විජයදාසගේ උසාවි කතාවට අධිකරණ සේවා කොමිසමෙන් කථානායකට පිළිතුරු ලිපියක්

147

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් අධිකරණ පද්ධතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය මගින් එල්ල කළ චෝදනාවන්ට අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වකීය නිරීක්ෂණ සටහන් ඇතුළත් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය හා සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ හා ගාමිණී අමරසේකර මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම පිළිතුරු ලිපිය කථානායකවරයා වෙත යොමු කොට ඇත.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න ගත සිය කතා සිදුකරමින් සභාගත කරන ලද ලේඛන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ද යොමු කර තිබූ අතර එම ලේඛන කියවා පරිශීලනය කිරීමෙන් අනතුරුව ඒ අනුව පෙනී ගිය නිරීක්ෂණ අනුව ඇමැතිවරයාගේ කතාවෙන් කියැවුණු කරුණු බොහෝමයක් සත්‍යයෙන් තොර බවට දන්වමින් මෙම පිළිතුරු ලිපිය යවා ඇත.

ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ සිය කතාව මගින් ගල්කිස්ස අධිකරණයේ විදුලිය හොරෙන් ලබාගෙන අනිසි ලෙස භාවිත කිරීම, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විස්කි බෝතල් අතුරුදහන් වීම, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ මත්ද්‍රව්‍ය නඩුවලට අඩු දඬුවම් ලබාදීම, ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍රයේ වේලාව වෙනස් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් ව්‍යවස්ථාවේ 7 වැනි වගන්තිය අකර්මණ්‍ය කිරීම, ජනාධිපති නීතිඥවරයකු විනිසුරුවරුන්ට කරන බලපෑම්, කොළඹ දිසා අධිකරණයේ කටයුතු පහළ විනිසුරුවරුන්ගේ දුක් ගැනවිලිවලට විසඳුමක් නොමැති වීම හා උසස් වීම් නොලැබීම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වසර 9ක් එක දිගට සේවයේ යෙදවීම ආදී කරුණු පිළිබඳ දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදුකර තිබිණි.

සමන්ත ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment