විදුලිය වැදී මියගිය අලි දෙදෙනා හොර රහසේම මිහිදන් කළ සැකකරු අල්ලයි

272

වනජීවී තිරප්පනේ බීට්ටු කලාපයට අයත් ඔරුක්මාන්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු වගා කර ඇති හේනේ ආරක්ෂාවට ඇද තිබූ අනවසර විදුලි වැටක වැදී මියගිය වන අලි දෙදෙනෙකු, නිලධාරීන්ට නොදන්වා වසන් කර හොර රහසේම බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වළදැමූ පුද්ගලයෙකු පෙරේදා (28) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ වනජීවී කාර්යාලය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඥානික්කුලම, උට්ටිමඩුව පදිංචි 47 හැවිරිදි අයෙකි.

සැකකරු පසුගියදා හේනට යනවිට මෙම වන අලි දෙදෙනා විදුලි වැට ආසන්නයේ මියගොස් ඇති බව දැන ගැනීමෙන් පසු මාර්ගයේ ගමන්ගත් බැකෝ යන්ත්‍රයක් ගෙන්වා වළවල් දෙකක් කප්පවා අලි දෙදෙනා මිහිදන් කර ඇත. ඒ සඳහා ඔහු රු. 79000ක මුදලක්ද වැයකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව වනජීවීය කියයි.

විදුලි වැට සඳහා ඇති විදුලි පරිපථය අක්‍රීය වීම නිසා හේන ආසන්නයේ තිබූ පදිංචි නොවූ නිවසකින් විදුලිය රැගෙන විදුලි වැටට සම්බන්ධ කර තිබූ බවද වනජීවීය කියයි. එසේම වන අලි දෙදෙනා වළ දැමීමට පෙර ටයර් දමා පුළුස්සා දැමීමටද සැකකරු උත්සාහ කර ඇති බව වනජීවී කාර්යාලය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (29 දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසු මෙම මරණ ද්විත්වය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වනජීවී කාර්යාලය කීය.

තිරප්පනේ – සමන් පෙරේරා


advertistmentadvertistment