විජේලක්‍ෂ්මිට සවන් දෙමු

383

දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ඊළඟට ඇතිවූ විශාලතම යුද්ධය ලෙස වියට්නාම් යුද්ධය හඳුන්වනු ලැබේ. මෙහිදී උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාමය එකිනෙකාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළහ. 1955 දී පටන්ගත් මේ යුද්ධයේ මුල මෙසේය. එකල ලොව බලවත්ම රාජ්‍ය දෙක වූයේ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව නමැති කොමියුනිස්ට් රාජධානිය සහ ලෝක ධනවාදී පිලේ වැඩිම කොටස් හිමියා වූ ඇමෙරිකා එක්සත් ජනපදය ය. මේ අතර සෝවියට් සංගමය උතුරු වියට්නාමය ඔස්සේ ස්වකීය කොමියුනිස්ට් ව්‍යාපාරය අග්නිදිග ආසියාව පුරා පැතිරවීමට පටන් ගත්තේය. මෙහිදී කෝපයට පත් ඇමෙරිකාව දකුණු වියට්නාමයේ ඒ වනවිටත් සිටි ඇමෙරිකන් රූකඩ ආණ්ඩුව සමග එකතු වී උතුරු වියට්නාමයට පහරදීමට පටන් ගත්තේය. මේ යුද්ධය පුරා අවුරුදු 20ක් පැවැතුණේය. සංග්‍රාමය අවසානයේ දී ගණන් හදා බැලීමේ දී රටවල් දෙකේම තිස් ලක්‍ෂයක් මියගොස් සිටියහ. ඒ අතර දකුණු වියට්නාමයට උදව් සඳහා එරටට පැමිණ සිටි ඇමෙරිකන් හමුදා භටයන් පනස් අටදහස් දෙසිය විස්සක් මියගියහ. මේ යුද්ධය අවසන් වන විට ඇමෙරිකාව ඒ සඳහා ඩොලර් බිලියන ගණනාවක් වියදම් කර තිබිණ. අනුන්ගේ රටේ තිබෙන යුද්ධයකට ඇමෙරිකානුවන්ගේ බදු සල්ලිවලින් එපමණ මුදලක් වියදම් කිරීම ගැනත් ඇමෙරිකානුවන් පනස් අටදහස් දෙසිය විස්සක් යුද්ධයට බිලිදීම ගැනත් ඇමෙරිකානු ජනයා කෝපයට පත්වූහ. මේ යුද්ධයෙන් ජය ලැබුවේ සෝවියට් සංගමයේ සහයෝගය ලැබූ උතුරු වියට්නාමයයි. එනම් මෙම යුද්ධය අවසානයේ දී ඇමෙරිකාව පරාජයට පත්ව තිබිණ. උතුරු වියට්නාමයේ ගරිල්ලා නායකයා වූ හෝ චි මිං දකුණු වියට්නාමය ද එකතු කරගෙන කොමියුනිස්ට් රාජ්‍යයක් පිහිටු වීය. ඒ කොමියුනිස්ට් රාජ්‍යය අදටත් තිබේ. මෙහිදී තවත් වැදගත් දෙයක් විය. එනම් යුද්ධයේ දී ඇමෙරිකානුවන් පනස් අටදහස් දෙසිය විස්සක් මියගියාට අමතරව තවත් ඇමෙරිකන් සෙබළුන් විසිපන්දහසක් පමණ අතුරුදන් වූ බවය. එම සෙබළුන් අදටත් ගෙදර පැමිණ නැති බැවින් වියට්නාම් යුද්ධයෙන් මියගිය ඇමෙරිකානුවන්ගේ සම්පූර්ණ ගණන අසූදහසක් පමණ වෙතැයි විශ්වාස කරනු ලැබේ.

යුද්ධයට යන මිනිසාගේ මළමිනියවත් අඩුම ගානේ ගෙදර එනු දැකීම ගෙවල්වල අයගේ ප්‍රාර්ථනය වේ. එහෙත් කිසියම් කෙනකු යුද්ධයට ගොස් මළමිනියවත් දකින්නට නොලැබුණු කල්හි එය එසේ අතුරුදන් වූ පුද්ගලයාගේ ඥාතීන්ට සදාකාලික දුකකි. 1983 සහ 2009 අතර ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදී බෙදුම්වාදී යුද්ධයේ දී පාර්ශ්ව දෙකෙන්ම ලක්‍ෂයක් පමණ අතුරුදන් වූ බව සමරුන්ගේ මතය වේ. මේ යුද කලාපවල මළමිනී හුවමාරු කර ගැනීම භාරව සිටියේ රතුකුරුස සංවිධානයයි. එහෙත් රතුකුරුස සංවිධානයට ද ගමන් කිරීමට බැරි තරම් දරුණු වූ යුද කලාප ශ්‍රී ලංකාවේ උතුරේත්, නැඟෙනහිරත් තිබිණ. මේ සුවිශාල තැනිතලා සහ වනාන්තර ප්‍රදේශවල දසදහස් ගණනකගේ සිරුරු තවදුරටත් හඳුනා ගැනීමට නොහැකි තරමට කුණු වී පොළොවට පස් විය. ඝර්ම කලාපික රටවල මළමිනී කුණුවීම ඉතා වේගයෙන් සිදුවෙයි. ලංකාව ඝර්ම කලාපීය රටකි.

ප්‍රභාකරන්ගේ යුද තොටිල්ල වූ කිලිනොච්චි නගරයට ආසන්නයේ පිහිටි ආනන්දපුරම් ගම්මානයේ වෙසෙන යෝගේෂ්වරන් විජේලක්‍ෂ්මි අත ඡායාරූපයක් තිබේ. ඇය දිනපතාම මේ ඡායාරූපය අතගාමින් ද ඒ දෙස බලමින් ද හඬා වැලපෙන්නීය. මේ ඡායාරූපයේ සිටින්නේ ඇගේ දියණිය වූ අනූෂා විජේලක්‍ෂ්මි ය. කිලිනොච්චි මධ්‍ය මහා විදා්‍යාලයේ උසස් පෙළ සිසුවියක වූ ඇය මීට අවුරුදු 16 කට පෙර අතුරුදන් වූවාය. ඒ අවස්ථාව වූ කලී යුද්ධය එහි දරුණු අවසානය දකිමින් සිටි කාලයයි. අතුරුදන් වන විට අනූෂා විජේලක්‍ෂ්මිගේ වයස අවුරුදු 16 කි. අද ජීවත්ව සිටියා නම් අනූෂා 34 හැවිරිදි මවක වන අතර, යෝගේෂ්වරන් විජේලක්‍ෂ්මි මිත්තණියකි. යුද්ධය නිසා සිය දියණියත්, සිය මුනුපුරු මිනිපිරියන්ගේ සුරතල් බැලීමට තිබූ අයිතියත් ඇයට අහිමිවී තිබේ. මේ මොහොතේ දී ඉන්දියාව, ගාසා තීරය, පාකිස්තානය යන රටවල තිබෙන යුද තත්ත්වයන් ගැන ඇය කනින් අසා ඇත. ඒ ගැන වැඩි දැනුමක් නැතත් යෝගේෂ්වරන් විජේලක්‍ෂ්මි කියන්නේ යුද්ධ වැනි කලකෝලාහලවලින් මනුෂ්‍ය වර්ගයාට කිසිදු වැදගත්කමක් නැති බවය. යුද්ධය අවසානයේ දී තමා ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැමිණියේ බිම වැටී තිබූ මළමිනී උඩින් අඩි තබමින් බව ඇය කියයි.

යෝගේෂ්වරන් විජේලක්‍ෂ්මිගේ කතාව බී.බී.සී. පුවත් සේවය මගින් පසුගිය දා වාර්තා කර තිබිණ. අප රණවිරුවන් සිහි කිරීමේ උළෙල කොළඹ පවත්වා හඬාවැටෙන විට උතුරු නැඟෙනහිර දී යුද්ධයෙන් මියගිය දෙමළ තරුණ තරුණියන්ගේ මවුපියෝ ඒ ආකාරයෙන්ම හඬාවැටෙති. ලංකාවේ ජාතිවාදය ඇති කරන ලද්දේ දේශපාලනඥයන් විසිනි. ස්වකීය ඡන්ද පදනමට අවශ්‍ය වන පරිදි සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජනකොටස් බෙදාහදා ගැනීමට අපේ දේශපාලනඥයෝ එදා සිටම පුරුදුව සිටියහ. මීට අවුරුදු 60, 70 කට පෙර සිංහල සෝමපාලත්, දෙමළ ගනේෂනුත්, මුස්ලිම් මොහොමඩුත් එක පන්තියේ එක පේළියේ එකට උගත්හ. එහෙත් 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු පක්‍ෂ දේශපාලනය ආරම්භ වීමත් සමගම සෝමපාලත්, ගනේෂනුත්, මොහොමඩුත් මිනී මරා ගන්නට පටන් ගත්හ. මෙය සෙල්ලමක් නොවේ. මේ තත්ත්වය නැති කරන්නට සෙල්වනායගම් සහ බණ්ඩාරනායක වැනි ප්‍රමුඛ දේශපාලනඥයන් තුළ කිසිදු වුවමනාවක් නොතිබිණ. රට ජාතිය භේද වූ තරමට මේ රටේ දේශපාලනඥයෝ කැමැති වූහ. මන්දයත් මොහොමඩ්ට එරෙහිව සෝමපාල පාවිච්චි කිරීමට ඒ ක්‍රමය යටතේ පුළුවන් වූ බැවිනි. ඊළඟට මොහොමඩ් පිළිබඳ කේළමක් ආරංචි වූ සැණින් ගනේෂන් මාලු කපන මන්නයක් ද රැගෙන මොහොමඩ්ගේ ගෙදරට දුවන්නේ ඔහුගේ බෙල්ල කපන්නටය. ජාතිය යනු ඉතාම සංවේදී කාරණයකි. මෙයට ගිනි ඇවිළීම සඳහා පිටතින් ගින්දර අවශ්‍ය නැත. ඕනෑම ගින්නක් සඳහා අවශ්‍ය බඩු ජාතිය යන සංකල්පය තුළ තිබේ. අවශ්‍ය වන්නේ ඒ ගින්න තිබෙන තැනට පොඩ්ඩක් පිඹීම පමණි. ඒ ගිනි දලු අහස උසට නැඟී සෝමපාලගේත්, ගනේෂන්ගේත්, මොහොමඩ්ගේත් දරුවන් බිලි ගන්නවා ඇත.

ආනන්දපුරම් ගම්මානයේ වෙසෙන යෝගේෂ්වරන් විජේලක්‍ෂ්මිට සිදුවී තිබෙන්නේ ද මේ විපතමය. ඇගේ වේදනාව නිවන්නට හැක්කේ කාටද?


advertistmentadvertistment