සුවහසක් සාහිත නිර්මාණකරුවන්ගේ හද ගැහෙන රිද්මය එකම වේදිකාවක…
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල යනු සාහිත්‍ය කලාවට ලොබ බඳින සුවහසක් සහෘද පාඨක හදවත් දිනාගත් ප්‍රවීණ මෙන්ම අංකුර නිර්මාණකරුවන් සොයා ඇගයීමට ලක්කරන සාහිත්‍ය කලාවේ අභිවෘද්ධියට තෝතැන්නකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨය මගින් සංවිධානය කරන මෙම සාහිත්‍ය සම්මාන උළෙල 2024 එළඹෙන සැප්තැම්බර් මස 03 වැනිදා විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභා සංසදයේ දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කොට ඇත.
“සාහිත්‍යමය සාධක ඉවතලා සමාජ අධ්‍යයනයක යෙදෙන්නා සමාජයක පරිපූර්ණත්වය කෙරෙහි අන්ධයෙක් වෙයි.”
මේ රිචඩ් හොගාර්ට් (Richard Hoggart) වරෙක සාහිත්‍ය පිළිබඳ දැක්වූ අදහසකි.
පුද්ගලයාට සමාජ පරිපූර්ණත්වය කරා ගමන් කිරීමට අවැසිනම් කිසිවිටකත් සාහිත්‍ය ඉවතලා ගමන් කිරීමට නොහැකිය. මන්ද සාහිත්‍යය වූ කලී හුදෙක් ම භාෂා වික්‍රමයකට පමණක් සීමා වූවක් නොවන බැවිනි. එය සෑම මානව හදවතකම පාහේ කඨෝර කර්කශ මෙන්ම හදවත රසාලිප්ත කරන්නා වූ අද්දැකීම් සමූදායක් කැටිකර ගත් ජීවන වෘතාන්තයක් ද වන්නකි. සැබෑ සාහිත්‍යකරුවා සෑම විටෙක ම නිර්ව්‍යාජ හදවතක් ඇත්තෙකි. ඒ නිසා ඔහුගේ තෙලිතුඩින් පණගැන්වෙන්නේ ද සැබැවින්ම මහපොළොවේ පණගැහෙන නිර්ව්‍යාජ හදවත්වල ගැස්මය.
සුවහසක් සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ හද ගැහෙන රිද්මයන් එකම වේදිකාවක සම්මානයට පාත්‍ර කරලීමේ අරමුණින් සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය මෙවර පැවැත්වෙන්නේ 15 වන වරටය. සෑම වසරකම සාහිත්‍ය මාසයේ පැවැත්වෙන මෙම සම්මාන ප්රදානය සෙසු සම්මාන ප්‍රදානයන්ගෙන් වෙනස් වන්නේ මෙරට විශ්වවිද්‍යාලයක් මගින් පවත්වනු ලබන එකම සහ ප්‍රථම සාහිත්‍ය උළෙල මෙය වන බැවිනි. මෙම වසර ආරම්භයේ සිට ග්රන්ථ ප්‍රකාශන ආයතන හා කතුවරුන් විසින් 2023 වසරේ ප්‍රකාශයට පත් කරනු ලැබූ නිර්මාණ අප වෙත ලබාදුන්නේය. එම නිර්මාණ නවකතාව, කෙටිකතා, පi කාව්‍ය, ගේය කාව්‍ය, තීරු ලිපි හා විශේෂාංග ලිපි සංග්‍රහය, ශාස්ත්‍රීය කෘති (මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා විෂය ක්ෂේත්රයට අදාළව) ආදී ප්රවර්ගයන් යටතේ වෙන වෙනම ඇගයීමට ලක් කරනු ලබයි. එමෙන්ම මෙම සාහිත්‍ය උළෙල විශේෂිත වන්නා වූ අනෙක් කරුණ නම් මෙහි සියලු ඇගයීම් කටයුතු මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨයේ ආචාර්යවරුන්ගේ දායකත්වයෙන් සිදුවීමය.
මෙහි අධීක්ෂණ කටයුතු අදියර තුනක් යටතේ සිදුවනු ඇත. ඉන් පළමු අදියර ආරම්භයේ දී මෙම වර්ෂයට අදාළ ඇගයීම් සඳහා ලැබුණු කෘති 350කට අධික සංඛ්‍යාවක් අතුරින් විනිශ්චය කටයුතු සිදුකොට දෙවන වටය සඳහා කෘති 70කට පමණ ආසන්න සංඛ්‍යාවක් නිර්දේශ වී ඇත. එයින් තෝරාගත් විශිෂ්ටතම කෘති තෙවන වටයේ ඇගයීම් සඳහා යොමු කර ඇති අතර මේ වන විට එහි අවසන් අදියරෙහි විනිශ්චය කටයුතු සිදුවෙමින් පවතී. මෙම ඇගයීම් ක්‍රියාවලියේ අවසන් අරමුණ වන්නේ සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් උරදිය හැකි නිර්මාණකරුවන් සොයා ඔවුනට සාහිත්‍ය කලාවේ දොරගුළු විවර කර දීමය.
“සමාජයක් හෝ ජනකායක් හෝ සකස් කොට හික්මවමින් උසස් තැනක් කරා යවනු පිණිස ආගමටත් වැඩි බලයක් පාන්නේ ඒ ජනයාගේ සාහිත්‍යයට වේ”
මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සාහිත්‍ය පිළිබඳ දක්වන්නේ මෙවැනි අදහසකි. සැබැවින්ම සාහිත්‍යයෙන් තොර වූ සමාජයක මිනිසුන්ගේ පැවැත්මක් හෝ ගලා යෑමක් පිළිබඳව සිතිය නොහැකිය.
කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන අප සරසවිය එදා මෙදා තුර සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් උදාර මෙහෙයක් ඉටුකරනු ලැබීය. මෙරට කලා කෙත පෝෂණය කරනු පිණිස හැකි සෑම මොහොතක ම පාහේ අපගේ වගවීම නොපිරිහෙළා ඉටු කරන බවද සඳහන් කළ යුතුය. සුවහසක් මහපොළොවේ දලු ලා වැඩුණු රූස්ස ගස් අතර අතුපතර විහිදා වැඩෙන්නට වෑයම් කරන අංකුර සොයා යන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලට එකතු වන්නට සහෘද ඔබ සැමට ආරාධනා කරන්නෙමු.
● දසුනි වත්සලා වික්‍රමසිංහ
සහකාර කථිකාචාර්ය,
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය,
මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.