්‍යන්තර අවධානය තදින් යොමු කර තිබෙනවා. මෙය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. මෙය ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදුවූ දරුණුතම සහ මිලේච්ඡතම ප්‍රහාරයක් බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේත් හිටපු නීතිපතිවරයාත් පිළිගෙන තිබුණා. මෙය මහා කුමන්ත්‍රණයක්. එය දේශපාලන බලය ලබා ගැනීමට කළ ප්‍රහාරයක් බවත් කියැවෙනවා. මෙහි සත්‍යය සොයා නොගැනීම රටේ ඉදිරි අනාගතයට හොඳ පූර්වාදර්ශයක් නොවේ. මේ සියලු අපරාධ කාලයේ වැලි තලාවට වසා දැමීම දූෂිත දේශපාලනයේ එක් පැතිකඩක්. අපි ඒ නිසාම මෙය යටපත් වීමට ඉඩ නොදිය යුතුයි. අපරාධකරුවන් ආරක්ෂා කරන දේශපාලන බල අධිකාරියට විරුද්ධව නැඟී සිටිය යුතුයි, 21 දා පවත්වන ජන පවුරේ අරමුණ එයයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment