ඉදිරි වසර දෙක තුළ මහා විහාර සංවර්ධන සැලසුම කඩිනම් කරන්න

125

ඉන්දීය සංචාරයේදී මෝදිට ත්‍රිපිටකය පූජා කළා

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමකගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරි වසර දෙක තුළ මහා විහාර සංවර්ධන සැලසුම කඩිනම් කරන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර බෝමළු විහාරයේ ඊයේ (22) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි. නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ඉදිරි වසර දෙක තුළ මහා විහාර සංවර්ධන සැලසුම කඩිනම් කරන්න

අපේ උරුමයන් ලෙස සීගිරිය සහ අනුරාධපුරය සැලකිය හැකියි. සීගිරිය අපේ දක්ෂතාවක් වන අතර, අපගේ ශිෂ්ටාචාරය තිබෙන්නේ මෙම අනුරාධපුර නගරය තුළයි. මහා විහාරය එහි ප්‍රමුඛත්වයක් ගනු ලබනවා. මහා විහාරය තමයි පාලි ධර්මයේ මූලස්ථානය. මෙවර මාගේ ඉන්දියානු සංචාරයේදී මෝදි අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වුයේ ත්‍රිපිටකයේ ඉංග්‍රීසි පිටපතක්.

මේ මහා විහාර සංවර්ධන සැලැස්ම මුල් කරගෙන අනුරාධපුර පූජා භූමියේ අනෙකුත් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වූයේ 1947 බණ්ඩාරනායක මහතාගේ සමයේදියි. නමුත් අද වන තෙක් මෙය සාර්ථකව අවසන් කිරීමට අප සමත්වී නැහැ.

නමුත් ඉන්දියාව නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් ආරම්භ කළේ 90 දශකයේදියි. අද නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රධාන ස්ථානයක් ලෙස ගොඩනඟා තිබෙනවා. රටවල් ගණනාවක් ඊට දායක වුණා. මුස්ලිම් රටක් වූ පාකිස්ථානයත් තක්ෂිලාව එලෙස ගොඩනැඟු‍වා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වුවත් මහා විහාරයේ වැඩකටයුතු අවසන් කිරීමට අපට හැකි වී නැහැ. අප කවුරුත් ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මට ලිපි එවනවා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර දෙන්න කියලා. අපි ඒ සඳහා සූදානම්. නමුත් මෙම මහා විහාරයේ මූලික වැඩකටයුතු අප මතක තබා ගත යුතුයි. නව නගරයක් ඉදිකිරීම ඕනෑම අවස්ථාවක කළ හැකියි. එහි ගැටලු‍වක් නැහැ. නමුත් මේ මහා විහාරයේ කැණීම් කටයුතු මූලික කර ගෙන අප ඉදිරියට යා යුතුයි. අටමස්ථානයේ මහා සංඝරත්නය අනුශාසනා මත මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මෙම ව්‍යාපෘතිය අපි දැන් ආරම්භ කළොත් ඉදිරි වසර 10දී යම් ප්‍රගතියක් අත්පත් කර ගන්න පුළුවන් වුවත්, මෙය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අඩුම තරමින් වසර 25ක්වත් ගත වෙනවා. මෙම කටයුතු ආරම්භ කළ විට ශ්‍රී ලංකාව පුරාවිද්‍යා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. එවිට මේ ගැන සොයා බලන්න අනිත් අය ඉදිරිපත් වෙනවා.

ඒ වගේම සිංහල ශිෂ්ඨාචාරය ආරම්භ වූයේ මල්වතු ඔයෙන්. මල්වතු ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ඊළඟ වසර දෙක තුළ මේ මහා විහාරයේ කැණිම් සිදු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය නම් විශ්‍රාම ගිය පුරාවිද්‍යා නිලධාරීන් සම්බන්ධ කර ගන්න පුළුවන්. මේවා එකිනෙකට සම්බන්ධ ව්‍යපෘති. ඒ අනුව අප ඉදිරියට යා යුතුයි.

සේනක බණ්ඩාරනායක, රෝලන්ඩ් සිල්වා, ශිරාන් දැරණියගල යන කිහිප දෙනෙකු සමඟ අප සාර්ථකව සීගිරිය ව්‍යාපෘතිය නිම කර තිබෙනවා. අප එලෙස අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කළ යුතුයි. පැරිස් නුවරට ගිය අවස්ථාවේ මම ඒ පිළිබඳව යුනෙස්කෝ සංවිධානය සමඟද සාකච්ඡා කළා. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලය මීට සම්බන්ධ කළ හැකියි. සංචාරකයන් දින කිහිපයක් මෙහි රඳවාගත හැකි අයුරින් මෙම ප්‍රදේශය දියුණු කළ යුතුයි. ඒ නිසා මෙම වැඩසටහනට ප්‍රමුඛත්වය ලබාදී ඉදිරියට ගෙන යා යුතුයි. මෙය ආරම්භ කළ විට එම කටයුතු ඉදිරියට ගෙන යෑමට ජාත්‍යන්තරයේ සහාය අපට ලැබෙනවා.

අනුරාධපුරය ඓතිහාසික නගරයක්. අනිත් රටවල් තම රටවල අතීතය ඉදිරියට ගෙන එනවා. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. අද දිඹුලාගල කැණිම් කටයුතු සිදු කළා නම් තායිලන්තයෙන්, කාම්බෝජියාවෙන්, වියට්නාමයෙන්, ලාඕසයෙන් සංචාරකයන් එනවා එම ස්ථානය නරඹන්න. දැන් අප මුලින්ම අනුරාධපුර වැඩකටයුතු නිමා කරමු.

අපේ ඉතිහාසය හා ශිෂ්ටාචාරය පිළිබඳ අප ආඩම්බර විය යුතුයි. අපිට අපේ ඉතිහාසය ලෝකයට ප්‍රදර්ශනය කරන්න අවශ්‍යයි. එනිසා අපේ උරුමය දියුණු කර ගත්තොත් අපට සංචාරක ව්‍යාපාරයෙන් ඉහළ ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන් වෙනවා.

මෙහි රජරට ශිෂ්ටාචාරය කියලා වෙනම ප්‍රදර්ශනාගාරයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳවත් වෙනම ස්ථානයක් ඇති කළ යුතුයි. ඉන්දීය අගමැතිවරයා මා සමඟ කුසිනාරාව, සාංචි නිර්මාණය කළ ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. බෞද්ධ සංචාරකයන් ගෙන්වා ගැනීමට හින්දු රටේ එවැනි ස්ථාන ඉදිකර තිබෙනවා. නමුත් අපි අද එහෙම තත්ත්වයකට පත්වෙලා නැහැ.

ඒ වගේම මහ විහාර විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට දැන් අප සාකච්ඡා කරමින් සිටිනවා. පැරණි පිරිවෙන් අධ්‍යාපනය අනුව ගැඹුරු ලෙස එම කටයුතු පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ස්ථානයක් හඳුනාගත යුතුව තිබෙනවා. මෙම කටයුතු මඟින් ඓතිහාසික අනුරාධපුර පුරවරයට විශේෂ අවධානයක් ලැබෙනවා. ‍

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ

අනුරාධපුරය කියන්නේ කෙබඳු තැනක්ද කියා හඳුනාගත් නායකයෙක් හැටියට ඔබතුමා මහා විහාරය නැවත ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහය මහා සංඝරත්නයේ ආශිර්වාදයට පත් වෙනවා. ඒ වගේම ඉතිහාසයේ පැවැති ජාත්‍යන්තර සබඳතා අනුරූපව ථේරවාද බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙසින් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ බෞද්ධ දර්ශනය හුවමාරු

ගැනීමටත් ඔබතුමා බලාපොරොත්තු වීම ගැන අපගේ ප්‍රසාදය පළ කර සිටිනවා.

1948දී බණ්ඩාරනයක මහතා අනුරාධපුර පූජා භූමිය ගැසට් කරලා සංවර්ධනය කළා. ජයවර්ධන ජනාධිපතිවරයා මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව ජේතවනාරමය හා අභයගිරිය විහාර පිළිසකර කිරීමට කටයුතු කළා. නමුත් අටමස්ථානයේ තවත් විහාර සංකීර්ණ පිළිබඳව කාගේවත් අවධානය මෙතෙක් යොමු වෙලා නෑ. ඒ වගේම මේ අනුරාධපුර පූජා භූමිය අනාගතය සඳහා ආරක්ෂා කර ගැනීමට සුදුසු, මේ බිමට ආවේණික නීති රීති පද්ධතියක් සකස් කර ගැසට් කළ හැකි නම් එය ඉතා ජාතික වැදගත්කමක් ඇති කාර්යයක් ලෙස මම දකිනවා.

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා ලංකාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ

ජනාධිපතිතුමා ජනාධිපති පදවියට පත්ව වසරක් සම්පූර්ණ වන මේ මොහොතේ මහා විහාරයට සම්ප්‍රාප්ත වීම පිළිබඳව මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමනවා. ජනාධිපතිතුමා 2001 වසරේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කර, අග්‍රාමාත්‍ය ධූරයට පත්ව ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට පැමිණි අවස්ථාවේ, අපවත්වී වදාළ අපේ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමිපාණන් වහන්සේ යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව තමයි දෙවැනි රන්වැට ප්‍රතිසංස්කරණය කරගත යුතුයි යන යෝජනාව. එම යෝජනාව අපේ අටමස්ථානාධිපති හිමියන්ගේ පමණක් නොවෙයි, එවකට රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරීව වැඩ සිටි වර්තමාන අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේගේද අදහසක් වුණා. ජනාධිපතිතුමා නිතරම ප්‍රකාශ කළේ මහා විහාරය සංවර්ධනය කළ යුතුයි කියන කාරණය පිළිබඳවයි. අද එතුමා ජනාධිපතිවරයා ලෙස මේ මහා විහාරයට පැමිණ මහා විහාරය දියුණු කිරීම පිළිබඳ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම පිළිබඳව මා එතුමාට පුණ්‍යානුමෝදනා කරනවා.

මහා විහාර සංවර්ධන සැලැස්මට අනුව යෝජිත කටයුතු සිදු කිරීමට වසර දෙකක කාලයක් ගත වන බවත් ඒ සඳහා රුපියල් මිලියන 555ක මුදලක් වියදම් වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරල් ප්‍රදීපා සේරසිංහ මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා විහාර සංකීර්ණයට අදාළ සිද්ධස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීමටද එක්විය. පළමුවෙන්ම ජනාධිපතිවරයා දක්ෂිණ ස්ථූපය වෙත ගොස් එය නිරීක්ෂණය කළ අතර, අනතුරුව ථූපාරාම විහාර සංකීර්ණයේ සිදු කෙරෙමින් පවතින කැණීම් කටයුතුද නිරීක්ෂණය කළේය.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණ වැව ඤාණතිලක හිමිපාණන් වහන්සේ, අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි හිමිපාණන් වහන්සේ, ථූපාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කහල්ලේ ඤාණින්ද හිමිපාණන් වහන්සේ, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමිපාණන් වහන්සේ, අභයගිරි ව්‍යාපතියේ පූජ්‍ය ගොඩාමුණේ පඤ්ඤාසීහ හිමිපාණන් වහන්සේ ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment