පැය 24ම පත්තුවන සිග්නල් ලයිට් කළ හදියක්

566

පැලෑන කම්පා කළ දුම්රිය අනතුර

මොකක්ද මහත්තයෝ හැමදාම මේ ලයිට් එක කෝච්චියක් ආවත් නාවත් දිගටම වැඩක් කරනව. දැන් බලන්න මේ මෙතනම ඊයේ ජීවිත තුනක් බිලි ගත්ත කවුද මේවට උත්තර දෙන්නෙ මෙහෙම ඇවිල්ල බලල ගියාම ප්‍රශ්න විසඳෙනවද? පැය 24 ම මේක පත්තු වෙනව යනකොටත් පත්තුවෙනව එනකොටත් පත්තුවෙනව. මෙතන තව පස්කන්දක් තිබෙනව අපිත් ඩ්‍රයිවර්ල තමයි අපිත් බලල බලල තමයි වාහනේ දාන්නෙ. එක පාරක් පලා විකුණන මනුස්සයෙක් වැදුන ඒත් මේ විදියට විස්තරය කිව්ව වැඩක් උනේ නැහැ. ඊයේ තුන්දෙනෙක් නැති උනා ඒක හින්ද තමයි මේ දුම්රිය දෙපාර්තමේන්තුවෙ මහත්තුරු තුන්දෙනෙක් ඇවිල්ල තියෙන්නෙ.

පසුගිය 03 වැනි දින සවස 02. 00 ට ආසන්න ව බෙලිඅත්තේ සිට මහනුවර බලා යන ශීඝ්‍රගාමී දුම්රියට වැලිගම පැලෑන ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනකු සහ ආරක්ෂක අංශයේ හමුදා නිලධාරියකු දුම්රියට බිලි වීමෙන් පසුව ඊයේ එම ස්ථානය නිරීක්ෂණය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පැමිණි සිටි අතර මෙම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන කරුණුවලට නිසියාකාරව විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නේදැයි ‘දිවයින’ විමසූ අවස්ථාවේ එක් නිලධාරියෙක් පවසා සිටියේ අද දින දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩල කැඳවා තිබෙන බවත් ඒ අනුව සාකච්ඡා කර මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගනු ඇති බවත් එයට වඩා පිළිතුරක් ලබා දීමට ඔහුට නොහැකි බවත්ය. මෙම අවස්ථාවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වන සුසන්ත රත්නවීර මහතා ද එම ස්ථානය ට පැමිණ ජනතාව සමග සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කරමින් සිටි අතර ඔහු පවසා සිටියේ මෙවැන්නකි. මේ ස්ථානය විතරක් නෙවෙයි මෙයින් එහා පැත්තෙත් මේ ගැටලුව තිබෙනව. මේක දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදක්. ඒ මිනිස්සු හැමදාම සුද්ධ කරනව නම් හරි.

ඔහු එම අදහස් පළකරන අතර එම ස්ථානය වෙත යතුරු පැදියකින් පැමිණි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන රුවන් බෝපගේ මහතා ඔහුගේ අදහස් ප්‍රතික්ෂේප කරමින් වැලිගම ප්‍රාදේශීය සභාවේ වැඩ පිළිවෙළ පිළිබඳව චෝදනා කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් උද්වේගකරව අදහස් පළ කළේය.

“මන්ත්‍රීතුමා දෙපැත්තේ අවදානමක් තිබෙනවා තමයි. ඒත් ඕගොල්ලො කාණු කපන්න පස් කපල ගොඩ ගහල දාපු එකෙන් මේ පැත්තෙන් ගියපු එක තමයි කෝච්චියේ හැප්පිලා තියෙන්නෙ. දැන් මෙතන තමයි පේන්නෙ නැත්තෙ. ඔබතුමා තමයි පස් කැපුවෙ. ඔබතුමා තමයි මේ පස් කඳු දැම්මෙ සභාවෙන් ඒක නැහැ කියන්න බැහැ. සභාවෙන් තමයි පස් කන්ද දැම්මෙ ඒක නැහැ කියන්න බැහැ. පලා කොළ ගෙනියන සීයත් මැරුණෙ මෙතන පේන්නෙ නැතුව. සභාවෙන් තමයි පස් කන්ද දැම්මෙ ඒක පිළිගන්න ඕන ඔබතුමා. මේක සභාවට කීප දෙනෙක් දැනුවත් කළා ඒත් සභාවට ගාණක් නැහැ. අපිට කතා කරන්නත් බැහැ සභාවට ගිහිල්ල ඒකෙ අපි කියන දේවල් අහන්න මිනිස්සු නැහැ. සභාපතිතුමා ඇතුළුව මේ මංත්‍රීතුමත් එහෙමයි. අපි කියන කිසිම දෙයක් කරන්නෙ නැහැ. ඡන්දෙ කාලෙට ගමට ඇවිල්ල කතා කරනව විතරයි. නැතුව එන්නෙ නැහැ. ඡන්දෙට විතරයි ඊට පස්සෙ හොයා ගන්නත් නැහැ. මෙතන පස් කන්ද ගොඩ ගැහුවෙ වැලිගම සභාවෙන්. අර පැත්තෙන් අවදානමක් තිබෙනව ඒක හරි. මේ කණුත් රේල් පාරට වැඩියි. හදිසියෙන් ඇක්සිඩන්ට් එකක් උනොත් ඇවිල්ල කණුවෙ වදින්නෙ. මේ ලයිට් එක නිතරම පත්තු වෙනව. වහින වෙලාවට ලයිට් පත්තු වෙනව. උදේ පාන්දර පින්නටත් එලාම් එක වදිනව. මගේ ගෙදර මේ එහා පැත්තෙ තියෙන්නෙ. පොඩි පොදක් ගියත් එලාම් එක වැදෙනව ඇහෙනව.

පැය 24ම පත්තුවන සිග්නල් ලයිට් කළ හදියක්

වැලිගම පැලෑන ප්‍රදේශයම කඳුළින් තෙත් වූ අනතුරක් සිදුවී ඇත. එම අනතුරෙන් සමාජයට අහිමි වූයේ කොයිතරම් වටිනාකමක් ඇති ජීවිත තුනක් දැයි තක්සේරු කළ නොහැක. වැලිගම පොල්වතුමෝදර විදුහලේ දෙවැනි සහ හතර වැනි ශ්‍රේණි වල ඉගෙනුම ලබන ඩබ්ලිව්. මිහිර තත්සර සහ පිනිඳු පැහැසර මෙලොව හැරදා දුර ගමනක් ගොස් ඇත. ඔවුන්ගේ මව දරුවන් තිදෙනා පාසල නිමවීමෙන් අනතුරුව ගෙදර ගෙන ඒම සඳහා යන මොහොතේ පොල්වතුමෝදර ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදර ගොස් එහි සිටි දැනට හමුදා සේවයේ රාජකාරි කටයුතු කරමින් නිවාඩු ලබා පැමිණ සිටි සිය ඥාති සහෝදරයකු සමග ඔහුගේ ත්‍රීරෝද රථයෙන් පාසල නිමවූ පසුව දරුවන් සමග වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි සිය නිවසට යෑමට පැමිණ ඇත. පැලෑන දුම්රිය හරස් මාර්ගයේ ගමන් කිරීමට පෙර ඔවුන්ගේ නෙතට දුම්රිය පැමිණීම දැනුම් දෙන ආරක්ෂිත සංඥා පද්ධතිය ක්‍රියාත්මක වන අයුරු දකින්නට ඇතත් ත්‍රීරෝද රථය පැදවූ ඥාති සහෝදරයා එය ගණනකට නොගෙන සිය වාහනය දුම්රිය හරස් මාර්ගයේ ගමන් කිරීමට සැලැස්වූයේ මරුවා තමන් ඇතුළු දරුවන් දෙදෙනෙකු බිලි ගැනීමට සූදානමින් ළඟ ළඟම ගමනේ යෙදෙන බව නොදනිමිනි.

ඒ නිතරම ක්‍රියාත්මක වන දුම්රිය සංඥා පද්ධතිය ඔවුන්ගේ නෙතට හුරු පුරුදු නිසාවෙන් යැයි අපට සිතන්නට ඉඩ කඩ තබමිනි.

ලලිත් කුමාර නමැති මියගිය හමුදා නිලධාරියා එම පවුලේ සමීප ඥාතියෙකි. ඔහු වැලිගම පොල්වතුමෝදර පදිංචිකරුවෙක් වන අතර ඔහු වැලිගම පොල්වතුමෝදර සිට එම පොල්වතුමෝදර පාසලේ සිට පාසල් කටයුතු අවසන් වී මව සමග දරුවන් තිදෙනා සිය ත්‍රීරෝද රථයෙන් වැලිගම පැලෑන ට ප්‍රවාහනය කරමින් සිට ඇත. ත්‍රීරෝද රථය දුම්රියට හසුවීමෙන් පසුව මව ඉන් විසිවී දිවි ගලවාගෙන ඇති අතර අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙමිඳු තත්සර වැඩිමහල් පුතා බරපතළ ලෙස තුවාල ලබා දැනට මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබයි. ඩබ්ලිව්. මිහිර තත්සර සහ ඩබ්ලිව්. පිනිඳු පැහැසර මෙලෙස මියගිය දරුවන් වේ. තමන් සමග ත්‍රීරෝද රථයේ පැමිණි සිය දරුවන් හට වූයේ කුමක්ද කියාවත් සිතාගැනීමට ඔවුන්ගේ මව වන ඉමාලි මහත්මියට සිතා ගතවත් නොහැකිව ඇය තවමත් සිය දරුවන් සොයන්නේ වරින්වර ආසන්නයේ ඇති රේල් පාරේ ගමන් කරන දුම්රිය ශබ්දය ද යටපත් වන ලෙස විලාප නගමිනි. “අනේ මගේ දරුවන් විතරයි මට ඕන. හැමදාම එතන ලයිට් එක එහෙමයි තියෙන්නෙ. හදන්නෙ නැහැ කවදාවත් ඒක.” ඇයගේ ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවට මෙවර හෝ ඇසුනහොත් ඉදිරියේදීවත් මෙවැනි විපත් එම ස්ථානයෙන් වාර්තා නොවනු ඇත.

දුම්රියට ත්‍රීරෝද රථය හසුවීමෙන් ජීවිත තුනක් බිලි වීම පිළිබඳව ගාලු මාතර ප්‍රධාන පාරේ ස්ථානයක මාළු වෙළෙඳාමේ යෙදුණු අයෙකුද අදහස් පළකරමින් කියා සිටියේ “මම දැක්කා ත්‍රීවීලර් එක පැලෑන පැත්තට හරවනවා. මේ එක්කම වගේ කෝච්චියක් ආවා. මා කෑගහල කිව්ව සමහර විට ත්‍රිරෝද රථ රියදුරුට ඇහෙන්නේ නැතිව ඇති. ආපු වේගයෙන්ම ත්‍රිරෝදය දැම්මා. වේලාවට දුම්රියේ ඉදිරිපිට නොවැදනත් පැත්තෙන් වැදුන. ත්‍රිවිල් එක විසිවෙලා ගිහින් කණුවක වැදිලා. ආපස්සට ආවා. දරුවන් තිදෙනාත්, තවත් පුද්ගලයෙකුත්, ත්‍රිරෝද රථ රියදුරුත් සීසීකඩ ගිහින් වැටුණා. මම දුවගෙන ඇවිත් බලන කොට ත්‍රිරෝද රථ රියදුරු මිය ගිහින් තිබුණා. එක් දරුවෙකුට පමණයි සිහිය තිබුණේ. ඔහුගෙත් කකුල කැඩිලා. මේ ස්ථානයට විශාල පිරිසක් එකතු වුණා. පසුව අපි එක් දරුවකු දුම්රියෙනුත් අනෙත් දරුවන් ත්‍රිරෝද රථයකිනුනුත් මාතර මහ රෝහලට රැගෙන ගියා. සීජීආර් එකේ වාහනයක් ඇවිල්ල පසුගිය දවසක මේකෙ තිබිච්ච ගේට්ටුවල යකඩ කපාගෙන ගියා ඒකත් බාගෙට කපාගෙන ගිහිල්ල තියෙන්නෙ. හදිසියට වහගන්න තිබුණ පොලු දෙක. මිනී මැරෙනව තුන් හතර දෙනා එක පවුලෙ. ඉස්සෙල්ලා ඔය ගේට්ටු කපාගෙන ගියේ මොකද කියල හොයන්න ඕන .

වැලිගම පැලෑන පදිංචිකාරියක වන සන්ධ්‍යා මහත්මිය පවසා සිටි අදහස්,හැමදාම ඔතන එලාම් එක වදිනව. ලයිට් පත්තු වෙනව. කෝච්චිය යන එන වෙලාවට නෙවෙයි ඒක පත්තු වෙන්නෙ. එලාම් එක වදින්නෙ. ඒක හින්ද ඕකට මොකක් හරි විකල්පයක් යොදන්න ඕන තවත් ජීවිත බිලිගන්න ඉස්සෙල්ල.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කල්පනාවට ගතයුතු කරුණක් ඇත. පරීක්ෂාවට වඩා සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම සිදුකළ යුතු තැනදී එය නොකිරීම හේතුවෙන් කොපමණ විපත් සිදුවී ඇත්ද යන්නයි. එමෙන්ම විපතක් සිදු වීමට මත්තෙන් ඒ සඳහා පත් කර තිබෙන ආයතන මෙන්ම ඒවායේ බලධාරීන් විපත් අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීමයි. එසේ වූවා නම් මෙවැනි සිද්ධි ගණනාවක් නිසා සිදු වූ ජීවිත හානි රාශියක් වළක්වා ගැනීමට හැකියාව පවතී. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්ද විය නොහැකි සේ ඉදිරියටවත් නුවණින් යුතුව කටයුතු කරන ලෙස ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටී.

මෙවැනි අවදානම් ස්ථාන රාශියක් මාතර සිට හික්කඩුව දක්වා දුම්රිය හරස් මාර්ගයන්හි තිබෙන බැවින් ඒ පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇත.

ලලිත් පත්මසිරි මාතර අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment